Language Switcher

V2025

පාස්කු ප්‍රහාර කොමිෂන් සභා වාර්තාව සඟවාගෙන සිටීමට ජනාධිපතිට කිසිම අයිතියක් නෑ !

කැබිනට් මණ්ඩලයත් අන්තර්ජාලය හරහා රැස්වෙනවා නම් පාස්කු බෝම්බ වාර්තාව නිල වෙබ් අඩවියේ පළ කළ නොහැකි ඇයි දැයි ජ.වි.පෙ. නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂගෙන් ප්‍රශ්න කරයි.
 
මෙම වාර්තාව ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ හෝ අල්ලපු වැටේ පුද්ගලයකුගේ ඉඩම් නඩුවක වාර්තාවක් නොවන බැවින් තවදුරටත් අපරාධකරුවන් නොසඟවා පොදු ජනතාව අතර ප්‍රසිද්ධියට පත් කළ යුතු බවද ඔහු අවධාරණය කළේ ජ.වි.පෙ. මූලස්ථානයේ පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදීය.
 
මන්ත්‍රිවරයා වැඩිදුරටත් මෙසේද කීය.
 
ප්‍රහාරය එල්ලකොට මේ වනවිට මාස 22ක් පමණ ගතවී තිබෙනවා. 2019 සැප්තැම්බර් මාසයේදී හිටපු ජනාධිපතිවරයා විසින් ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත්කරනු ලැබුවා. මෙම කොමිෂන් සභාව මාස 15කට ආසන්න කාලයක් සාක්‍ෂි විභාගයට ලක් කළා. ඒ තුළින් විවිධ ප්‍රවෘත්ති ඇති කරමින් දියත් වුණා. එහි අවසාන වාර්තාව ජනාධිපතිවරයාට භාරදී තිබෙනවා.
 
මේ කොමිෂන් සභාවට පැති දෙකකින් කාර්යභාරයක් පවරා දී තිබුණා. මෙම ප්‍රහාරය වළක්වා ගැනීම සඳහා වගකිව යුතු ආණ්ඩුවේ දේශපාලකයන් සහ ඊට අදාළ නිලධාරීන් නොසැලකිල්ලෙන් කටයුතු කළාද, වගකීම් අනුව කටයුතු නොකළාද, කියලා විමසා බැලීම ප්‍රධාන කරුණක්. දෙවැනි කාරණය ප්‍රහාරය සිදුකළේ කුමක් වෙනුවෙන්ද, ඒ සඳහා හවුල්වූවන් කවුද, තව සංවිධානවල දායකත්වයක් තිබේද, ඒ සඳහා දේශපාලන මැදිහත්වීම් තිබේද, ප්‍රහාරයේ මහ මොළකරුවන් කවුද, සහරාන්ට උඩින් තව පිරිසක් සිටියාද, ඔවුන් තවමත් මේ සැලසුම්වල ඉන්නවාද වැනි ප්‍රහාරකයන්ගේ පාර්ශ්වයන් පිළිබඳ පරීක්‍ෂණ සිදුකොට ජනාධිපතිවරයාට වාර්තාවක් ඉදිරිපත් කළ යුතු වුණා. මේ ප්‍රධාන කරුණු දෙකට අමතරව නැවත මෙවැනි ප්‍රහාරයන් වළක්වා ගැනීම, ඉන්පසු සිදුවූ නොසන්සුන්කාරී තත්ත්වයන් සිදුවූයේ කෙසේද වැනි කරුණු සොයා බැලීමට තිබුණා.
 
ප්‍රහාරය වලක්වා ගැනීමට අසමත් වූවන් විතරක් වැඩක් නෑ !
 
දැනට මාධ්‍ය වාර්තා කර තිබෙන තොරතුරු අනුව හෙළිවී තිබෙන්නේ, ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වූ පාර්ශ්වයන් පිළිබඳවයි. හිටපු ජනාධිපතිවරයා, හිටපු අගමැතිවරයා, හිටපු පොලිස්පතිවරයා සහ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා මේ සම්බන්ධයෙන් චෝදනා ලැබූ අය හැටියට වාර්තා කර තිබෙනවා. නමුත් වාර්තාවේ වැදගත්ම කොටස තමයි මේ ප්‍රහාරකයන් කවුද, ඔවුන්ගේ වුවමනාවන් මොනවාද, කවුරු විසින් ඔවුන් හසුරුවනු ලැබුවාද, මරාගෙන මැරුණු බෝම්බකරුවන්ගෙන්ම මේ ප්‍රහාරකයන් අවසන් වෙනවාද, ඔවුන්ගේ සැලසුම් අවසන් වෙනවාද, කියන කරුණු ඉතාමත්ම වැදගත්. 
 
පසුගිය දශකයේ සිදුවුණු විශාලතම ඛේදවාචකය, අපේ රටේ දේශපාලනයේ දිශානතිය වෙනස් කළ හැරවුම් ලක්‍ෂ්‍යයක වාර්තාව දේශපාලන ව්‍යාපාරයක් වුණු අපට පමණක් නොව මේ රටේ සියලු පුරවැසියන්ට එහි අඩංගු කරුණු දැනගන්න යුක්තිසහගත අයිතියක් තියෙනවා. මාධ්‍යවේදීන් හැටියට ඔබටත් ඒ අයිතිය තියෙනවා. කොමිෂන් සභාවේ සාක්‍ෂි විමසීම මාධ්‍ය ආයතනවල ප්‍රධානම ප්‍රවෘත්ති බවට පත්වී තිබුණා. ඒ නිසා මෙම වාර්තාවේ තිබෙන්නේ මොනවාද යන්න දැනගන්න සියලු දෙනාටම යුක්තිසහගත අයිතියක් තියෙනවා.
 
ප්‍රින්ට් එක පරක්කුයි නම් විකල්පය මෙන්න !
 
පසුගිය 08 වැනිදා පක්‍ෂ නායක රැස්වීමේදී මෙම වාර්තාව සහ දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිෂන් සභා වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා ඉල්ලා සිටියා. පාස්කු කොමිෂන් වාර්තාව මුද්‍රණය කිරීමට දීර්ඝ කාලයක් ගත වෙනවා නම් පාර්ලිමේන්තුවේ පුස්තකාලයට පිටපත් දෙකක් ලබාදී අනෙක් සියලු දෙනාට එහි විද්‍යුත් පිටපතක් ලබාදෙන්න කියන ඉල්ලීමක් කළා. මේකෙ විශාල පිටු ප්‍රමාණයක් තිබෙන වාර්තාවක් නිසා සභාගත කරන්න සැලකිය යුතු කාලයක් ගතවෙන බව කියමින් ආණ්ඩුව හැංගෙන්න හදන බව අපි දන්නවා. ඒ නිසා තමයි අපි විකල්ප ඉල්ලීමක් කළේ. නමුත් එය ලබාදීමට ආණ්ඩුව සූදානමක් නැති බව හරි පැහැදිලියි. ඉදිරි පාර්ලිමේන්තු වාරයේදීත් මේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරාවිද කියන සැකය තියෙනවා. කැබිනට් මණ්ඩලයත් සූම් හරහා රැස්වෙනවා නම් මේ වාර්තාවේ විද්‍යුත් පිටපතක් නිල වෙබ් අඩවියේ පළ කරන්න හැකියාව තිබෙනවා. නමුත් මේ සියලු විකල්ප නොසලකා හරිමින් ආණ්ඩුව මේක හංගන්නේ ඇයි කියලා සාධාරණ සැකයක් තියෙනවා.
 
අනුරාධා හේරත් (මව්බිම)