Language Switcher

V2025

දෙරණ අරුණ පුවත් මුලාශ්‍ර විකිණීම ඇතුලේ ගේමක් දැයි සැකයක් !

පුවත් මුලාශ්‍ර විකුණු දෙරණ අරුණ මාධ්‍යවේදියකු සම්බන්ධ පුවත පළවීමෙන් පසුව එකී පුවතට අදාළව ලැබුණු තවත් තොරතුරු අනුව  අරුණ කර්තෘ මණ්ඩලය නියෝජනය කරන අයෙකු හෝ කිහිපදෙනෙකු සම්බන්ධ මාධ්‍ය අචාර ධර්ම පමණක් නොව වෘත්තීය විශ්වසනීයත්වය සම්බන්ධව බරපතළ ගැටළු සහ සැකසංකා මතුකරන තත්ත්වයක් උද්ගත කරයි.

එකී තොරතුරු නිසාම  https://newstube.lk/news/12276-2021-05-10-06-32-42 යන සබැඳිය තුළ කියවාගත හැකි පුවතේ අදාළ  මාධ්‍යවේදියාගේ නම ඉවත් කිරීමට අප තීරණය කළ බවත් දැනුම්දෙමු.

ඒ ඇයි යන කාරණය මේ කියවාගෙන යන විට ඔබට වැටහෙනු ඇත. එසේම අරුණ පුවත්පත ඇතුළු දෙරණ පරිපාලනයද මේ තොරතුරු දැනගත යුතු බව අප විශ්වාසයයි.

මේ වන විට අපට ලැබී ඇති තොරතුරු අනුව පුවත් මූලාශ්‍ර විකුණූ බවට අරුණ පරිපාලනය විසින් චෝදනා කර ඇති මාධ්‍යවේදියා අරුණ පුවත්පතේ මාණ්ඩලික මාධ්‍යවේදියකු (කර්තෘ මණ්ඩලය නියෝජනය කරන ) නොව නිදහස්  මාධ්‍යවේදියෙකි. ඔහු තම පුවත නියමිත දිනයේ ප්‍රවෘත්ති සම්බන්ධව කටයුතු කිරීමට මැදිහත්වූ දෙරණ අරුණ පුවත්පතේ මාණ්ඩලිකයකු (කර්තෘ මණ්ඩලය නියෝජනය කරන ) වෙතද ලබාදී තිබේ. ඒ තමන් ගෙනා පුවතේ විශ්වසනීයත්වය තහවුරු කිරීමේ පදනමින්ය.

ඒ හැර වෙනත් පාර්ශවයක් සමඟ දැනට චෝදනා ලබා ඇති මාධ්‍යවේදියා සම්බන්ධව නැති බව අප ආරංචිමාර්ග සඳහන් කරයි. ඒ අනුව දැන් චෝදනා ලබා වැඩ තහනමකට ලක්කර ඇති මාධ්‍යවේදියා අදාළ පුවත් මුලාශ්‍රය වෙනත් කිසිම පාර්ශවයකට විකිණීමට උත්සාහ දරා නැත.

එය තවත් පාර්ශවයකට විකිණී ඇත්නම් ඊට අදාළ වගකීම ගතයුතු වන්නේ නිදහස් මාධ්‍යවේදියා වෙතින් මෙම පුවත් මූලාශ්‍රය ලබාගත් කර්තෘ මණ්ඩල සාමාජිකයා හෝ වෙනත් පාර්ශවයක් අතිනි.

එසේම මේ සිදුවීමට අදාළව  පරීක්ෂණයක් සිදුකරන පදනමින් තාවකාලික වැඩ තහනමක් සිදුකර ඇති බවක් වාර්තා වුවත් මේ වන විට දැනගන්නට ලැබී ඇත්තේ චෝදනා ලැබූ මාධ්‍යවේදියා සේවයෙන් ඉවත්කර ඇති අතර පරීක්ෂණයක් සිදුනොවන බවය.

දෙරණ අරුණ පරිපාලනය විසින් විධිමත් පරීක්ෂණයක් සිදුකරා නම් මේ වන විට චෝදනා ලැබ සේවයෙන් පහකර ඇති මාධ්‍යවේදියා තමන්ගේ බැංකු ගිණුම් විස්තර පමණක් නොව දුරකථන විස්තර වුවත් ලබාදීමේ සූදානමින් සිට ඇත.

නමුත් කිසියම් පාර්ශවයක් පරිපාලනය නොමග යවා මෙම සිදුවීමට අදාළ පරීක්ෂණයක් සිදුනොවන තැනට වැඩ සකස්කර තිබේ. අප ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට ඒ මීට පෙරත් දෙරණ අරුණ පුවත් මුලාශ්‍ර වෙනත් පාර්ශව වෙත විකිණීමේ තොරතුරු ප්‍රමාණයක් අනාවරණය වීමට ඉඩතිබූ නිසාය.

ඒ අනුව දැන් මෙකී සිදුවීම එක් පැත්තකින් මාධ්‍යවේදියකුගේ ඉදිරි ජීවිතය සම්බන්ධ ප්‍රශ්නයක් බවට පත්ව ඇත.

ඒ ඔහු පුවත් මුලාශ්‍රයක් විකුණු බවට චෝදනා එල්ලකර ආයතනයෙන් ඉවත් කිරීම නිසාය. අනෙක් පැත්තෙන් පුවත් මුලාශ්‍ර විකුණන මාෆියාවක් අදාළ මාධ්‍යවේදියා ගිලටීනයට තබා ඇද්ද යන ප්‍රශ්නය පවතී.එක පැත්තකින් මාධ්‍යවේදියකුගේ වෘත්තීය ජීවිතය ප්‍රශ්නයක් වී ඇති අතර අනෙක් පැත්තෙන් අරුණ පුවත්පතේ කීර්තිනාමය ප්‍රශ්න කෙරී ඇත.

එබැවින් දැන් සිදුවිය යුතුව ඇත්තේ විධිමත් විමර්ශනයකි. එසේම මෙය දෙරණ මාධ්‍ය ජාලයේ ඉහළ පාලනාධිකාරියේ ද අවධානය යොමුවිය යුතු කරුණක් බව අපගේ විශ්වාසයයි.

එබැවින් දැන් සිදුවිය යුතුව ඇත්තේ විධිමත් විමර්ශනයකි. එසේම මෙය දෙරණ මාධ්‍ය ජාලයේ ඉහළ පාලනාධිකාරියේ ද අවධානය යොමුවිය යුතු කරුණක් බව අපගේ විශ්වාසයයි.