Language Switcher

V2025

මහනුවර ගැටුම් පිටුපස ආණ්ඩුවේ දේශපාලඥයන් !

සිංහල – මුස්ලිම් මරා ගැනිල්ලකට පාර කැපුවේ ආණ්ඩුවේ ආශිර්වාදය ලබන සිංහල හා මුස්ලිම් මැරකම් කණ්ඩායම් බව රට පුරා සිදුව ඇති ලේ වැකි සිදුවීම්වලින් පැහැදිලි වන බවට ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා චෝදනා කරයි.

පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙසේ චෝදනා කර සිටියේය.

එහිදී වැඩිදුරටත්ටත් අදහස් දැක්වූ සමරවීර මහතා මෙසේද සඳහන් කළේය.

''අම්පාර මුස්ලිම් කොත්තු කඬේ සිදුවීම් පිටුපස ඉන්නේ ආණ්ඩුවේ දේශපාලනඥයෙක්.

ඉන්පසුව දිගන නගරයේ සිදු වූ සාපරාධී, ප්‍රකෝපකාරී තත්ත්වයට මුල් වූ කුමාරසිංහ නමැති සිංහල තරුණයාගේ ඝාතනයට අදාළ මුස්ලිම් තරුණයන් අත්අඩංගුවට නොගැනීම බලපෑම් කළෙත් ආණ්ඩුවේ දේශපාලනඥයෙක්.

ඒ වගේම කුලියාපිටිය නගරයේ මුස්ලිම් වෙළඳසැල්වලට පහරදීම නිසා අත්අඩංගුවට ගත් මැරයන් පැයකින් නිදහස් කර ගත්තේ එජාප ප්‍රබල ඇමතිවරයෙක්.

මේ සියල්ලෙන් පෙනී යන්නේ ආණ්ඩුවේ ආශිර්වාද සිංහල – මුස්ලිම් මැරයන් තමයි මේ මහා මරා ගැනිල්ලට පාර කැපුවේ කියා

සිංහල – මුස්ලිම් මිනිසුන්ගේ මළ කඳන් මතින්, ගිනි ගත් දේපල හා ලේ ගංගා මැදින් ඇවිත් ආණ්ඩුව තමන් මුහුණ දී තිබෙන විශ්වාසභංගය යටපත් කරගන්න හදනවා'' යයි ද ඔහු කියා සිටියේය.

amith 1000px

'මහසොහොන් බලකායේ’ ලොක්කාගේ ඇමතිගේ සබදතා හෙලිවෙයි'

 මේ අතර මහනුවර ප්‍රදේශයේ ඇති වූ කෝලාහලය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගන්නා ලද ‘මහසොහොන් බලකාය’ නම් සංවිධානයේ ප්‍රධානියා බව කියන අමිත් වීරසිංහ නම් පුද්ගලයා කලකට පෙර වත්මන් ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙක් හා සමීප සබදතා තිබුනු බවටත් මහසොහොන් බලකාය නිර්මාණය වූයේ එම ඇමතිවරයාගේ උවමනාව මත බවටත් අන්තර්ජාලයේ වාර්තා පළවේ.

මෙම ගැටුමට සම්පුර්ණයෙන් වගකිව යුත්තේ ජාතික ඇදුම ඇදගෙන කොළඹ දිස්ත්‍රීක්කයෙන් පාර්ලිමේන්තු ආ හීන්දෑරි උස ජෙහාන් කෙනෙක් යයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී චෝදනා එල්ල කලේය.

කෙසේවුවද කැබිනට් ප්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා සදහන් කලේ මහනුවර දිස්ත්‍රීක්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු මෙම ගැටුමට සම්බන්ධ බවයි.

 rajitha ranjithනව පොලිස් ඇමති රාජිතගේ කතාව ප්‍රතික්ෂේප කරයි !

මහනුවර ප්‍රදේශයේ ඇතිවූ සිද්ධියක්‌ මුල්කරගෙන කලබල කරන පුද්ගලයන් පසුපස දේශපාලනඥයන් සිටින බවට කිසිදු තොරතුරක්‌ මෙතෙක්‌ ලැබී නැතැයි නීතිය සහ සාමය පිළිබඳ නව ඇමැති රංජිත් මද්දුම බණ්‌ඩාර මහතා සිය ඇමැති ධුරයේ දිවුරුම් දීමෙන් පසු "දිවයින" පුවත්පතට පවසා ඇත.

