Language Switcher

V2025

යුනිලීවර් රේගු බදු වංචාව මිලියන 2000යි : නඩුදාලා මාරුවෙන්නත් යයි !

" බහුජාතික සමාගමක රුපියල් කෝටි 150 ක බදු අයකරන්න  රේගුවට කම්මැලි හිතිලා - වෘත්තීය සමිති චෝදනා කරයි" යන සිරස්තලයෙන් යුතුව 2021-01-03 වනදා ඉරිදා ලංකාදීපයේ මුල්පිටුවේ පුවතක් පළවිය. රාජ්‍ය ආදායම හිදෙමින් ඇති පසුබිමක ලැව් ගින්නක් සේ පැතිර යායුතු නමුත් සමාගමේ ප්‍රබලත්වය නිසාම ඊට තටු ලැබුණේ නැත. පත්තර මල්ලිලාද මාර්කටිං එකට වැඩේ පවරා ලිස්සා යනු දකින්නට ලැබිණ.

ඉරිදා ලංකාදීප පුවත පහත දැක්වෙයි.

lanka2
එම පුවතින් පැහැදිළිව නිකුත් කරන පණිවිඩය වන්නේ, රට රකිනවා කියා පැමිණි මේ ආණ්ඩුවද බහුජාතික සමාගම්වල හොරකම් රකින බවද ? මෙම පුවත අනුව අදාළ බහුජාතික සමාගම රුපියල් කෝටි 50ක බදු නොගෙවා පහර හැර ඇති අතර තවත් කෝටි 100ක් වන්නේ නොගෙව් බදු වෙනුවෙන් ගෙවිය යුතු දඩ මුදල් ය.
ලංකාදීප පුවතේ සඳහන් නොවූවද අදාළ සමාගම යුනිලීවර් සමාගමයි. ඒ අනුව පුවත සැකසෙනවා නම්, සමාගම අමුද්‍රව්‍යයේ නම වෙනස් කර පාම් ඔයිල් ෆැටී ඇසිඩ්ස් ආනයනය කර ඇත. ඒ සම්බන්ධව 2019 පෙබරවාරි 12 වනදා එවකට සිටි රේගු අධ්‍යක්ෂ ජනරාල් PSH චාල්ස් වෙත පැමිණිලි කිරීමට ශ්‍රී ලංකා රූපලාවන්‍ය නිෂ්පාදකයන්ගේ සංගමය කටයුතු කර ඇත.  පසුව වර්තමාන රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වන විශ්‍රාමික හමුදා මේජර් ජනරාල් විජිත රවිප්‍රිය හමුවී සිය පැමිණිල්ල සම්බන්ධව සිහිකැඳවීමක් කර ඇත. එහෙත් මේ වන තුරු දඩ මුදල කෙසේ වෙතත් බදු මුදලවත් අයකරගෙන නැත.
හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය වෙත යොමුකළ ලිපි !
 
lanka3

lanka4

ලංකාදීප පුවත පවසන්නේ 2019 රේගු අධ්‍යක්ෂ ජනරාල්වරියගේ නියමයෙන් ඒ සම්බන්ධව විමර්ශනය කළ රේගු අධිකාරි DKS රවින්ද්‍ර වෙතින් විමසීමේදී ඒ සම්බන්ධව මාධ්‍යට ප්‍රකාශයක් කිරීමට බලයක් නොමැති බව පවසා ඇති බවය.
එහෙයින් දැන් සිදුව ඇත්තේ මේ වංචාවේ මුල මැද අග සහිතව මහජනයා වෙතම කරුණු අනාවරණය කිරීමය. ඒ මේ දිනවල ජනාධිපතිවරයා සමාජ මාධ්‍ය ගැන උනන්දු නිසා ඔහුගේ ඇස් වලටවත් මේ ජාතික අපරාධය පෙනේවි සිතාය. අනෙක් අතට දේශීය දේ අගයන දේශීය දේ රකිනවා කියන ආණ්ඩු බහුජාතික සමාගම් වල ගේම් හමුවේ වැනෙන වැනිල්ල පෙන්වා දෙන්නටය.
DKS රවීන්ද්‍රට යොමුකළ ලිපිය සහ ඔහුගේ ප්‍රතිචාරය !
lanka5

