කාදිනල් ජාත්‍යන්තරයට යන සූදානමක : පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරන්න -අනුර

කාදිනල් ජාත්‍යන්තරයට යන සූදානමක  : පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරන්න -අනුර

"පසුගිය දශකයේ අපේ රටේ සිදුවූ විශාලතම ඛේදවාචකය මේ පාස්කු ප්‍රහාරය, 268ක් මිය ගිහින් 500කට අධික පිරිසක් තුවාල ලැබුවා. ඒ වගේම ජනතාව අතර විශාල කැළඹිලිකාරී තත්වයක් ඇති වුණා. ගැටුම්කාරී තත්වයන්ට පවා මුල්වූ විශාල ඛේදවාචකයක්. 

හැබැයි ඒක ඛේදවාචකයක් පමණක් නොවෙයි අපේ රටේ දේශපාලන දිශානතිය වෙනස්වීම සඳහාත් පාස්කු ප්‍රහාරය විශාල වශයෙන් ඉවහල් වුණා. යුද්ධයෙන් පසුව ජාතික ආරක්ෂාව පිළිබඳව සාකච්ඡාව මෙම ප්‍රහාරයෙන් පසුව ප්‍රබල ලෙස යළි කරළියට එන්න පටන් ගත්තා. ඒ නිසාම ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී වෙනස්කම් සිදුවීමට මේ ප්‍රහාරය විශාල වශයෙන් ඉවහල් වුණා.

ඊට අදාළ ජනතාවගේ ආකල්පයන් සියල්ල තීරණය වීමට ප්‍රධාන සාධකය වූයේ මේ ප්‍රහාරයයි. ඒ නිසාම මේ ප්‍රහාරය අලගිය මුලගිය තැන් පිළිබඳ සත්‍ය තොරතුරු දැනගැනීමේ සාධාරණ අයිතියක් මේ රටේ පුරවැසියන්ට තියෙනවා." යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක අවධාරණය කරයි.

ඒ අද (11) කොළඹ පැවති මාධ්‍ය හමුවක අදහස් දක්වමින්ය. එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය. කතෝලික භක්තිකයන් විශාල ප්‍රමාණයක් මියයාම සහ දේවස්ථාන ඉලක්ක කරගෙන ප්‍රහාර සිදුකිරීමත් නිසා කාදිනල්තුමාගේ විශේෂ අවධානය යොමුවී තිබුණා. 

මෙහි මූලයන් හෙළිකළ යුතුයි කියන ස්ථාවරයේ උන්වහන්සේ සිටියා. මේ තොරතුරු හෙළිනොකරන්නේ නම් ජාත්‍යන්තර අධිකරණයකට වුවත් යාමට සූදානම් බව උන්වහන්සේ ප්‍රකාශ කර තිබුණා.  ප්‍රහාරය එල්ලකොට මේ වන විට මාස 22ක් පමණ ගතවී තිබෙනවා. 2019 සැප්තැම්බර් මාසයේදී හිටපු ජනාධිපතිවරයා විසින් ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත්කරනු ලැබුවා. මෙම කොමිෂන් සභාව මාස 15කට ආසන්න කාලයක් සාක්ෂි විභාගයට ලක් කළා. ඒ තුළින් විවිධ ප්‍රවෘත්ති ඇතිකරමින් දියත් වුණා. එහි අවසාන වාර්තාව ජනාධිපතිවරයාට භාරදී තිබෙනවා. 

මේ කොමිෂන් සභාවට පැති දෙකකින් කාර්යභාරයක් පවරා දී තිබුණා. මෙම ප්‍රහාරය වළක්වා ගැනීම සඳහා වගකිව යුතු ආණ්ඩුවේ දේශපාලකයින් සහ ඊට අදාළ නිලධාරීන් නොසැලකිල්ලෙන් කටයුතු කළාද, වගකීම් අනුව කටයුතු නොකළාද, කියලා විමසා බැලීම ප්‍රධාන කරුණක්.

දෙවැනි කාරණය ප්‍රහාරය සිදුකළේ කුමක් වෙනුවෙන් ද, ඒ සඳහා හවුල්වූවන් කවුද, තව සංවිධානවල දායකත්වයක් තිබේද, ඒ සඳහා දේශපාලන මැදිහත්වීම් තිබේද, ප්‍රහාරයේ මහ මොළකරුවන් කවුද, සහරාන්ට උඩින් තව පිරිසක් සිටියාද, ඔවුන් තවමත් මේ සැලසුම්වල ඉන්නවාද, වැනි ප්‍රහාරකයන්ගේ පාර්ශ්වයන් පිළිබඳ පරීක්ෂණ සිදුකොට ජනාධිපතිවරයාට වාර්තාවක් ඉදිරිපත් කළ යුතු වුණා. මේ ප්‍රධාන කරුණු දෙකට අමතරව නැවත මෙවැනි ප්‍රහාරයන් වළක්වා ගැනීම, ඉන්පසු සිදුවූ නොසන්සුන්කාරී තත්වයන් සිදුවූයේ කෙසේද, වැනි කරුණු සොයා බැලීමට තිබුණා. 

