"කොවිඩ් නිසා ජන ජීවිතය විශාල වශයෙන් කඩා වැටී තිබියදී ඔය වැනි වාහනයක් ලබාගෙන යන්න හිතක් දෙන්නේ මොන වගේ අයටද? මේක හරියට පාරේ නිදා ගෙන ඉන්න මිනිස්සුන්ගේ ඇඟ උඩින් ගල් රෝලක් අරන් යනවා වගේ වැඩක්." යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක , පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසයි.
ඔහු මේ අදහස් දක්වා සිටියේ අද (26) ජවිපෙ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.
එහිදී ජවිපෙ නායක අනුර කුමාර දිසානායක වැඩිදුරටත් මෙසේද පැවසීය.
මහින්ද රාජපක්‍ෂ මැතිතුමා විසින් වාහන මිලදී ගැනීමේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා. සමහර ප්‍රවෘත්තිවලට සියලු මන්ත්‍රීවරුන්ට කියලා සඳහන් වෙනවා. අපේ ප්‍රතිපත්තිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහනයක් ලබාදී ඔවුන්ගේ ධුර කාලය අවසන් වූ විට එය ආපසු රජයට ලබාදිය යුතුයි කියන එකයි.
ඒ වාහනයත් සරල වාහනයක් විය යුතුයි. අපේ ඒ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නැහැ. නමුත් ආණ්ඩුව ඩොලර් 62,000ක් දක්වා තීරු බදු රහිත වාහන ලබාදීමේ ක්‍රියාමාර්ගයකට ගියා. ඒ වෙලාවෙත් අපි ලබගත්තෙත් ඩොලර් 15,000ක් පමණ වන කැබ් රථයක්. මහින්ද රාජපක්‍ෂ මහත්මයාගේ කැබිනට් පත්‍රිකාව අනුව ආණ්ඩුව විසින්ම වාහන අරගෙන මන්ත්‍රීවරුන්ට බෙදා දීමයි එය කිසිසේතම යෝග්‍ය ක්‍රියාවලියක් නොවෙයි. දැඩි සත්කාර ඒකකවල බරපතළ ඇඳන් හිඟයක් තිබියදී, ගිලන්රථ හිඟයක් තිබියදී, පී.සී.ආර්. පරීක්‍ෂණ වැඩිකළ යුතුව තිබියදී මෙය කිසිසේත්ම නොකළ යුතුයි. කොවිඩ් නිසා ජන ජීවිතය විශාල වශයෙන් කඩා වැටී තිබියදී ඔය වැනි වාහනයක් ලබාගෙන යන්න හිතක් දෙන්නේ මොන වගේ අයටද? මේක හරියට පාරේ නිදා ගෙන ඉන්න මිනිස්සුන්ගේ ඇඟ උඩින් ගල් රෝලක් අරන් යනවා වගේ වැඩක්. ඒ බව දැනෙන්නේ ජනතාව වෙනුවෙන් ඇත්ත අර්ථයෙන් පෙනී සිටින පාලකයන්ට පමණයි. හැබැයි මේ ගොල්ලෝ ජනතාවගේ ව්‍යාජ පාලකයන්.
මේ ගොල්ලෝ හොරෙන් කරන්න ගිය වැඩේ ජනමාධ්‍යවලින් හෙළි කළා. අග්‍රාමාත්‍යවරයා කැබිනට් පත්‍රිකාව දානකොට කොවිඩ් වසංගතය ගැන දන්නේ නැද්ද? කැබිනට් පත්‍රිකාව දානකොට රටේ ඩොලර් හිඟයක් තිබෙන බව දන්නේ නැද්ද? මේ කැබිනට් පත්‍රිකාව දානකොට කහ, අමතර උපකරණ, ටයිල්, වගේ දේවල් නතර කර තිබෙන බව දන්නේ නැද්ද? මේ කැබිනට් පත්‍රිකා දැම්මේ වාහන ගේන්නමයි.
නමුත් වැඩේ පත්තුවුණා. විශේෂයෙන්ම මාධ්‍යය, ජනතාවගේ විරෝධය ප්‍රකාශ කිරීම ගැන ස්තුතිවන්ත වෙනවා. විරෝධය හමුවේ අග්‍රාමාත්‍යවරයාම එය නතර කළා. ඊට පස්සේ අග්‍රාමත්‍යවරයා විසින් එය නතර කිරීම ගැන පින් අනුමෝදනා කරනවා කියලා ප්‍රචාරයන් යවනවා. මේ ගොල්ලෝ දෙබිඩ්ඩෝ. ඇත්ත මුහුණට අමතරව ඒ ගොල්ලන්ගේ බොරු මුහුණක් තිබෙනවා. හැම වෙලාවෙම පෙන්නං ඉන්නේ බොරු මුහුණ. මේ සිදුවීම් තුළින් ජනතාව මේ පාලකයන් පිළිබඳව තේරුම් ගන්න ඕන තරම් නිදසුන් තිබෙනවා.