කෙසේවුවද මෙම සිද්ධීන් සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවේ සිටින සැකකරුවන්ගෙන් රහස්‌ පොලිසිය දීර්ඝ වශයෙන් ප්‍රශ්න කරගෙන යන බවත් ඔවුන්ගේ පසුබිම සොයා බලන බවත් ඇමැතිවරයා සඳහන් කර තිබේ.

කැබිනට් ප්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා පසුගිය බදාදා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සදහන් කලේ මහනුවර දිස්ත්‍රීක්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු මෙම ගැටුමට සම්බන්ධ බවයි.

 රාජිත කියන මන්ත්‍රීන් දෙදෙනා හෙළි කරන්න

එසේ, මහනුවර දිස්‌ත්‍රික්‌කයේ ඇතිවූ ජාතිවාදී ගැටුම්වලට වගකිව යුතු බවට කැබිනට්‌ ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනා වහාම රටට හෙළි කරන ලෙසට ඒකාබද්ධ විපක්‍ෂයේ හා ජනතා විමුක්‌ති පෙරමුණේ මන්ත්‍රීවරු කථානායක කරු ජයසූරිය මහතාගෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (08 දා) ඉල්ලා සිටියහ.

අධ්‍යාපන ඇමැති අකිල විරාඡ් කාරියවසම් මහතා -

ඊයේ පාර්ලිමේන්තුවේදී විමල් වීරවංශ මන්ත්‍රීවරයා බරපතළ ප්‍රකාශයක්‌ කර තිබෙනවා. එදා කිව්වා කුලියාපිටියේ කඩවලට ගිනි තියලා කියලා. ඒකට මන්ත්‍රීවරයෙක්‌ සම්බන්ධයි කියලා. ඒත් පොලිසියට ඉහළින් ආපු බලපෑමක්‌ නිසා ඔහුව නිදහස්‌ කරලා කියලා. මේක සම්පූර්ණයෙන් අසත්‍යයි. කඩ ගිනි තියලා නැහැ.

සිද්ධි දෙකක්‌ වී තිබෙනවා කොත්තු දමන කඩයක වීදුරුවකට පහරදීමක්‌ වෙලා තිබෙනවා. ඒකට කිසිම මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගෙන නැහැ. මේවා අසත්‍යයි. මේ අය ජාතිවාදය අවුස්‌සනවා. පොඩි ඡන්දයක්‌ දිනලා මෙහෙම නම් ලොකු ඡන්දයක්‌ දිනුවොත් කොහොමට සිටීද?

බන්දුල ගුණවර්ධන මහතා -

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙක්‌ ගැන කියලා ප්‍රවෘත්ති දාලා. ජාතිවාදය අවුස්‌සන්නේ ආණ්‌ඩුව. මෙවැනි අවස්‌ථාවකට පත්වෙන්න එපා. රටක්‌ ගිනි ගන්නකොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හිරේ දාන එකද කරන්නේ?

නලින් බණ්‌ඩාර මහතා -

මහනුවර තිබෙන ජාතිවාදී අරගල වයඹට, කුරුණෑගලට ගේන්න උත්සහ ගෙන තිබෙනවා. මේවා මේ වීරවංශලා, ගම්මන්පිලලා වපුරපු ජාතිවාදී බීජ තමයි.

විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා -

කැබිනට්‌ ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා කැබිනට්‌ තීන්දු ප්‍රකාශයට පත් කරන ගමන් මේ ප්‍රකාශය කර තිබෙනවා. රූපවාහිනියෙන් මමත් එය දැක්‌කා. මේ ගැටුම් සඳහා මන්ත්‍රීවරුන් දෙදෙනකු හවුල් වෙලා නම් ඔහු මේ නම් නොකියා කියන්නේ දේශපාලන හස්‌තයක්‌ තිබෙන බවයි. මහනුවර සිද්ධිය පිළිබඳ අදිසි හස්‌තය හෙළිවෙයි කියලයි පුවත්පත් වාර්තා කර තිබෙන්නේ. ඒ නිසා මේවා ව්‍යංගයෙන් නොකියා පාර්ලිමේන්තුවට විස්‌තර ඇතුව කියන්න.

