උඩරට අර්තාපල් වගාව හාන්සි කරන කෘෂි රසායන තහනම - රජිත් කීර්ති

උඩරට අර්තාපල් වගාව හාන්සි කරන කෘෂි රසායන තහනම - රජිත් කීර්ති

ලංකාවේ පාරිභෝගිකයින්ගේ වාර්ෂික අර්තාපල් අවශ්‍යතාවය මෙ.ටොන් 228,000 කි. එයින් ලංකාවේ නිෂ්පාදනය කරන්නේ 35%කට අඩු ප්‍රමාණයකි.

2019 වසරේ බදුල්ල හා නුවරඑළිය දිස්ත්‍රික්ක ප්‍රමුඛව හෙක්ටාර 5600 ක අර්තාපල් වගා කළ අතර මෙ.ටොන් 101,642 ක අස්වැන්නක් ලැබුණි.

නුවරඒළියේ - වැලිමඩ අර්තාපල් කිලෝවක මිල ඉන්දියානු- පකිස්ථානු අල කිලෝවකට වඩා රු. 30 ක් පමණ වැඩිය. ඒ ලංකා අර්තාපල්වල ඇති සුවිශේෂ වූ මිහිරි රසය නිසාය. අල හොද්දක්, අල බැදුමක්, අල චිප්ස් නැති කෑම පිඟානක් - සාදයක් දැන් පෙනවා පේනවා වගේය.

පොහොර - කෘෂි රසායන නැති වානිජ්‍යමය අර්තාපල් වගාවක් පවතිය නොහැකි තරම්ය. ආණ්ඩුවෙන් එවන පොහොර මිටි 102 බෙදා ගන්නට බැරිව වැලිමඩ ගොවීන් ඊයේ කැප්පෙටිපොල හෙවනකුඹුරේ දී විරෝධය පළ කරන්නේ ගොවියාට පොහොර නැතිව ජීවිතයක් නැති නිසාය.

කි.ග්‍රෑම් 50 බීජ ආනයනික බීජ අර්තාපල් පෙට්ටියක මිල රු. 18,500.00 කි. පොහොර හා රසායන, මිනිස් ශ්‍රමය ඇතුළු අතිරේක වියදම් සමඟ අර්තාපල් හොන්ඩරයක් වගා කරන්නට රු. 26,000 ක් වැය වේ.

අර්තාපල් වගාවේ අස්වැන්න තීරණය වන්නේ වගා සුක්ෂමතාව මතය.

අර්තාපල් සිටුවා අස්වැන්න නෙලන්නට දින 75 - 90 ක් පමණ ගතවේ.

ගොවීන් මේ දින 90 තුල පොහොර යෙදීම, දිලීර නාශක යෙදීම, කෘමි නාශක යෙදීම කාලසටහනක් අනුව සිදු නොකරන්නේ නම් පාරිභෝගිකයාට ඔය ලස්සන, රසම රස අර්තාපල් ලැබෙන්නේ නැත. ඉන්දියා අල මෙන් බඩ මිස දිව පිනවන්නේ නැති මොලෝ රහක් නැති පිටි ගුලියක් පමණක් ලැබෙනු ඇත.

2021 වසරේ හෙක්ටයාර 7000 ක අර්තාපල් වගා කරනු ඇතැයි අපේක්ෂා කළේය.

යුරියා මෙ.ටො. 2310 ක්, ටීඒස්පී ටොන් 1,890 ක්, එම්.ඕපී. 1750 ක් වශයෙන් අර්තාපල් වගාවට පොහොර ටොන් 5950 ක් අවශ්‍ය බව පොහොර ලේකම් කාර්යාලය ඇස්තමේන්තු කර තිබුණි. ඒ බදුල්ල හා නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහාය.

රසායනික පොහොර සහ කෘෂි රසායන නැතිව අල පෙට්ටියක් (කි.ග්‍රෑම් 50 ක්) හදන්නට රු. 26,000 ක් වැය කරන්නට ගොවියෙකු ඉදිරිපත් වන්නේ නම් ඔහුට මානසික ආබාධයක් තිබිය යුතුය!

වැසි සමයේ දවස් දෙකක් දිලීර නාශක නැතිනම්, මීදුම හෝ මල් තුහින වැටෙන්නේ නම් අතිශයින් සංවේදී අර්තාපල් වගාව විනාශ වන්නේය.

අර්තාපල් වගා වියදමෙන් 50%කට වැඩි මුදලක් බීජ අර්තාපල් මිලදී ගැනීමට වැය වන අතර පොහොර, දිලීර හා කෘෂි නාශක සඳහා 30% - 35% ක් වැය වේ. අල වගාව සුදුවක් හා සමානය. හරිගියොත් ගොවියා ගොඩය. වැරදුනොත් විනාශය.

අමන - තකතීරු - මරිමෝඩ තීරණයක් :

ලංකාවේ කෘෂි නිෂ්පාදන ගැන මෙලෝ අවබෝධයක් නොමැතිව ගහෙන් ගෙඩි එන්නා සේ පොහොර තහනම් කිරීම අමන - තකතීරු - මරිමෝඩ තීරණයකි. රු. 350 ට දෙන පොහොර නොමිලේ ලබා ගන්නට ඡන්දය දුන් ජනතාවගේ ඉරණම දුක්ඛිත වනු ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න