Language Switcher

V2025

හැකි නම් සහන මල්ල බිරින්දෑලට ගිහින් දෙන්න : ආණ්ඩුවේ ඇමතිලාට අභියෝගයක් !

"සහන මල්ල තමන්ගේ බිරිඳට ගිහින් දෙන්න කියලා අපි ආණ්ඩුවේ ඇමතිවරුන්ට අභියෝග කරනවා. එතකොට ඒ බිරින්ඳෑවරුන්ගේ ප්‍රතිචාරය බලාගන්න පුළුවන්. එතකොට හොඳම දේ අහගන්න පුළුවන්. ඒ වගේම ඇමතිවරුන්ගේ නෝනලා සහන මල්ලේ ඇත්ත වටිනාකම කියාවි. මේවා පරිභෝජනයට සුදුසු මට්ටමේ තියනවාද කියලත් කියාවි." යැයි අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ ලේකම් සමන්මලී ගුණසිංහ අභියෝග කරයි.

ඇය මෙසේ අභියෝගකර සිටියේ අද (09) කොළඹ පැවති මාධ්‍ය හමුවක අදහස් දක්වමිනි.

එහිදී ඇය වැඩිදුරටත් මෙසේද සඳහන් කළාය.

කෘෂිකර්ම ඇමතිතුමා අප්‍රේල් 01දා කිව්වා සහල් මාෆියාව ඉවරයි කියලා. අඩු මිලට අවුරුදු කන්න සහල් ගන්න පුළුවන් කියලා කීවා. නාඩු කිලෝ එක රුපියල් 97/-ටත් කැකුළු කිලෝ එක රුපියල් 93/-ට ගන්න පුළුවන් කියලා එතුමා කීවා. එදිනම පිටකොටුවේ තොග වෙළඳපොළේ තිබුණේ නාඩු කිලෝ එක රුපියල් 100/-යි කැකුළු කිලෝ එක රුපියල් 98/-ටයි. ඒ නිසා ඔවුන්ගේ ඒ කතා පුස්වෙඩිල්ලක් බවට පත්වුණා.

කොවිඩ් නිසා ගිය අවුරුද්දේ දරුවන්ට අවුරුදු තිබුණේ නැහැ. ඊට ඉස්සෙල්ලා අවුරුද්දේ අවුරුදු නැකත් ඉවර වෙනවාත් එක්කම සහරාන්ගේ ප්‍රහාරය එල්ල කළා. මේ ආණ්ඩුව සියලු බලතල අතට ගත්තේ ජනතාවට සෞභාග්‍යය ගේනවා කියලා. ඒත් මේ වෙනකොට පවතින බඩු මිල සම්බන්ධයෙන් තත්වය කොහොමද කියලා බැලිය යුතුයි. ගිය අවුරුද්දේ මුං ඇට කිලෝග්‍රෑම් එකක් රුපියල් 350/- 400/- අතර මිලකට තිබුණා. මේ අවුරුද්දේ මුං ඇට මිශ්‍ර කිරිබතක් හදා ගන්න කියලා අවුරුදු නැකත් සීට්ටුවේ තියෙනවා. හැබැයි අද මුං ඇට කිලෝ එක රුපියල් 900/-ත් 1000/- අතර මිලකට වැඩි වෙලා. ඊට ආදේශකයක් විදිහට තිබෙන කව්පි මිල රු:1200/-යි. ඒ වගේම උඳු කිලෝ එකක් රු:1700/- ඉක්මවලා.

කෝවිඩ් වසංගතයත් එක්ක විශාල පිරිසකගේ රැකියා අහිමිවීම් වගේම ආදායම් අහිමිවීම් සිදුවුණා. අද වෙද්දී ගුරුවරු, විදුලි සේවකයෝ, ජල සේවකයෝ, මහ පාරේ උද්ඝෝෂණ කරනවා. ත්‍රී විල් රථ රියදුරන්ට ආදායම් නැති නිසා මේ පාර අවුරුදු නැහැ කියනවා. මැදපෙරදිග විතරක් විදේශගත ශ්‍රමිකයන් 40,000ක් විතර කිසිම ආදායමක් නැතිව මේ රටට එන්න බැරිව ඉන්නවා. හෝටල් ක්ෂේත්‍රවල සියලුදෙනාගේම ආදායම් බිඳ වැටිලා. ලීසිං එක ගෙවා ගන්න බැරිව ඉන්නවා. ගම්වල ඉන්න විශාල කාන්තාවෝ පිරිසක් ක්ෂුද්‍ර මූල්‍ය ණයවලින් හෙම්බත් වෙලා ඉඳිද්දීයි, මේ විදිහට බඩු මිල වැඩිවෙලා තිබෙන්නේ. අනික් පැත්තෙන් විෂ පොල්තෙල් නිසා තමන්ගේ දරුවන්ට කොකිස් එකක් බැදලා දෙන්න බැරි භීතියකින් ඇළලුණු අවුරුද්දක් බවට පත්වෙලා තිබෙනවා.

