Language Switcher

V2025

සුළුතර ජන ප්‍රජාවට පොලිසියෙන් කුඩම්මාගේ සැළකිල්ලක්

ප්‍රහාරයන්  හමුවේ ලංකාවේ නීතිය  ක්‍රියාත්මක  කරන ආයතනයන්ගේ තිබෙන්නාවූ මන්දගාමී ස්වභාවය විසින්  සුලුතර ජනවර්ගයන් සම්බන්ධයෙන් මෙරට පොලිසිය විෂම  සැළකිල්ලක් දක්වන බවට  සාධාරණ සැක මතු කරන බව ජාත්‍යන්තර ශ්‍රී ලාංකිකයන්ගේ ජාලය නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කර සිටියි. 

විදෙස්ගත ශ්‍රී  ලංකිකයන්ගේ ජාත්‍යන්තර  ජාලය වෙනුවෙන් එහි  ක්‍රියාකාරී  කමිටුව විසින් මෙම නිවේදනය නිකුත් කර ඇති අතර එහි වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ පසුගිය කාලය පුරාම ශ්‍රී   ලංකාවෙහි සිංහල-බෞද්ධ නොවන වාර්ගික ජන කණ්ඩායම් ඉලක්ක කරගනිමින් විවිධාකාරයේ ප්‍රහාර  එල්ලවූ බවත් නීතිය ක්‍රියාත්මක  කරන ආයතන සිය රාජකාරිය නිසිලෙස කලට ඉට කරන ලද්දේ නම් බොහෝ ප්‍රහාරයන්  මෙන්ම ජීවිත හානිද වලක්වා ගන්නට හැකියාව තිබූ බවය.

ආරක්ෂක අංශ හැසිරීම අන්තිමයි !

එසේම 2014 වර්ෂයේදී අලුත්ගමදී සිදුවූ වර්ගවාදී ප්‍රහාර  මාලාව සහ දෙමසතට පෙර ගිංතොටදී ද,  දෙසතියකට පෙර අම්පාරෙහිදී ද මුස්ලිම් ජනයාට එරෙහිව එල්ල වූ ප්‍රහාර  ඊට උදාහරණ සපයන බවත් මේ සියලු ප්‍රහාරයන්  හමුවේදී ලංකාවේ නීතිය  ක්‍රියාත්මක  කරන ආයතනයන්ගේ තිබෙන්නාවූ මන්දගාමී ස්වභාවය අතිශය කණගාටුදායක බවද එම නිවේදනයේ සඳහන් ඇත.

 එමෙන්ම නීතිය සහ සාමය පවත්වාගෙන යෑමට බැදී සිටින සියලු පොදු ජනයාගේ බදුමුදල් වලින් යැපෙන ශ්‍රී  ලංකා පොලීසියේ අනීතික විශම හැසිරීම සම්බන්ධයෙන්  විරෝධය පළකරන බවත් එසේම එම ප්‍රහාර  වැළැක්වීමට නිසි පියවර නොගත් ආණ්ඩුවේ  දේශපාලන අධිකාරිය වෙතද එම විරෝධය පළ කරන බවද එහි දැක්වේ.

චීවරධාරීන්ගේ නින්දිත හැසිරීම රටට අපකීර්තියක් 

තවද මේ මොහොත වන විට මහනුවර දිස්ත්‍රික්කයේ  තෙල්දෙණිය සහ දිගන ප්‍රදේශයේ  ඇතිවූ සිද්ධියක් මුල්කරගනිමින් ලංකීය මුස්ලිම් ප්‍රජාව  සහ අනෙකු සුලුතර ජන වර්ග  ඉලක්ක කරගනිමින් සිදුකරන වාර්ගික ප්‍රහාරයන්ට  බෞද්ධ භික්ෂූන් පවා සම්බන්ධ වූ බවට සාක්ෂි සපයන ජයාරූප  ලොවපුරා සංසරණය වෙමින් ඇති බවත් එය ජාතික සහ අන්තර් ජාතික වශයෙන් ශ්‍රී   ලංකාව ලබන අපකීර්තියක් බවද එම නිවේදනයේ සඳහන්ය. 
 
වර්ගවාදී ප්‍රහාරයන්ගෙන්  භීතියට පත්ව ඇති සියලු ජනයාගේ ජීවිත සහ ඔවුන් සතු දේපල ආරක්ෂා කීරීම ආණ්ඩුව සතු ප්‍රමුඛම  වගකීම බවත්   ලාබ අරමුණු වෙනුවෙන් මිනිස් ජීවිත බිල්ලට ගැනීමට සැරසෙන පක්ෂ / කණ්ඩායම් සහ පුද්ගලවයන් ප්‍රතික්ෂේප  කරන සියලු ලාංකික ජනයාගෙන් ඉල්ලා සිටින බවද එහි දැක්වේ.

වර්ගවාදයට එරෙහිව මනුෂ්‍යත්වයේ කොඩිය අතට ගන්න 

මෙම වර්ගවාදී ප්‍රහාරයන්ගෙන්  ජීවිත හානීවූ, දේපල විනාශවීම ඇතුලු සියලු ආකාරයෙන් වින්දිතයන් බවට පත්වූ ජනතාව වෙනුවෙන් විදෙස්ගත ශ්‍රී  ලංකිකයන්ගේ ජාත්‍යන්තර  ජාලය ලෙස අපගේ කණගාටුව ප්‍රකාශ  කරන බවද සඳහන් එම නිවේදනයේ  එම අමානුෂික ප්‍රහාරයන්  තරයේ හෙළාදකින බවද අවධාරණය කර ඇත.

එසේම සියලු ජනයාගේ ජීවත්වීමට ඇති අයිතියේ  ආරක්ෂාව තහවුරැ කරන ලෙස ආණ්ඩුවට බලකර සිටින එම නිවේදනය ජාතිවාදී ආගම්වාදී පටු අරමුණු වලින් මිදී එක මිනිස් කැලක් ලෙස මනුෂ්‍යත්වයේ  කොඩිය අතට ගන්නා ලෙස සමස්ථ ශ්‍රී ලාංකික ප්‍රජාව වෙතින් ආයාචනය කර තිබේ.