එන්නත්කරණ රාජකාරියට බාධාකර සැඟවුණු සමන්ලාල් :ගල්කිස්ස පොලිසියට බාරවෙයි !

එන්නත්කරණ රාජකාරියට බාධාකර සැඟවුණු සමන්ලාල් :ගල්කිස්ස පොලිසියට බාරවෙයි !
අද (28) උදෑසන පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට යාමේදී නිවසේ නොසිට පළාගොස් සිටි මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මීට ස්වල්ප මොහොතකට පෙර ගල්කිස්ස පොලිසිය වෙත නීතිඥයකු හරහා බාරවූ බව වාර්තා වෙයි.
 
මොරටුව මෝල්පේ සහ මොරටුමුල්ල උතුර ග්‍රාමසේවා වසම් සඳහා සයිනොෆාම් එන්නත ලබා දීමට ගිය වෛද්‍යවරියකට ඊයේ (27) බැන තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්  මොරටුව නගරාධිපතිට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිසිය සඳහන් කළ අතර ඔහුව අත්අඩංගුවට ගැනීමට නිවාස සෝදිසි කළේද ඒ අනුවය.
 
මෙසේ අත්අඩංගුවට ගැනීමට නියෝග නිකුත්කර ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් බවත් දැනගන්නට ඇත. ඒ ඊයේ දිනය පුරා ආණ්ඩුවට සම්බන්ධ සෞඛ්‍ය වෘත්තීය සමිති, ආණ්ඩුවේ හිතවත් භික්ෂූන් සහ ප්‍රසිද්ධ වෛද්‍යවරුන් රැසක් ජනාධිපති වෙත සිදුකල අඛණ්ඩ පැමිණිලි වල ප්‍රතිඵලයක් ලෙස බවත් දැනගන්නට ඇත.
 
මොරටුව නගරාධිපතිව අත්අඩංගුවට ගැනීමට පොලිසිය ගොස් ඇත්තේ ඒ අනුවය.
 
මොහුට එරෙහි චෝදනාව වන්නේ රාජකාරියට බාධා කිරීමය. 
 
ඒ සම්බන්ධයෙන් වෛද්‍යවරිය ගල්කිස්ස පොලිසියට කළ පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
 
ජනාධිපතිවරයාගේ නියෝගයක් මත තමා අත්අඩංගුවට ගැනීමේ සුදානමක් ඇතිබව වාර්තාවූ වහාම නිවසින් පැනගොස් ඇති නගරාධිපතිවරයා, අගමැති මහින්ද රාජපක්ෂ වෙත දුරකථන ඇමතුමක් ලබාදී ඇතැයි වාර්තාවේ.
 
එහිදී ඔහුට වහාම පොලිසියට බාරවන ලෙස අගමැතිවරයා උපදෙස් දී ඇතැයි ද පැවසේ.
 
ඒ අනුව  අද පෙරවරු 9.00 ට නීතිඥයකු මාර්ගයෙන් පොලිසියට බාරවන බවට මොරටුව පුරපතිවරයා සහතිකවී තිබේ.  නගරාධිපතිවරයා ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත බාරවී ඇත්තේ ඒ අනුවය.
 
මොරටුව නගරාධිපතිවරයා මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් වාර්තා වන අතර එහිදී නීතිඥ සංගම් සහ සෞඛ්‍ය වෘත්තීය සමිතියක් වෙනුවෙන් නීතිඥයන් ඉදිරිපත්වී ඇප ලබාදීමට විරුද්ධවීමේ සූදානමක් ඇති බවත් වාර්තා වෙයි.
මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු 'පොහොට්ටු' පක්ෂයේ පළාත් පාලන ආයතන සංවිධානයේ ප්‍රධානියෙකි.ඒ පදනමින් අදාළ නගරාධිපතිවරයා අත්අඩංගුවට ගැනීම වැළක්වීමට අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන නමින් ඇමතුම් ලැබී ඇති බවත් වාර්තා වන අතර  එහිදී පොලිස් ප්‍රධානියකු , ''මේකට අතගහන්න එපා, මේක ඉහලින් ආපු ඕඩර් එකක් කියා'' දුරකථනය විසඳි කර ඇති බවත් වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න