සහන මල්ල තිබෙන්නේ කොහේද කියලා හොයාගෙන යන්න සිද්ධ වෙලා !

ඒ නිසා මේ අවුරුද්ද කිරිබතට සහල් නැති, කිරිබතට පොල් ගන්න බැරි, කොකිස්වලට කහ නැති, කැවුම් බැද ගන්න විෂ නැති තෙල් නැති, මුං කැවුමට මුං නැති අවුරුද්දක් වෙලා. පුංචි දරුවන්ගේ අවුරුද්ද උදුරා ගත්තු තත්වයක් ඇති වී තිබෙනවා. මේ පසුබිම තුළ සති දෙකකට සෑහෙන්න සහන මිලට බඩු මල්ලක් දෙන බව බන්දුල ගුණවර්ධන ඇමතිවරයා කියා තිබෙනවා. මේ සහන මල්ල දෙන්නේ සතොසෙන් කීවා. පාරිභෝගිකයන්ට සහන මල්ල හොයාගෙන, ඒවා තිබෙන සතොසවල් සොයාගෙන යන්න ජනතාවට සිද්ධ වෙලා තිබෙනවා. රත්මලානේ පාරිභෝගිකයෙකුට සහන මල්ල සොයාගෙන පිලියන්දලටම යන්න සිද්ධ වෙලා. ඒ වෙනුවෙන් ත්‍රීවිල් ගාස්තුව රු:500/-කට ආසන්න මුදලක් ගෙවන්න සිදුවී තිබුණා. ලංකාවේම සතොස ශාඛා තිබෙන්නේ 431යි. ඒ අතරිනුත් සහන මල්ල තිබෙන්නේ කොහේද කියලා හොයාගෙන යන්න සිද්ධ වෙලා.

බඩු මල්ලේ ප්‍රමිතියත් සැකයි !

සති දෙකක් කන්න තිබෙන බඩු මල්ලේ තිබෙන ද්‍රව්‍ය අපිට පෙන්නන්න පුළුවන්. පුත්තලම සංස්ථා ලුණු රු:65/-කට මිල කළ පැකට් එකක් තිබෙනවා. මේ සම්බන්ධයෙන් බිලේ මිල සඳහන් කර තිබෙන්නේ රු:43/-යි. නමුත් වෙළඳපොළේ රු:100/-ට මේ වගේ පැකට් 3ක් ගන්න පුළුවන්. ඇත්තටම ආණ්ඩුවට මේ සංස්ථා ලුණු පැකට් එක රු:20/-ට විතර දෙන්න පුළුවන්. ඒ නිසා ලුණු පැකට් එකත් මිනිස්සුන්ට නැති කළා වගේම ලුණු පැකට් එකෙනුත් ගසාකාපු ආණ්ඩුවක් මේ. හාල්මැස්සෝ ග්‍රෑම් 200ක්වත් නැති ඇසුරුමක් තිබෙනවා. ඊට රු:115/- මිලක් අයකර තිබෙනවා. මේ හාල් මැස්සෝ කන්න පුළුවන් තත්වයේ තිබෙනවාද කියලා පරීක්ෂා කරන්නැයි මම මාධ්‍යයට ආරාධනා කරනවා.

මේ නිසා ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නයකුත් මේ බඩු මල්ලේ තිබෙනවා. ආණ්ඩුව සහනය කියලා මොකක්ද මේ පෙන්වන්නේ. සහනය දීලා තිබෙන්නේ කාටද? දැන් වෙලා තිබෙන්නේ සහන මල්ල හොයන්න ඇවිදගෙන යන අයට ප්‍රමිතියෙන් තොර ආහාර ද්‍රව්‍ය ලබාදීමයි. ඒ වගේම ග්‍රෑම් 50ක් තිබෙන සෝයා පැකට් එකක් දෙනවා. මේ සහන මල්ල තමන්ගේ බිරිඳට ගිහින් දෙන්න කියලා අපි ආණ්ඩුවේ ඇමතිවරුන්ට අභියෝග කරනවා. එතකොට ඒ බිරින්ඳෑවරුන්ගේ ප්‍රතිචාරය බලාගන්න පුළුවන්. එතකොට හොඳම දේ අහගන්න පුළුවන්. ඒ වගේම ඇමතිවරුන්ගේ නෝනලා සහන මල්ලේ ඇත්ත වටිනාකම කියාවි. මේවා පරිභෝජනයට සුදුසු මට්ටමේ තියනවාද කියලත් කියාවි.

