මන්ත්‍රීවරුන්ට වාහන ගෙන්වීමට යන මුදලින් 18 ට වැඩි සේරම වැක්සීන් කරන්න පුළුවන් - මංගල

මන්ත්‍රීවරුන්ට වාහන ගෙන්වීමට යන මුදලින් 18 ට වැඩි සේරම වැක්සීන් කරන්න පුළුවන් - මංගල
මන්ත්‍රීවරුන් සඳහා වරප්‍රසාද දියයුතු බව තමන් පිළිගන්නා නමුත් ඩොලර් මිලියන 175 ක පමණ මුදලක් වැයකොට මන්ත්‍රීවරුන් 225 ට වාහන ගෙන්වීම සඳහා මේ අවස්ථාව නොවන බවත්, ඩොලර් මිලියන 200ක් වැයකර මෙරට වෙසෙන අවුරුදු 18 ට වැඩි සැමට කොරෝනා මර්දන එන්නත් ලබාදිය හැකි බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි.
 
හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මේ අදහස් දක්වා සිටියේ "ණය අර්බුදය හා හෙට දවසේ විසඳුම්" යන තේමාවෙන් යුතුව සුම් තාක්ෂණය ඔස්සේ පැවති සංවාදයක අදහස් දක්වමින් ය. එම සංවාදයට චම්පික රණවක, සුනිල් හඳුන්නෙත්ති, ශානක්‍ය රාසමනිකම් එක්ව සිටි අතර එය මෙහෙයවුයේ මහිල් බණ්ඩාර ඇතුළු තරුණ තරුණියන් කිහිප දෙනෙකු විසිනි.
 
වාහන නිසා කැබිනට් එකෙත් ප්‍රශ්න ඇතිවුණා !
 
මෙහිදී අදහස් දක්වමින් හිටපු මුදල් අමාත්‍යවරයා පවසා සිටියේ මේ වන විට මන්ත්‍රීවරුන් සඳහා ඇනවුම් කළ වාහන මග එන බවයි. එසේම තමන් මුදල් අමාත්‍ය ලෙස සිටි අවසන් වසරේ මන්ත්‍රීවරුන් සඳහා වාහන ගෙන්වීම නොහැකි බව දැන්වීම නිසා කැබිනට් මණ්ඩලයේ පවා ඇතමුන් තරහවූ බවත් ඇතැම් පළාත් සභා මන්ත්‍රීවරුන් පවාද තරහවූ බව හිටපු අමාත්‍යවරයා සිහිපත් කළේය.
 
" මන්ත්‍රීවරුන්ට වාහන 225 ක් ගේනවා, මන්ත්‍රීවරුන්ට වාහනයක් දියයුතුයි, ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් ඒ දියයුතු කාලයක් තිබෙනවා. අමාරු කාලයේ මේවා කරන්න අමාරුයි..
 
නමුත් දැන් වාහන 225 ක් ගෙන්වන්න ඩොලර් මිලියන 175ක් විතර යනවා. අනිත් පැත්තෙන් දැන් කොරෝනා වෛරසය විශාල අර්බුදයක් බවට ලංකාව තුළ පත්වෙලා තියෙනවා. 
18 ට වැඩි සියල්ලන්ට නොමිලේ එන්නත් !
 
එන්නත්කරණය පටන් අරගෙන. ඒක හොඳ දෙයක්. නමුත් තවම එන්නත්දීම පිළිවෙලකට, සිස්ටම් එකකට නෑ.  ඩොලර් මිලියන 175 ක් වෙනුවට අපිට පුළුවන් ඩොලර් මිලියන 200කට ලංකාවේ ජීවත් වෙන 18 ට වැඩි සියල්ලට නොමිලේ එන්නත් දෙන්න.
 
ඩොලර් මිලියන 200ක් ජනතාව වෙනුවෙන් දෙනවා වෙනුවට මන්ත්‍රීවරුන්ට බෙදලා දෙන්නෙ මොහොකටද ? මන්ත්‍රීවරුන්ට වරප්‍රසාද ඕන. මන්ත්‍රීවරුන් විශාල වැඩ කොටසක් කරනවා. ඒ සඳහා සිංගප්පූරු ක්‍රමය තමයි හරි. මන්ත්‍රීවරුන්ට වරප්‍රසාද දෙන අතරේ වංචා දූෂණ නවත්වන්න දැඩි නීති රීති ගේන්න ඕන.
 
 ලංකාව ආසියාවේ දුප්පත්ම රට වෙමින් ඇත !
 
 ලංකාව ආසියාවේ දුප්පත්ම රට වෙමින් තියෙන්නේ. මේක තාරුණ්‍යයට අදාළයි. අනාගතය අයිති ඔයාලට. මට නම් ලොකු බයක් තියෙනවා, විදේශ ප්‍රතිපත්තියක් නැති නිසා එක බල කණුවක එල්ලිලා අනිත් අය තරහ කර ගැනීම නිසා. අසල් වැසියන් තරහ කරගෙන , ලෝක බලවතුන් ඈත් කරගෙන. අපිට කලින් චීනය , වොෂින්ටනය, ක්‍රෙම්ලීනය, එංගලන්තය , නවදිල්ලිය ඕන කෙනෙක් සමග සම්බන්ධ වෙන්න පුළුවන්. නමුත් අද මේ ආණ්ඩුව එක බල කණුවක එල්ලිලා මුළු ලෝකයම තරහ කරගෙන."
 
රටවැසියන් වගේම රාජපක්ෂවරුන්ද අනතුරේ !
 
 මෙම සංවාදය තුළ වත්මන්   අර්බුදය හමුවේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන රටවැසියන් පමණක් නොව ජනාධිපති ප්‍රමුඛ රාජපක්ෂවරුන්ද බරපතල අනතුරකට
මුහුණ දී සිටින බවත් හිටපු අමාත්‍ය මංගල සමරවීර අවධාරණය කළේය.
 
අද දැඩි සමාජ අර්බුදයකට අප තල්ලු වෙමින් පවතින බවත් ඒ නිසා බෙදී වෙන් නොවී ප්‍රජාත්‍රන්තවාදය, නිදහස, සාමානත්වය රැකගෙන එක් විය යුතු බවත් නැතිනම් මේ හිඩැස පිරවීමට අපි නොහිතන බලවේගයන් මතු විය හැකි බවත් ඔහු පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න