Language Switcher

V2025

තීරණාත්මක මොහොතේ හරි තීන්දු ගන්න : වෘත්තීය සමිති 20කින් ආණ්ඩුවට ලියා දන්වයි !

මෙරට කොරෝනා වසංගත තත්ත්වය වඩාත් බරපතල මට්ටමකට පැමිණ ඇති තීරණාත්මක මොහොතේ තත්ත්වය කළමනාකරණය කරගැනීමට නිවැරදි තීන්දු තීරණවලට එළඹෙන ලෙස රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන 20ක් ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.

ඒ සම්බන්ධව විශේෂ මාධ්‍ය නිවේදනයක්ද නිකුත්කර ඇති අතර එය පහත දැක්වෙයි.

කෝවිඞ් - 19 වසංගතය මේ වනවිට රට තුළ සීඝ‍්‍ර ලෙස ව්‍යාප්ත වෙමින් පවතින අතර, නව වයිරස් ප‍්‍රභේදය ඉතා ප‍්‍රබලව මිනිස් ජීවිතවලට දැඩිසේ හානි පමුණුවන බව සෞඛ්‍ය අංශ වෙතින් වාර්තා වී ඇත. නමුත් වසංගත ව්‍යාප්තිය කළමනාකරණය පිළිබඳව සෞඛ්‍ය අංශ හා එයට සම්බන්ධ වෘත්තීය සමිති විසින් පළකරන අදහස් නොසලකා ආණ්ඩුව ක‍්‍රියා කරමින් සිටී. ඊට අමතරව සෞඛ්‍ය අංශයන්හි දැනුවත් වෘත්තීය සමිති විසින් පළකරන නිදහස් හා වෘත්තීමය මතයන්ට බාධා කරන ප‍්‍රතිපත්තියක් කරා ආණ්ඩුව එළඹ ඇත.

මෙවන් අසීරු මොහොතක ආණ්ඩුවේ වගකීම විය යුත්තේ යථා තත්වය නිවැරදිව තේරුම් ගනිමින් සියලූ පාර්ශවවල සහාය ලබාගෙන මෙම වසංගත ව්‍යාප්තිය මැඩලමින් ජනතාවගේ ජීවිත ආරක්‍ෂා කිරීමට කටයුතු කිරීම වුවද ආණ්ඩුව එයට පටහැනිව අත්තනෝමතික ස්වභාවයකින් කටයුතු කරන බවක් පෙනේ.

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ස්වාධීන වෘත්තීය සමිති නියෝජනය කරන අප සංවිධානය, රටේ වැඩකරන ජනතාවගේ බහුතරය නියෝජනය කරන අතර ඔවුන් වෙනුවෙන් පමණක් නොව, රටේ සමස්ත මහජනතාවගේ සුරක්‍ෂිතභාවය වෙනුවෙන් නිරන්තරව පෙනී සිට ඇත. එබැවින් මේ තීරණාත්මක මොහොතේ කෝවිඞ් - 19 වසංගතය කළමනාකරණය සඳහා නිවැරදි තීන්දු තීරණවලට එළඹෙන මෙන් ආණ්ඩුවට තරයේ බලකර සිටිමු.  

01 මේ වනවිට රටේ ප‍්‍රධාන පෙලේ වෛද්‍ය සංගම් හතරක් විසින් ඉදිරිපත්කර ඇති යෝජනා වහා ක‍්‍රියාත්මක කිරීම.

02 මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය, වෛද්‍ය රසායනාගාර කාර්මික වෘත්තීයවේදීන්ගේ සංගමය, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ඇතුළු සෞඛ්‍ය ක්‍ෂෙත‍්‍රයේ අනිකුත් වෘත්තීය සංගම් විසින් පෙන්වා දෙන කරුණු කෙරෙහි දැඩි අවධානය යොමු කිරීම.

03 සෞඛ්‍ය ක්‍ෂෙත‍්‍රයේ වෘත්තීය සමිති විසින් පෙන්වාදෙන කරුණු කෙරෙහි අවධානය යොමුකරනු වෙනුවට ඔවුන්ගේ වෘත්තීයමය හා නිදහස් අදහස් මර්දනය කිරීමට කටයුතු කිරීම වහා අත්හිටුවීම.

