Language Switcher

V2025

ජනාධිපතිතුමනි, සත පහකට වැඩක් නැති ලෙබනන් තානාපතිනි එපා : රට විරුවන් විරෝධයේ !

ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලය ඉදිරිපිටට එක්වූ එරට වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් විසින් පසුගිය 9 වනදා විරෝධතාවයක නිරත වූ අතර ඒ ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපතිනිය ඇතුළු තානාපති කාර්‍යාල නිලධාරීන් එරට වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට කිසිම ආකාරයක සේවයක් ලබා නොදෙන බවට චෝදනා කරමින්ය.

මෙම විරෝධතාවයේ විශේෂත්වයක් වූයේ පාට පක්ෂ භේදයකින් තොරව ඒ සඳහා ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් රැසක් එක්ව තිබීමය. එහිදී ඔවුන්ගේ ප්‍රමුඛ සටන් පාඨයක් වූයේ මේ වන විට තමන් ලෙබනන් ලීරා ලෙස උපයන මුදල් ඩොලර් ලෙස ශ්‍රී ලංකාව වෙත යැවීමේ නොහැකියාවක් මතුව ඇති නමුත් තානාපති කාර්‍යාලය ඒ සම්බන්ධව කිසිදු මැදිහත්වීමක් සිදුනොකරන බවයි.

ඒ සම්බන්ධව විරෝධතාවට එක්වූ ශ්‍රී ලාංකිකයකු මෙසේ දැක්වීය.

මේ අතර මෙම විරෝධතාවට එක්වූ චන්ද්‍රානි වනසිංහ ද  අප සමග අදහස් දක්වා සිටි අතර  ඇය වසර ගණනාවක් තිස්සේ ලෙබනනයේ සේවය කරන කාන්තාවකි.

"අපිට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි අපි මෙහෙ ආව කරණය කරගන්න බැරි වීම. අපේ ආදරනීයන්ගෙන් ඈත් වෙලා අපි ඇවිත් ඉන්නේ මෙහෙ හම්බකරලා ලංකාවට සල්ලි යවන්න. ඉතින් ඒක හරියට කරගන්න බැරුව අවුරුදු දෙකක් විතර ඉඳලා දුක් විඳිනවා. මේ තානාපතිනිය නෙවෙයි කිසිම මැදිහත්වීමක් කරන්නේ. මෙහෙ ඉන්න අයට ප්‍රශ්න රැසක් තියෙනවා. ඒ දේවල් කතා කරන්න විනාඩි 10 ක් දෙන්න බෑ කියන තානාපතිනියක් තමයි ලංකාවෙන් ලෙබනනයට ඇවිත් ඉන්නේ. "

ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස කටයුතු කරන්නේ ශානි කළ්‍යානිරත්නයි. පසුගිය ආණ්ඩු සමයේ තානාපතිනිය ලෙස පත්ව පැමිණි ඇය සම්බන්ධව ලෙබනනයේ වෙසෙන ලාංකිකයන් බරපතළ චෝදනා රැසක් එල්ල කරයි.

"කොන්ත්‍රාත් රැකියා ලාභින්ට විතරයි යන්තමින් හරි සහනයක් තියෙන්නේ. අනිත් සේරම අය ගොඩක් දුක් විඳිනවා. මේ වෙනකොට කකුලක් කපපු ලාංකිකයෙක් ඉන්නවා රෝහලේ. එයාව ලංකාවට යවන්න තියෙන්නේ. ඒත් තානාපති කාර්‍යාලය නෙවෙයි ඇහැක් ඇරලා බලන්නේ. අපි හරි හම්බ කරන දේවල් කීය කීය හරි එකතු කරලා ඒ අසරණ වුන අයට උදව් කරනවා. නමුත් කකුල කපපු කෙනාව ලංකාවට යවන්න අපිට බෑනේ." චන්ද්‍රානි වනසිංහ පවසයි.

කොරෝනා හැදුණු අපේ කෙනෙක් ලංකාවට යවන්න සේරම සූදානම් කරලා තියෙනකොට අන්තිමේ තානාපති කාර්‍යාලය හරියට සොයා බැලුවේ නැති නිසා එයාර්පෝර්ට් එකේ දාලා ගිහින්. අපි තමයි එක්කගෙන ඇවිත් ආය ලංකාවට යවන්න කටයුතු හැදුවේ. දැන් එයා ලංකාවේ . ඒත් ලොකු මානසික පීඩාවකට පත්වෙලා කියලා දැනගන්න තියෙනවා."

