Language Switcher

V2025

තෙල්දෙණිය සිදුවීමේදී පොලිසියේ හැසිරීම සැකසහිතයි

තෙල්දෙණිය - දිගන අවසනාවන්ත සිදුවීම් ව්‍යාප්තවීමට පොලීසියේ ඇදහිය නොහැකි අකාර්යක්ෂමතාව හේතුවී ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය මේ බව සඳහන් කරන අතර එහි වැඩිදුරටත් සඳහන් වන්නේ මාර්තු 4 සහ 5 දින මහනුවර තෙල්දෙණිය සහ දිගන ඇති වු පහරදීම්, දේපල අලාභ කිරීම්, ගිණි තැබීම් වලක්වා ගැනීමට පොලීසිය අසමත් වූ බවත් එහිදී පොලිසිය දැක්වූ අකාර්යක්ෂමතාව ඇදහිය නොහැකි තරම් පුදුම සහගත බවය.

ඒ බව තහවුරු කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන්ව ඇත.

"සිංහල ලොරි රථ රියදුරෙකුට බීමත් මුස්ලිම් තරුණයින් පිරිසක් පහරදී ඇති අතර තුවාල හේතුවෙන් මාර්තු 3 දින රියදුරු මරණයට පත් විය. ඔහුගේ අවසන් කටයුතු අද දින සිදු කිරීමට නියමිතව තිබුණි. මරණය සිදුවීමෙන් පසුව සෙනසුරාදා දිනයේ තෙල්දෙණියේ කඩ සහ නිවාස කිහිපයකට පහරදී තිබුණි. ඒ සම්බන්ධයෙන් සැක පිට පුද්ගලයින් 24 දෙනෙකු අත්අඩංගුවට පත් විය. 5 පෙරවරුවේ මෙම අත්අඩංගුවට පත් පිරිස නිදහස් කරන ලෙස තෙල්දෙණිය නගරයේ උද්ඝෝෂණයක් පැවැත්විණි.

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් රාජකාරිය හරියට කළාද?

මාර්තු 4 දින මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් ප්‍ර‍කාශ කර සිටියේ අවමගුල් කටයුතු සිදුවන දින (5) අවශ්‍ය පරිදි පොලිස් නිලධාරින් පිරිසක් මෙම ප්‍රදේශය පුරා යොදවන බව සහ කිසිදු සාමය කඩවීමකට ඉඩක් නොමැති බවයි. 5 පෙරවරු 7 පමණ සිට පොලීසිය තෙල්දෙණිය ආසන්නයේ සැරිසරනු ලැබිය.

සිංහලයින් තෙල්දෙණියට කැඳවූ සමාජ ජාල ප්‍රචාරය

සමාජ ජාලා මගින් පෙ.ව. 10 ට තෙල්දෙණිය නගරය වෙත පැමිණෙන ලෙස සිංහල ජනතාවට ඉල්ලීම් කර තිබුණි. පෙ.ව. 11 වන විට ගැටුමක් ඇති විය හැකි තත්වයක් නිර්මාණය වී තිබුණි. මෙම පිරිස් තෙල්දෙණිය පොලිස් ස්ථානය වෙත පැමිණ විරෝධය පළ කරන්න වූ අතර මුස්ලිම් වෙළෙදසැල්, නිවාස සහ වාහන ගිණි තැබීම ආරම්භ වූයේ සවස 1 ට පමණය.

නමගිය ජාතිවාදී කෝළාහලකරුවන් තෙල්දෙණියට ඇවිත් !

5 පෙරවරුවේ සිට සංවිධානාත්මක පිරිස් තෙල්දෙණිය සැරිසැරූ අතර ඒ අතර මඩකලපුව, ගල්කිස්ස, බේරුවල වැනි ස්ථානයන් හි ජාතිකවාදී ගැටුම් සම්බන්ධයෙන් මෙයට පෙර නම් කියැවී ඇති පිරිසක් ද විය. ජනතා ප්‍රකෝප කිරීම් ආරම්භවන විට ආරක්ෂක අංශ ඒ සදහා මැදිහත් නොවී පැය 4 කට ආසන්න කාලයක් ගත කළේය. සෙනසුරාදා (3) දින සිදුවීම් අනුව නිවාස හා දේපල අලාභ කිරීමේ අවදානම පිළිබද අවබෝධයක් ආරක්ෂක අංශ වෙත පැවතිය යුතුව තිබූ නමුත් අවසන් මෙහොත දක්වාම පොලීසිය ජනතාව එක් රැස්වීම වැලැක්වීමට පියවර ගැනීමට අසමත් විය. දිගන සහ තෙල්දෙණිය නගරවල මුස්ලිම් ජාතිකයින් සතු දේපල ගණනාවක් අද දින සිදු වූ ප්‍ර‍හාර හේතුවෙන් විනාශයට පත් වී ඇත.

මේ බව පෙන්වා දෙමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය අවධාරණය කර සිටින්නේ ජාතිවාදී ගැටුම් මහනුවර දිස්ත්‍රික්කය පුරා ව්‍යාප්තවීම වලක්වා ගැනීමට වහා සියළු පියවර ගත යුතු බවය.