ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගෙන අදට දින 30කි. රිෂාඩ් බදියුදීන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සාමාජිකයෙකු ලෙස 90 දශකයේ සිට මා හඳුනයි. භක්තිමත් මුස්ලිම් ජාතිකයෙකු වූ ඔහු කිසි විටෙකත් අන්තවාදියෙකු නොවීය. රිෂාඩ් බදියුදීන් යනු ශ්‍රී ලංකාවේ අසාර්ථකම රාජ්‍ය පාලනයේ අකාර්යක්ෂම කළමනාකරණය කෙරෙහි අවධානය වෙනතකට හැරවීම සදහා හුදු බිල්ලකි.'' යැයි හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර අවධාරණය කරයි.
හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මේ කරුණු අවධාරණය කර සිටියේ අද (24) සිය ට්ට්වීටර් ගිනුමේ සටහනක් තබමින්ය .
අදාළ ට්වීටර් සටහන පහත දැක්වෙයි.

හිටපු මුදල් අමාත්‍යවරයා මේ ට්වීටර් සටහන තබා ඇත්තේ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක, සමගි ජනබලවේගය පක්ෂයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන සහ ඔහුගේ සහෝදරයෙකු වන රියාජ් බදුර්දීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන (මැයි 24) මාසයක් පිරෙන තැනය.
අප්‍රේල් 24 දා උදැසන ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට ගනු ලැබුවේ 2019 අප්‍රේල් මස 21 පාස්කු ඉරිදා දින එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනවලට අනුව එම ප්‍රහාරයට සම්බන්ධ ස්වයං ඝාතකයින්ට ආධාර අනුබල දී ඇතැයි කියමින්ය.
රිෂාඩ්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් !
කෙසේ වුවත් මේ වන විට පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා යයි පවසමින් අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින තමන්ව මුදාහරින නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත්කර තිබේ.
තමා අත්අඩංගුවට ගැනීමට සාධාරණ කරුණු කිසිවක් නොමැති බව පෙන්වා දෙන මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්, සුළු ජාතික දේශපාලන පක්ෂයක නායකයෙකු වන තමන්ව අපහසුතාවයට හා පළිගැනීමට ලක්කිරීමේ අරමුණින් එය සිදුකොට ඇතැයිද එකී පෙත්සම මගින් කියා සිටියි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් එම චෝදනා තමා තරයේ ප්‍රතික්ෂේප කරන බවද ඔහු අවධාරණය කර සිටියි.
මම යම්කිසි වැරැද්දක් කර තිබේ නම් අධිකරණයට ඉදිරිපත් කර මට මරණ දඬුවම වුණත් ලබා දෙන්න !
මේ අතර ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ආරක්ෂක ඇමතිවරයාගේ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැදවුම් භාරයේ සිටින රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා, ආණ්ඩුවේ දේශපාලන බාධක මැද මැයි 18 දින (18) පාර්ලිමේන්තු සැසිවාරය සඳහා සහභාගී විය.
''අවුරුදු විස්සක් මුළුල්ලේ ජනතාවගේ ඡන්දයෙන් පත් වී මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයෙකුව කිසිම වැරැද්දක් නොමැතිව ජනාධිපතිවරයාගේ බලය පාවිච්චි කර මාස තුනක් රැඳවුම් භාරයේ තබා ගැනීම කුමන ආකාරයකින් සාධාරණ වේ දැයි ඔහු පාර්ලිමේන්තුව අමතමින් විමසා සිටියේය.
''මා යම් කිසි වැරද්දක් කර තිබේ නම් එය අධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබිය යුතුයි, එසේ නැතිනම් නීතිපති දෙපාර්තමේන්තුවට දැනුවත් කර තිබිය යුතුයි, එහෙත් දින විසි දෙකක් මුළුල්ලේ මාව රැඳවුම් භාරයේ තබාගෙන මේ වන තෙක් එලෙස කිසිදු වාර්තාවක් අධිකරණයට හෝ නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර නෑ.
මම යම්කිසි වැරැද්දක් කර තිබේ නම් අධිකරණයට ඉදිරිපත් කර මට මරණ දඬුවම වුණත් ලබා දෙන්න. එසේ නැත්නම් මාව නිදහස් කරන්න" යැයි මන්ත්‍රීවරයා දැඩි ආවේගයෙන් යුතුව කියා සිටියේය.