මෘත දේහයකුත් සඟවාගෙන ?

මේ අතර තවත් ලෙබනනයේ සේවය කරන ශ්‍රී ලාංකික කාන්තාවක් අපේ ප්‍රවෘත්ති අංශය අමතා සඳහන් කර සිටියේ එරටදී මියගිය ශ්‍රී ලාංකික කාන්තාවකගේ සිරුර පවා තානාපති කාර්‍යාලය සඟවා ඇති බවයි. ඒ සම්බන්ධව තානාපති කාර්‍යාලය වෙත චෝදනා කරන ශ්‍රී ලාංකික ප්‍රජාව පවසන්නේ අදාළ මරණය සම්බන්ධව නිසි විමර්ශනයක් කළහොත් ඊට තානාපති කාර්‍යාලයේ වගකිවයුතු බව සොයාගත හැකිබවයි.

ලංකාවේ පත්තරයක්  බොරු ලියලා !

ලෙබනනයේ ලාංකික ජීවිත ගැන තවත් අදහස් දැක්වූ අයෙකු සඳහන් කර සිටියේ ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ සත්‍ය තත්ත්වය මෙරට පෞද්ගලික මාධ්‍ය ජාලයකට අයත් පත්තරයක් විසින් විකෘති කර ලියා ඇති බවයි. තමන් ඒ සම්බන්ධව නිවැරදි කිරීමක් ඉල්ලු බවත් ඔහු අප සමඟ පැවසීය. "මාධ්‍ය නේද මිනිස්සුන්ට පිහිට වෙන්න ඕන. අපිව ජන්ද කාලේ රට විරුවන් කියලා හැඳින්නුවේ බොරුවටද ? දැන් නම් හිතන්න වෙලා තියෙන්නේ එහෙම. මේ අහිංසක මිනිස්සු ගැන තානාපතිනියට ගානක්වත් නෑ. අපි ඉස්සරහට තොරතුරු දෙන්නම් සාක්ෂි එක්ක. නමුත් කියන්න කණගාටුයි සමහර මාධ්‍යවේදීන් අපේ දුක හංගලා ලියලා. අපිට තේරෙන්නේ නෑ මහත්තයෝ මොන නිවනක් පතාගෙන එහෙම ලියලද කියලා. ලියන රස්සාව උතුම් වැඩක්. ඒත් සමහරු ! අනේ ඔහොම අපේ ඇත්ත නැත්ත කරනවා වෙනුවට අඩුගාණේ නොලියා ඉන්න බැරිද ? අපි හොයලා බලනකොට පෞද්ගලික අංශයේ පත්තරයක්. අනේ දෙයියනේ කියලා හිතුණා. කවුරුවත්ගේ කොන්ත්‍රාත් හරි, ඉහළ අයගේ හිත දිනාගන්න වෙන්න ඇති එහෙම ලියන්න ඇත්තේ. අපේ තරහක් නෑ. මිනිසුන්ගේ ඇත්ත දුක හංගලා ලියලා නින්ද යනවා ඇතිනේ."  

මේ වන විට කොරෝනා වසංගත තත්ත්වය පමණක් නොව රැකියා සහ වැටුප් ආශ්‍රිත ප්‍රශ්න , ලෙබනන් ආර්ථිකයේ බිඳ වැටීම නිසා සිදුව ඇති ජනජීවිතය සම්බන්ධ මූලික ප්‍රශ්න රැසකින් මේ ප්‍රජාව පීඩාවට පත්ව ඇති බව පැහැදිලියි. එබැවින් මේ සම්බන්ධව වගකිවයුතු පාර්ශ්ව කඩිනම් මැදිහත්වීමක් සිදුකළ යුතුව තිබෙනවා නොවේද ?

WhatsApp Image 2021 05 11 at 11.07.08 AM

WhatsApp Image 2021 05 11 at 11.07.08 AM 1

WhatsApp Image 2021 05 11 at 11.07.09 AM

WhatsApp Image 2021 05 11 at 11.07.09 AM 1