Language Switcher

V2025

ගුරු සිසුන්ට කෝවිඞ් ආසාදනය වෙද්දී කෙහෙලිය කෙංගල්ල විද්‍යාලයේ උත්සවයක් පවත්වයි

මහනුවර කෙංගල්ල මහා විද්‍යාලයේ සිසුන් කිහිපදෙනෙකුට හා ගුරුවරියකට කෝවිඞ් 19 ආසාදනය වී ඇති අතර, අදාළ ගුරුවරිය මේ වන විටත් පැනිදෙනිය නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටී. එවැනි අවදානම් තත්වයක පවතින පාසලක පාසල් තූර්යවාදක කණ්ඩායම ද යොදවාගෙන ආරාධිතයන් 150 ක ට පාසලේ සංග‍්‍රහයක් ද සූදානම් කොට සමාජ දුරස්තභාවය ද ආරක්ෂා නොකරමින් සමස්ත පාසල් සිසුන් දැඩි අවදානමකට යොමුකොට ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල අමාත්‍යවරයා විසින් අද දින (12) මහනුවර කෙංගල්ල මහා විද්‍යාලයේ පැළ සිටුවීමේ උත්සවයක් පවත්වා ඇත.

කෝවිඞ් 19 තත්වය තුළ පාසල්වල කිසිදු බාහිර කි‍්‍රයාකාරකමක් නොපවත්වන ලෙසට සෞඛ්‍ය නිර්දේශ අනුව චක‍්‍රලේඛයක් පවා නිකුත් කොට තිබියදී රජයේ ප‍්‍රධාන අමාත්‍යවරයෙකු විසින් පාසල් තූර්යවාදක කණ්ඩායම යොදා ගනිමින්, පාසල් සිසුන් අවදානමට ලක් කරමින් මේ ආකාරයෙන් උත්සවයක් පැවැත්වීම බරපතල කනගාටුදායක තත්වයක් බැවින් මේ පිළිබඳව ලංකා ගුරු සංගමය ඊයේ (11) දින මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට ද පැමිණිලි කර තිබියදීත් මෙම උත්සවය පවත්වා තිබේ.

මෙම උත්සවය සම්බන්ධයෙන් ඊයේ දිනයේ මාධ්‍ය කළ විමසීමකදී මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තිලක් ඒකනායක මහතා ප‍්‍රකාශ කර තිබුණේ එය අධ්‍යාපනික උත්සවයක් නොවන බවත්, ඒ සම්බන්ධයෙන් වැඩිදුරට කරුණු නොදන්නා බවත්ය.

පාසලේ සිසුන් හා තූර්යවාදක කණ්ඩායම සහභාගි කරවා ගනිමින් මෙවැනි උත්සවයක් පැවත්වීම සම්බන්යෙන් මේ ආකාරයෙන් වගකීම් විරහිතව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා කටයුතු කිරීම බරපතල ගැටලූවකි.

එසේම මේ සම්බන්ධයෙන් වත්තේගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකාව මාධ්‍ය වෙත ප‍්‍රකාශ කර තිබුණේ මෙය පාසලෙන් හෝ කලාපයෙන් සංවිධානය කරන උත්සවයක් නොවන බවත්, ‘මහනුවර අපි’ නැමැති සංවිධානයක් මගින් පවත්වන උත්සවයක් බවත්ය.

එසේ නම් පාසල පැවැත්වෙන දිනක පාසල් තූර්යවාදක කණ්ඩායම සහ පාසල් සිසුන් සහභි කරවමින් බාහිර පාර්ශවයකට මෙවැනි උත්සවයක් පැවැත්වීමට අවසර ලබාදීම බරපතල වැරදි කි‍්‍රයාවකි.

කෝවිඞ් 19 තත්වය තුළ පාසල් දරුවන්ගේ අධ්‍යාපනය බරපතල කඩාවැටීමකට ලක්ව ඇති අතර, පාසල් දරුවන් හා ගුරුවරු ආසාදිතයන් බවට පත්වීම අඛණ්ඩව සිදුවෙමින් පවතී. මෙවැනි තත්වයකදී රෝග පාලනයට හැකි උපරිම ලෙස කටයුතු කරමින් පාසල් අඛණ්ඩව පවත්වාගෙන යාමට අධ්‍යාපන බලධාරීන් මෙන්ම දේශපාලන අධිකාරිය ද කටයුතු කළ යුතුය. එසේ නොකර නිරෝධායන රීතීන් පවා උල්ලංඝණය කරමින් රජයේ ප‍්‍රධාන අමාත්‍යවරයෙක් විසින් පාසල් දරුවන් ද අවදානමට ලක් කරමින් මෙවැනි උත්සවයක් පැවැත්වීම රෝග ව්‍යාප්තියට උඩගෙඩි දීමකි.

මීට පෙර පිල්ලෙයාන් මන්තී‍්‍රවරයා ද මේ ආකාරයෙන් නැගෙනහිර පළාතේ පාසල් දරුවන් යොදවාගෙන කෝවිඞ් 19 නිරෝධායන පිළිවෙත් උල්ලංඝණය කරමින් පාසල් තූර්යවාදයක කණ්ඩායම් ද යොදවාගෙන පිළිගැනීමේ උත්සවයක් පැවැත්වූ අතර, ලංකා ගුරු සංගමය එම අවස්ථාවේදී ද ඒ සම්බන්ධයෙන් බරපතල විරෝධය පළ කර සිටියේ ය.

රජයේ වගකිව යුතු ඇමතිවරයෙකු ද නැවතත් ඒ ආකාරයෙන් ම කටයුතු කිරීමෙන් පැහැදිලි වන්නේ පාසල් දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඔවුන් කිසිදු වගවීමකින් කටයුතු නොකරන බවයි.

 නිරෝධායන පිළිවෙත් උල්ලංඝනය කරමින් සිදු කරන මෙම කි‍්‍රයා බරපතල ලෙස සැලකිල්ලට ගෙන වගකීම් විරහිතව හැසිරෙන නිලධාරීන් සම්බන්ධයෙන් කටයුතු කරන ලෙස  ලංකා ගුරු සංගමය අධ්‍යාපන අමාත්‍යාංශයේ බලධාරීන්ගෙන් හා පළාත් අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

IMG 20210212 WA0013

IMG 20210212 WA0014

IMG 20210212 WA0015

IMG 20210212 WA0016

IMG 20210212 WA0017