04 සීඝ‍්‍රයෙන් ව්‍යාප්ත වෙන කෝවිඞ්-19 වසංගත තත්වය පාලනය සඳහා රටතුළ තාවකාලිකව සංචරන සීමා පැනවීමක් වහා සිදු කිරීම.

05 වයිරස පාලනය සඳහා මූලික පියවරක් වන එන්නත්කරණය රට තුළ ක‍්‍රියාත්මක කිරීමේ දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ මගපෙන්වීම් ද සළකමින් පිළිගත් හා සාධාරණ ක‍්‍රමවේදයන් අනුව විධිමත් ලෙස එම වැඩ පිළිවෙළ ක‍්‍රියාත්මක කිරීම.

06 රෝග ව්‍යාප්තිය තුළ වැඩ කරන ජනතාව මුහුණ දී ඇති ගැටලූ විසඳීම සඳහා කම්කරු අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් විශේෂ කාර්ය සාධන බලකායක් සියලූ ක්‍ෂෙත‍්‍රවල වෘත්තීය සමිතිවල සහභාගීත්වයෙන් පිහිටුවීම.

07 වැඩ කරන ජනතාවට සේවයට පැමිණීමට ඇති බස්, දුම්රිය වැනි පොදු ප‍්‍රවාහන සේවා බිඳ වැටී ඇති බැවින් සෞඛ්‍යාරක්‍ෂිතව පොදු ප‍්‍රවාහනය භාවිත කිරීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බැවින් ඒ සඳහා කඩිනම් විසඳුමක් ලබාදීම.

කෝවිඞ් - 19 වසංගත කළමනාකරණයේ පවතින අඩුපාඩු නිවැරදි කර ගනිමින් නිසි කළමනාකරණ වැඩ පිළිවෙළක් කරා නොගියහොත් රටතුළ බරපතල ව්‍යසනකාරී තත්වයක් ඇතිවීම නොවැලැක්විය හැකිවනු ඇත.

එබැවින් සෞඛ්‍ය ක්‍ෂෙත‍්‍රය ප‍්‍රමුඛ වගකිවයුතු පාර්ශවවලින් ඉදිරිපත් කරනු ලබන අදහස් සලකා බලමින් ඉතා කඩිනමින් විධිමත් කෝවිඞ්-19 වසංගත කළමනාකරණ වැඩ පිළිවෙළකට අවතීර්ණ වන මෙන් අපි ආණ්ඩුවට බලකර සිටින අතර එම ඉල්ලීම් සාර්ථකකර ගැනීම සඳහා ජනතාව අතරට ගෙනයන මෙන් රටේ සියලූ වගකිවයුතු මාධ්‍ය ආයතන වෙතින් සහෝදරාත්මකව ඉල්ලා සිටිමු.

මෙයට - විශ්වාසී

රන්ජන් සේනානායක සම කැඳවුම්කරු

01 ලංකා බැංකු සේවක සංගමය 

02 ලංකා වෙළඳ කාර්මික හා පොදු කම්කරු සංගමය

03 මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය 

04 එක්සත් කම්කරු සම්මේලනය 

05 තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය

06 ශ‍්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍ය වේදීන්ගේ සංගමය 

07 එක්සත් පොදු සේවා සංගමය

08 වාණිජ හා කාර්මික සේවක සංගමය

09 රක්‍ෂණ සේවක සංගමය

10 තොරතුරු හා විදුලි සංදේශ සියලූ සේවක සංගමය

11 ලංකා ගුරු සංගමය

12 ලංකා වතු සේවා සංගමය

13 දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුව

14 ටෙලිකොම් ඉංජිනේරුමය ඩිප්ලෝමාධාරීන්ගේ සංගමය

15 ආහාර, බීම සහ දුම්කොළ කර්මාන්ත සේවක සමිතිය

16 ස්වාධීන තටාක සේවක සංගමය

17 ජාතික නිදහස් වෘත්තීය සමිතිය

18 රජයේ මුද‍්‍රණ ශිල්පීන්ගේ සංගමය 

19 ලංකා වැවිලි සේවා සංගමය

20 ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය-MONLAR