Language Switcher

V2025

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධූරය සුදේවට ? මීඩියා ආණ්ඩු ගැස්සෙයි !

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ලෙස ජනාධිපතිවරයා විසින් පසුගියදා පත්කරනු ලැබූ අතර එයින් පුරප්පාඩු වූ  ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ධූරයට ප්‍රවීණ මාධ්‍යවේදියකු වන සුදේව හෙට්ටිආරච්චි පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි වාර්තාවේ.
 
දැනට සුදේව හෙට්ටිආරච්චි අලි සුභාෂ්කරන්ට අයත් EAP මාධ්‍ය ජාලෙය් ප්‍රධාන විධායක ලෙස කටයුතු කරන අතර ලක්ෂ 35 කට ආසන්න වැටුපකට හිමිකම් කියන බවත් පැවසෙයි.
 
ලක්ෂ 35 ක වැටුප අත්හැරලා ලක්ෂයේ වැටුපට යන්නේ  ඇයි ?
 
මේ අතර මාධ්‍ය ක්ෂේත්‍රයේ කතාබහක් ඇතිව තිබෙන්නේ, ජනාධිපති කාර්ය මණ්ඩලයේ "අධ්‍යක්ෂ ජනරාල්" වැනි තනතුරක් සඳහා වාහන, ඉන්ධන, ඇතුළු දීමනා හැර වැටුප ලෙස ලැබෙන්නේ රුපියල් ලක්ෂයක් වැනි ප්‍රමාණයක් බැවින් සුදේව හෙට්ටිආරච්චි එතරම් ආර්ථික පාඩුවක් කරගැනීම මවිතය දනවන කටයුත්තක් බවය.
 
කෙසේ වුවත් තවත් මුලාශ්‍රයක් සඳහන් කරන්නේ සුදේවගේ මෙම නව තනතුර භාර ගැනීම EAP මාධ්‍ය ජාලයේ ඉහළ කළමනාකාරීත්වයේ ආශීර්වාදය ඇතුව සිදුකරන්නක් බවය. ඊට හේතු ලෙස දැක්වෙන්නේ මේ වන විට EAP මාධ්‍ය ජාලයේ හිමිකාරිත්වය සම්බන්ධව පවතින ගැටුම්කාරී තත්ත්වයට සහනයක් ගැනීමට සුදේව ලබන තනතුර යොදා ගැනීමේ උත්සාහයක් පවතින බවය. 
 
සුදේවට වගකීමක් !
 
අලි සුභාෂ්කරන් EAP මාධ්‍ය ජාලය ලබාගත් අවස්ථාවේ ඒ සම්බන්ධව එවකට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ ජාතිකවාදී කොටස් එය මුළුමනින්ම හෙළාදැකි අතර වරෙක සුභාෂ්කරන්ව  "LTTE" සංවිධානය සමඟ සම්බන්ධකර දැඩි ව විවේචනය කෙරින. එසේම මේ වන විට EAP මාධ්‍ය ජාලයේ හිමිකාරීත්වය සම්බන්ධව ගැටලුව අවසන්ව නැති අතර නිල පැවරීම් කටයුතු සඳහා කිසඳු මැදිහත්වීමක් නොකරන ලෙස ආණ්ඩුවේ බලධාරීන් අදාළ අමාත්‍යංශ නිලධාරීන් දැනුවත් කර ඇති බවත් වාර්තා වෙයි.
 
ඒ අනුව එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසන්නේ සුදේව අඩු වැටුපකට ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරට ගියත් ඔහුට ආර්ථික හානියක් නොවීමේ වගකීම EAP මාධ්‍ය ජාලය ගෙන ඇති බවයි. එසේම EAP මාධ්‍ය ජාලය සම්බන්ධව මතුව ඇති අර්බුදය සමනය කර ගැනීමට සුදේව මැදිහත් වනු ඇති බවය.
 
එපමණක් නොව මේ වනතුරු සුදේව EAP මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක ලෙස දරන තනතුරට වෙනත් අයෙකු පත්නොකිරීමටත් EAP ඉහළ කළමනාකාරීත්වය තීන්දුවක් ගෙන ඇති බවත් වාර්තා වෙයි.
 
රනිල් නිසා සිසිර කැපිලා !
 
මීට අදාළ මාධ්‍ය වාර්තා අතර  ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ධූරයට සුදේව හෙට්ටිආරච්චි හෝ සිසිර පරනතන්ත්‍රී යන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් දෙදෙනා ගෙන අයකු පත්කරන ලෙස ජනාධිපතිවරයාට සමීප කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදී ශිෂ්‍යයින් ඉල්ලිමක් කර තිබූ බවත් සඳහන් වෙයි. ඊට හේතුව ඔවුන් දෙදෙනාම ජනාධිපතිවරයා සේම ආදී ආනන්දීයන් වීමය.
 
එහිදී ජනාධිපති පාර්ශවයේ තේරීම වී ඇත්තේ සුදේව හෙට්ටිආරච්චි වන අතර සිසිර පරණතන්ත්‍රි යනු රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා විසින් 'අපි හැදුව මිනිහෙක්' යැයි වරෙක හැඳින්වූ පුද්ගලයෙකු ලෙස හැඳින්වීම ප්‍රකට බැවින් ඔහුව අවස්ථාව අහිමිව තිබේ.
 