ප්‍රමිතියෙන් යුතු ආහාර සංස්කෘතියක් ඇති කරන්න මැදිහත් වෙනවා වෙනුවට ව්‍යාපාරිකයෝ ජනතාවට වස කවද්දී නිහඬ පිළිවෙතක් අනුගමනය කරනවා !

මේ අවුරුද්දේ ආහාරවල ප්‍රමිතිය පිළිබඳව ජනතාවට ලොකු භීතියක් ඇතිවෙලා තිබෙනවා. දංකොටුවෙන් අත්අඩංගුවට ගත්ත තෙල් බවුසර් දෙකේ පිළිකාකාරක අඩංගු බව ප්‍රමිති ආයතනයම කියනවා. අත්අඩංගුවට ගත්තේ බවුසර් දෙකයි. නමුත් බවුසර් 1000කට ආසන්න ප්‍රමාණයක් තිබුණු බව කියනවා. තව බවුසර් කීයක් බෙදාහැරලාද කියලා දන්නේ නැහැ. ආනයනය කළ පොල්තෙල්වල පිළිකා කාරක ද්‍රව්‍ය තිබෙන බව තහවුරු වුණාට පස්සේ ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් අනුගමනය කළ ක්‍රියාමාර්ගය මොකක්ද? ප්‍රමිති ආයතනයේ තිබෙන්නේ විධායක ජනාධිපතිවරයාට. ප්‍රමිති ආයතනයේ වගකිවයුතු පුද්ගලයා විදිහට මේ සම්බන්ධයෙන් කිසිම වගකීමකින් මැදිහත් වෙන්නේ නැහැ. විෂ සහිත පොල්තෙල් ආනයනය කළේ කවුද කියලා රටට හෙළිකළේ නැහැ. රටේ පුරවැසියන්ගේ ආරක්ෂාව පිළිබඳ වගකීම ආණ්ඩුවට තිබෙනවා. ප්‍රමිතියෙන් යුතු ආහාර සංස්කෘතියක් ඇති කරන්න මැදිහත් වෙනවා වෙනුවට ව්‍යාපාරිකයෝ ජනතාවට වස කවද්දී නිහඬ පිළිවෙතක් අනුගමනය කරනවා.

මේ මොහොත වෙද්දී අපේ රටේ දවසකට පිළිකා රෝගයෙන් 38දෙනෙකු මිය යනවා. එසේ මිය යන සංඛ්‍යාව වැඩිකරන්න තමයි ආණ්ඩුව නිහඬව ඉන්නේ. ලෝකයේ විෂ ද්‍රව්‍ය අඩංගු ආහාර පරිභෝජනයට ගන්නා රටවල් අතර ලංකාව පෙරමුණටම ඇවිත් තිබෙනවා. අතීතයේදී කොස් මාමා, පරිප්පු මාමා, අධ්‍යාපනයේ පියා, වගේ ආමන්ත්‍රණ තිබුණා. මේ ජනාධිපතිවරයාට අනාගතයේ අහන්න ලැබෙන්නේ දරුවන්ට වස දුන් පියා කියලා. ජනතාවට වස කවන මාෆියාව නතර කරන්න ජනාධිපතිවරයාත්, ආණ්ඩුවත් මැදිහත් වෙන්නේ නැහැ. ඒ නිසා වහාම මේ තත්වය තේරුම්ගෙන එය වළක්වා ගැනීමට ආණ්ඩුවට බලකරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ අවුරුද්දේ බොරු සහන මලු දීලා ජනතාව නොමඟ යැවීම ගැන දැනුවත් වෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ආණ්ඩුව දිගින් දිගටම ගෙන යන මේ මාෆියාවට එරෙහිව නැගී සිටින්න කියලා විශේෂයෙන් කාන්තාවන්ගෙන් අපි ඉල්ලා සිටිනවා.