දිනේෂ් ගුණවර්ධන මහතා -

1983 කළු ජූලිය වෙලාවේ එජාපයේ අගමැති සහ ඇමැති මණ්‌ඩලය මේ පාර්ලිමේන්තුවේදී කිව්වේ මේ පිටුපස දේශපාලන හස්‌තයක්‌ තිබෙනවා කියලා. ඒ නිසා වහාම ජනතා විමුක්‌ති පෙරමුණ, ශ්‍රී ලංකා කොමියුනිස්‌ට්‌ පක්‍ෂය, නව සම සමාජ පක්‍ෂය, තහනම් කරනවා කියලා. ඒ පක්‍ෂවල නායකයන් මීගමුවේ බන්ධනාගාරයට ගෙනිච්චා. නමුත් මාස ගණනක්‌ යැමට කලින් හෙළිවුණා. කළු ජූලිය ක්‍රියාත්මක කළේ එජාපයේ නායකයන් බවට.

ප්‍රශ්නයක්‌ වෙන තැනකට යැමට මහජන නියෝජිතයන්ට අයිතියක්‌ තිබෙනවා. ඒ නිසා වගකිවයුතු අය වෙනුවට වෙන අයගේ කරපිටට දාන්න එපා. අපි අපේ මන්ත්‍රීවරුන් ආරක්‍ෂා කර ගත යුතුයි. මේ බොරු චෝදනාවලින් අපේ මන්ත්‍රීවරු ආරක්‍ෂා කරන ලෙස කථානායක තුමාගෙන් ඉල්ලා සිටිනවා.

රෝහිත අබේගුණවර්ධන මහතා -
රජයේ වගකීම වෙන්නේ තමන්ගේ දේශපාලන විරුද්ධවාදීන්ට ඇඟිල්ල දිගු කිරීමට පෙර මේ ගැටුම නිසා ඇතිවී තිබෙන දේවල්වලට විසඳුම් දීමයි. මේ පුවත්පතින් දෙන පණිවුඩය කුමක්‌ද? අලුත්ගම දර්ගා නගරයේදී මීට පෙර ඇතිවූ තත්ත්වය සමථයට පත් කරන්න අපිට පල්ලියට, පන්සලට යන්න වුණා. මේ ජාතිවාදී ගිනිදැල් නිවා දමන්න. එහෙම යන්න තිබෙන අයිතියත් නැති කරන්නද මේ හදන්නේ? මේ ගිනිගන්නේ මුළු මහත් ජාතියමයි. රාජිත සේනාරත්න කියන මේ කැබිනට්‌ ප්‍රකාශකයා ටික කාලයකට හෝ ඉවත් කරන්න කියා මා ඉල්ලනවා.

අනුර දිසානායක මහතා -
කැබිනට්‌ ප්‍රකාශක තුමා කියපු මේ මන්ත්‍රීවරු කවුද කියලා රජය හෙළි කළ යුතුයි.

කථානායක -
මේ පිළිබඳව පරීක්‍ෂණ කටයුතු කෙරෙනවා. ඒ වාර්තාවලින් පසුව කරුණු හෙළි කරනවා.

අනුර දිසානායක මහතා -
ඒක තමයි පරීක්‍ෂණවලින් පසුවයි මෙවැනි දේවල් කිව යුත්තේ.

බන්දුල ගුණවර්ධන මහතා -
අපි කුමන දේශපාලන මතිමතාන්තර දැරුවත් මේ සභාවේ මන්ත්‍රීවරු දෙදෙනකු ගැන ප්‍රශ්නයක්‌ මතුවී තිබෙන නිසා කථානායකතුමාට වගකීමක්‌ තිබෙනවා මේ ජාතිවාදී ගිනිදැල්වලට හවුල් වී තිබෙන මන්ත්‍රීවරු දෙදෙනා කවුද කියලා හෙළි කරන්න.