දැනට මාධ්‍ය වාර්තා කර තිබෙන තොරතුරු අනුව හෙළිවී තිබෙන්නේ, ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත්  වූ පාර්ශ්වයන් පිළිබඳවයි. හිටපු ජනාධිපතිවරයා, හිටපු අගමැතිවරයා හිටපු පොලිස්පතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ සම්බන්ධයෙන් චෝදනා ලැබූ අය හැටියට වාර්තා කර තිබෙනවා. නමුත් වාර්තාවේ වැදගත්ම කොටස තමයි මේ ප්‍රහාරකයන් කවුද, ඔවුන්ගේ වුවමනාවන් මොනවාද, කවුරු විසින් ඔවුන් හසුරුවනු ලැබුවාද, මරාගෙන මැරුණ බෝම්බකරුවන්ගෙන්ම මේ ප්‍රහාරකයන් අවසන් වෙනවාද, ඔවුන්ගේ සැලසුම් අවසන් වෙනවාද, කියන කරුණු ඉතාමත්ම වැදගත්. ජාතික ආරක්ෂාව පැත්තෙන් බැලුවත් අනාගතය පැත්තෙන් බැලුවත් ජාතික සමගිය දිසාවෙන් බැලුවත් වැදගත් වෙන්නේ මෙන්න මේ තත්වයන් පිළිබඳව හෙළිදරවු කිරීම.

මාධ්‍ය තුළින් දැනට ඉදිරිපත්වී තිබෙන කරුණු අනුව  එවැනි දෙයක් අපි දැක්කේ නැහැ. අවුරුදු එක හමාරකට අධික කාලයක් සාක්ෂිකරුවන් විශාල සංඛ්‍යාවක් කැඳවමින් පිටු ලක්ෂයකට ආසන්න වාර්තාවක් ජනාධිපතිවරයාට ලබාදුන් බව වාර්තා වෙනවා. පුද්ගලයන් දෙදෙනෙක් අතර නඩු වාර්තාවක් නෙවෙයි මේක.

පසුගිය දශකයේ සිදුවුණු විශාලතම ඛේදවාචකය, අපේ රටේ දේශපාලනයේ දිශානතිය වෙනස් කළ හැරවුම් ලක්ෂයක වාර්තාව දේශපාලන ව්‍යාපාරයක් වුණු අපට පමණක් නොව මේ රටේ සියලු පුරවැසියන්ට එහි අඩංගු කරුණු දැනගන්න යුක්තිසහගත අයිතියක් තියෙනවා.

මාධ්‍යවේදීන් හැටියට ඔබටත් ඒ අයිතිය තියෙනවා. කොමිෂන් සභාවේ සාක්ෂි විමසීම මාධ්‍ය ආයතනවල ප්‍රධානම ප්‍රවෘත්ති බවට පත්වී තිබුණා. ඒ නිසා මෙම වාර්තාවේ තිබෙන්නේ මොනවාද යන්න දැනගන්න සියලු දෙනාටම යුක්තිසහගත අයිතියක් තියෙනවා. පසුගිය 08 වැනිදා පක්ෂ නායක රැස්වීමේදී මෙම වාර්තාව සහ දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිෂන් සභා වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා ඉල්ලා සිටියා.

පාස්කු කොමිෂන් වාර්තාව මුද්‍රණය කිරීමට දීර්ඝ කාලයක් ගතවෙනවා නම් පාරලිමේන්තුවේ පුස්තකාලයට පිටපත් දෙකක් ලබාදී අනෙක් සියලු දෙනාට එහි විද්‍යුත් පිටපතක් ලබාදෙන්න කියන ඉල්ලීමක් කළා. මේකෙ විශාල පිටු ප්‍රමාණයක් තිබෙන වාර්තාවක් නිසා සභාගත කරන්න සැලකිය යුතු කාලයක් ගතවෙන බව කියමින් ආණ්ඩුව හැංගෙන්න හදන බව අපි දන්නවා.

ඒ නිසා තමයි අපි විකල්ප ඉල්ලීමක් කළේ. නමුත් එය ලබාදීමට ආණ්ඩුව සූදානමක් නැති බව හරි පැහැදිලියි. ඉදිරි පාර්ලිමේන්තු වාරයේදීත් මේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරාවිද කියන සැකය තියෙනවා. කැබිනට් මණ්ඩලයත් සූම් හරහා රැස්වෙනවා නම් මේ වාර්තාවේ විද්‍යුත් පිටපතක් නිල වෙබ් අඩවියේ පළ කරන්න හැකියාව තිබෙනවා. නමුත් මේ සියලු විකල්ප නොසලකා හරිමින් ආණ්ඩුව මේක හංගන්නේ ඇයි කියලා සාධාරණ සැකයක් තියෙනවා. 

පොදු ජනතාවට දැනගැනීමට තිබෙන අයිතිය හේතුකොටගෙන ආණ්ඩුව වහාම මෙය ප්‍රසිද්ධියට පත් කළ යුතුයි. මේක ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ හෝ ඔහුගේ අල්ලපු වැටේ කෙනෙකුගේ ඉඩම් නඩුවක වාර්තාවක් නොවෙයි.  අටදෙනෙකු මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කිරීම පිළිබඳ වාර්තාවක් මේක. ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් තවදුරටත් හොරගල් අහුලන්නේ නැතිව බොරු හේතු නොකියා වහාම මහජන ලියවිල්ලක් බවට පත් කළ යුතුයි. පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව වහාම සමාජයට ඉදිරිපත් කළ යුතුයි. මෙය හංගාගෙන ඉඳීමේ අයිතියක් ජනාධිපතිවරයාට හෝ ආණ්ඩුවට නැහැ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න