lanka6

lanka7

 
18 වසරේ බදු සහනය !
සබන් සහ බේදින් බාර් නිපදවීම සඳහා භාවිතා කරන ප්‍රධානතම අමුද්‍රව්‍යක් වන්නේ පාම් ඔයිල් ෆැටී ඇසිඩ්ස් ය. එය ආනයනික අමුද්‍රව්‍යකි. 2000 වසරේ සිට 2018 ඔක්තෝබර් 08 වනදා තෙක් යුනිලීවර් සමාගම ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුමේ පිහිටෙන් පාම් ඔයිල් ෆැටී ඇසිඩ්ස් ආනයන කර ඇති අතර ඒ තීරුබදු රහිතවය.
ඒ අනුව ගණනය කළහොත් යුනිලීවර් ලබා ඇති බදු සහනය වසරකට මිලියන  650 සිට 800ක් පමණ දක්වා වෙයි. එකී වසර 18 තුළ මෙම බදු සහනය නිසාවෙන්ම යුනිලීවර් ලැබූ අමතර ලාභය ද රුපියල් බිලියන 12ක් පමණ ලෙස තක්සේරු කර ඇත. යුනිලීවර් සමාගම එතරම් විශාල බදු සහනයකට හිමිකම් කියන අතරේ දේශීය සබන් නිෂ්පාදකයන්ට එකී බදු සහනය හිමිව නැත. එබැවින් ඔවුන් තම අමුද්‍රව්‍ය සඳහා 30%ක බද්දක් ගෙවමින් සිටියි.
2018 අලුත් බද්ද !
කෙසේවුවත් 2018 ඔක්තෝබර් 08 වනදා එවකට ආණ්ඩුවේ මුදල් අමාත්‍යංශය විසින් පාම් ඔයිල් ෆැටී ඇසිඩ්ස් (HS අංක 3823.19.20) ආනයනයේදී 25%ක රේගු බද්දක් පනවා ඇත. එය 2018 ඔක්තෝබර් 09 වනදා සිට බලාත්මක විය.
යුනිලීවර් ගහපු බදු වංගුව !
මෙහිදී ඉතා සූක්ෂම ලෙස ක්‍රියාත්මක වන යුනිලීවර් සමාගම නව බද්ද නොගෙවීමට වංගුවක් ගසා ඇත. ඒ  පාම් ඔයිල් ෆැටී ඇසිඩ්ස් (HS අංක 3823.19.20) යන නිවැරදි ඛාණ්ඩය යටතේ සුපුරුදු ආනයනය සිදුකරනු වෙනුවට බදු පනවා නැති HS අංක 3823.19.90 යන ඛණ්ඩය යටතේ ආනයන සිදුකරමින්ය. 
මෙහි පැහැදිලි බදු වංචාවක් සිදුව ඇති අතර ඒ තුළ රුපියල් මිලියන 570 ක පමණ බදු මුදලක් ගෙවීම පැහැරහැර ඇත.
චාල්ස්ට පැමිණිල්ලක් !
මේ හමුවේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා රූපලාවන්‍ය නිෂ්පාදකයින්ගේ සංගමය විසින් මේ සම්බන්ධව එවකට රේගු අධ්‍යක්ෂ ජෙනරාල් PSM චාල්ස් වෙත ලිඛිතව පැමිණිලි කර ඇත. ඒ 2019 පෙබරවාරි 12 වනදා ය. යුනිලීවර් බදු වංචාවට අමතරව එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ තම සංගමයේ සාමාජිකයන් පාම් ඔයිල් ෆැටී ඇසිඩ්ස් (HS අංක 3823.19.20) සඳහා  25% ක රේගු බද්ද නිවැරදිව ගෙවමින් ආනයන සිදුකරන බවය.  
  එම පැමිණිල්ලෙන් පසුවද යුනිලීවර් ගැසූ බදු වංගුව නැවතුණේ නැත. 2019 මාර්තු 18 වනදා යළිත් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය හමුවී පැමිණිලි කිරීමට ශ්‍රී ලංකා රූපලාවන්‍ය නිෂ්පාදකයන්ගේ සංගමය කටයුතු කර ඇත්තේ ඒ අනුවය. එදින සාකච්ඡාව සඳහා රේගුවේ ජේෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකුද සහභාගීවී ඇති අතර එහිදී යුනිලීවර් වංචාව සම්බන්ධව කඩිනමින් පරීක්ෂණ ආරම්භ කරන බවට සහතිකවී තිබේ.
ඒ අනුව ආරම්භ වී ඇති පරීක්ෂණ වලදී යුනිලීවර් සමාගම පාම් ඔයිල් ෆැටී ඇසිඩ්ස් (HS අංක 3823.19.20) වෙනුවට වංචනික ලෙස  (HS අංක 3823.19.90 ) ඛාණ්ඩය යටතේ ආනයනය කර ඇති බව අනාවරණය කරගෙන ඇති අතර 2019 අප්‍රේල් වන විට මිලියන 570ක පමණ බදු වංචාවක් සිදුව ඇති බවත් හෙළිදරව් කරගෙන ඇති බවත් දැනගන්නට ඇත.
මේ අතර 2019 මැයි 06 වනදා ද ශ්‍රී ලංකා රූපලාවන්‍ය නිෂ්පාදකයින්ගේ සංගමය රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය වෙත ලිඛිතව දන්වා ඇත්තේ වංචා කළ බදු මුදල් කඩිනමින් අයකර ගන්නා ලෙස දන්වමිනි.
යුනිලීවර් චණ්ඩි !
 ලංකාදීප පුවතේ සඳහන් වන්නේ පාම් ඔයිල් ෆැටී ඇසිඩ්ස්  ආනයනයේ මේ බදු වංචාව රුපියල් මිලියන 1500කට වඩා වැඩි බවය. නමුත් රේගු ආරංචිමාර්ග පවසන්නේ එකී මුදල රුපියල් මිලියන 2200කට වඩා වැඩි විය යුතු බවය.
කෙසේ වුවත් බඩුත් සමඟ හොරු අහුවෙලත් වැඩේ ඉස්සරහට යන බවක් පේන්න නැත. ඒ නිසාදෝ යුනිලීවර් සමාගම නම් රුපියල් මිලියන 2000කට වැඩි බදු අයකර ගැනීම වලක්වන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයේ අංක  19/2021 යටතේ රේගුවට එරෙහිව නඩු පවරා ඇති බවත් වාර්තා වෙයි. ඒ කියන්නේ ලංකා රජයට හිමිවිය යුතු බදු මුදල් නොගෙවීමට එහිම රේගුවට එරෙහිව එහිම අභියාචනාධිකරණයේ නඩු දමා ඇති බවය.