ඒ අනුව  සුදේව හෙට්ටිආරච්චි පත්කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවත්, එබව දැනුම්දීමෙන් අනතුරුව ඔහු ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට දින කිහිපයක් ඉල්ලා ඇති බවත් මාධ්‍ය වාර්තා කර ඇත.
 
ලලිත් වීරතුංගගේ එකම තේරීම ...!! පිළිගන්න.....!!! සුදේව හෙට්ටිආරච්චි....!!!!
 
සුදේව හෙට්ටිආරච්චි ට මෙම තනතුර ලබාදීමට දැඩිව වෙහෙසුණු පාර්ශවයක් සම්බන්ධවත් තොරතුරු වාර්තා වෙයි. ඒ ජනාධිපති  
 උපදේශකයකු වන ලලිත් වීරතුංගය. දැන් ඔහු ජනාධිපති නිර්දේශය ගැනීමෙන් පසුව  දිගින් දිගටම සුදේව හෙට්ටිආරච්චි අමතා අදාළ තනතුරට නියම සුදුස්සා බැවින් එය අනිවාර්යයෙන් බාරගන්නා ලෙස සඳහන් කරන  බවත් වාර්තා වෙයි.
 
ඒ අනුව  ඉදිරියට ලොකු ගමනක් යාමට ඇති බැවින් මේ මොහොතේ සුදේවගේ සේවය අවශ්‍යම බව  අවස්ථා කිහිපයකදී කතාකර පෙරැත්ත කර ඇති බවත් දැනගන්නට ඇත.
 
තවද  ජනාධිපතිගේ  ප්‍රධානත්වයෙන් යන ගම සමඟ පිළිසඳරක් වැඩසටහනට ආරම්භයේ සිට නිසි ධනාත්මක ප්‍රතිචාර නොලැබුණේ මාධ්‍ය අංශයේ පැවති දුර්වලතා නිසා බව ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග අවස්ථා කිහිපයකදීම අවධාරණය කර ඇති බවත් වාර්තා වෙයි. 
 
හිරු අධිපති රේන සිල්වා  : ආණ්ඩුව එක්ක තරහා වෙයිද ?
 
මේ අතර ආණ්ඩුව අභ්‍යන්තරයෙන් ලැබෙන තවත් ආරංචි මාර්ගයක සඳහන් වන්නේ සුදේවගේ මෙම නව ආගමනය සමඟ ABC මාධ්‍ය ජාලය නැතහොත් හිරු මාධ්‍ය ජාලය සහ පොදුජන පෙරමුණ ආණ්ඩුව අතර යම් ආතතිගත තත්ත්වයක් නිර්මාණය වීමේ පැහැදිළි ඉඩක් පවතින බවය. 
 
සුදේව ක්ෂණික තීන්දුවක් ගෙන කාර්ය මණ්ඩලයේ පිරිසක් සමඟ ABC මාධ්‍ය ජාලයෙන් කැඩී EAP මාධ්‍ය ජාලයට එක්වීම හමුවේ ABC මාධ්‍ය ජාලයේ හිමිකරු රේන සිල්වා දැඩි අමනාපයකින් පසුවූ බවත් ඒ සම්බන්ධව ඔහු අවස්ථා ගණනකදී විවේචනය කර ඇති බවත් එම ආරංචිමාර්ග පවසයි. තවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ  සුදේවගේ නව පත්වීම සමඟ හේතු රැසක් මත රේන සිල්වා ආණ්ඩුව සමඟ ඇති හොඳහිත පළුදුවීමේ අවධානමක් මතුව ඇති බවය. සුදේව, රේන සිල්වාගේ  ගේ මාධ්‍ය බල ව්‍යාපෘතිය අතරමග අත්හැර සුභාෂ්කරන්ට එක්වීම, රේන සිල්වා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරවීමට මෙන්ම  පොදුජන පෙරමුණ ආණ්ඩුව පිහිටුවීමට දැඩි මාධ්‍ය අනුග්‍රහයක් ලබාදුන් නමුත් තවමත් ඔහු අපේක්ෂා කළ ආකාරයට මරණ දඬුවම නියමව සිටින සිය සහෝදරයා වන දුමින්ද සිල්වා නිදහස් කරගැනීමට නොහැකිවීම, යන කරුණු මූලික ලෙස ආණ්ඩුව සහ ABC මාධ්‍ය ජාලය අතර හොඳහිත පළුදු කරනු ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග වල තක්සේරුව වී ඇත.
 
කෙසේවුවත් රුපවාහිනී - ගුවන් විදුලි ක්ෂේත්‍රයේ බ්‍රෑන්ඩ් එකක් බඳු සුදේව දක්ෂයෙක් බවත් , මුදලාලිලාට හෝ දේශපාලනඥයන්ට අවශ්‍ය ආකාරයට නොව සුදේවට තමන් සම්බන්ධව තීන්දුවක් ගැනීමට අයිතිය ඇති බව මාධ්‍ය ක්ෂේත්‍රයේ තවත් පාර්ශවයන්ගේ අදහස වී ඇත. අපේ අදහසත් ඒකය. ජනාධිපතිත් කැමති නම් සුදේවත් සූදානම් නම් අපිට මොකද ?