Language Switcher

V2025

දළදා මාලිගා ප්‍රහාරයේදී සාමකාමීවූ මහනුවර මෙවර කුපිත කළේ කවුද ?

බෞද්ධයාගේ මුදුන් මල්කඩ වන ශ‍්‍රී දළදා මාලිගාවට ප‍්‍රහාරයක් එල්ල කළ අවස්ථාවේදී ඉතා උපේක්‍ෂාවෙන් රටේ නීතියට ගරු කරමින් කටයුතු කල ද මහනුවර ජනතාව තෙල්දෙණියේ සිදුවීමේදී කලහකාරී අන්දමින් කටයුතු කිරීම තුළ සැඟවුණු කි‍්‍රයාදාමයක් ඇත්දැයි සෙවිය යුතු බව ජාතික හෙළ උරුමය නායක අමාත්‍ය පාඨලී චම්පික රණවක සඳහන් කරයි.

ඊයේ (7) කොළඹ පැවැත්වූ මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කල අතර මෙම ගැටුම් ආශ‍්‍රිතව යම් හෝ කුමන්ත‍්‍රණ කරුවන් වේද ඔවුන්ව වහා හඳුනාගෙන පෙර පරිදි නොව වහාම ඔවුන් හමුවේ නීතිය කි‍්‍රයාත්මක කරන ලෙස ද පැවසීය.

ක්ෂණික විහිදුම් බලකාය නැවත ගෙන එන්න

එසේම අදාළ සිදුවීම ඇතිවීමට පසුබිම දින කිහිපයක් තිස්සේ සමාජයේ නිර්මාණය වූ අතර සමාජ ජලා ඔස්සේ ද ඇතැම් අන්තගාමී තොරතුරු සහ ප‍්‍රකාශන ව්‍යාප්තවූ බවත් තත්වයන් යටතේ ද කිසිඳු විධිමත් පරීක්‍ෂණයක් නොකිරීමෙන් වටිනා මිනිස් ජීවිත අහිමි වීම මෙන්ම ප‍්‍රදේශයේ ජන ජීවිත ද අඩාල වන තත්වයකට මේ වන විට පත්ව ඇතිබව පෙන්වා දෙන අමාත්‍යවරයා ඒ හේතුවෙන් පෙර කි‍්‍රයාත්මක වූ පරිදි ශ‍්‍රී ලංකා පොලීසිය යටතේ ක්‍ෂණික විහිඳුම් බලකායක් වහාම ඇති කිරීමට තමන් යෝජනා කරන බවද පවසයි.

තවද රාජ්‍ය බුද්ධි අංශයේ තොරතුරු නිවැරදිව හා විශ්ලේෂණාත්මකව සුදුසු අන්දමින් කි‍්‍රයාත්මක කිරීම ද කළ යුතුව ඇති අබවද අමාත්‍යවරයා සඳහන් කර සිටියි.

එමෙන්ම මෙවන් මෝඩ, මුග්ධ ක‍්‍රියාදාමයන්ට දායක වීමෙන් හෝ මැදිහත්වීමෙන් කිසිඳු යහපතක් තමන්ට, තම ජාතියට, තම ආගමට හෝ මේ රටට අත් නොවන බවත් මෙම ගැටුම් හේතුවෙන් එම ප‍්‍රදේශවල කඩා වැටුණු ජන ජීවිත නැවත නගා සිටුවීම සඳහා කටයුතු කරන බවත් අමාත්‍යවරයා පවසයි.

ගැටුම් නිසා වාසිවූ ජාතියක් ආගමක් නෑ

මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය. "වෛරයෙන්, කෝපාග්නියෙන්, හිතේ වේගයට මෙවන් ගැටුම් ඇති කර ගැනීමෙන් කිසිඳු ජන කණ්ඩායමකට වාසියක් අත් නොවන බවත් ඉතිහාසය පුරාවටම වාර්තා වූ එවන් සෑම අවස්ථාවකදීම සිදු වී ඇත්තේ එම ආගමික කණ්ඩායමට හෝ එම ජාතියට පාඩුවක්ම විතරයි. මේ අවස්ථාවේදී ද මෙම සිදුවීම් හරහා ශ‍්‍රී ලංකාවේ රණවිරුවන්ට එරෙහිව ජිනීවාවල ඇතැම් අන්තගාමීන් විසින් සිදු කරගෙන යනු ලබන ව්‍යාජ ප‍්‍රචාර සඳහා මෙවන් සිදුවීම් ආශ‍්‍රයෙන් උඩ ගෙඩි සපයනවා. එමෙන්ම තවත් පිරිසක් දේශපාලන වාසි ලබාගැනීම සඳහා මෙම සිදුවීම් යොදා ගනිමින් තිබේ. එවන් දේශපාලන සූකරයන්ගේ ගොදුරු බවට මෙම සිදුවීම් පත් වීම වැලැක්වීමට පියවර ගාන්න ඕන.

ලේ වගුරවල් උඩින් ගොඩයන්න බලන සූකර දේශපාලන කණ්ඩායමක්

අද මලකඳන් අපේක්‍ෂාවෙන් ලේ වගුරවල් දැකීමේ ආශාවෙන් තමන්ගේ දේශපාලන අරමුණු වෙත ගොඩවීමට අපේක්‍ෂා කරන සූකර දේශපාලන කණ්ඩායමක් සිටිනවා. තවත් අවස්ථාවක ව්‍යාජ ප‍්‍රකාශ නිකුත් කරමින් සමාජය බිය වැද්දවීමේ නින්දිත ව්‍යාපාරයක ද ඔවුන් නිරත වෙනවා. මේ සියළු තත්වයන් වටහා ගැනීමත් ඒවා නිවැරදිව වාර්තා කිරීමත්, ඒවා නිවැරදිව අවබෝධ කර ගැනීමත් සියළු දෙනාගේ යහපත වෙනුවෙන් අත්‍යාවශ්‍යයි. ගැටුම් සිදුවී ඇති ප‍්‍රදේශවල සියළු ආගමික සිද්ධස්ථාන සඳහා අවශ්‍ය ආරක්‍ෂාව, රාජ්‍ය ආරක්‍ෂාව යටතේ ති‍්‍රවිධ හමුදාව විසින් ලබාදී තිබෙනවා. ඒ නිසා කිසිඳු ආකාරයක භීතියක් ඇතිකරගත යුතු නැහැ. මෙවන් තත්වයන් හමුවේදී ආරක්‍ෂක හමුදා සමග ගැටුමට නොගිහින් ඔවුන්ගේ රාජකාරී සඳහා සහය ලබාදීමට ජනතාව කටයුතු කල යුතුයි.