ජොස්තරගේ තුට්ටුදෙකේ කතාවට : මාධ්‍ය සංවිධානවල විරෝධය !

ජොස්තරගේ තුට්ටුදෙකේ කතාවට : මාධ්‍ය සංවිධානවල විරෝධය !

ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන් වැඩි දෙනා 'තර්ඩ් ක්ලාස් වැඩ කළ මාධ්‍යවේදීන්' බව හඳුන්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සිදුකළ ප්‍රකාශය මාධ්‍ය සංවිධාන එකතුව විසින් හෙළාදැක ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් වෙත යොමුකළ ප්‍රසිද්ධ ලිපියක් හරහා මේ බව දැනුම්දී ඇත.

සමාජගත වී ඇති අදාළ ප්‍රකාශයෙන් අගතියක් සිදුවූ අපරාධවලට ගොදුරු වූ මාධ්‍යවේදීන් හා හිත් රිදීමට ලක්වූ ඔවුන්ගේ පවුල්වල අයගෙන් මෙන්ම මාධ්‍ය ප්‍රජාවගෙන්  සමාව ගැනීම වගකිවයුතු නිලධාරියකු වශයෙන් සමාව ගැනීම යුතුකමක් බවත් එහි සඳහන් කර තිබේ.

එමෙන්ම ඉතිහාසය පුරා මාධ්‍යවේදීන්ට සිදුවූ අපරාධ (ඝාතන, අතුරුදහන් කිරීම්, ප්‍රහාර)  සම්බන්ධයෙන් යුක්තිය ඉටු නොවී ඇත්තේ ද, ඔවුන් විසින් කළ කාර්ය භාරයන් වැළැක්වීම සඳහා, ඒවා හිතා මතා සැලසුම් කළ අපරාධයන් නිසා බව තම විශ්වාසය බවත් සඳහන් කර ඇත.

අදාළ විවෘත ලිපිය පහත දැක්වෙයි.

2021. 06. 07

විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා,

මාධ්‍ය ප්‍රකාශක,

සෞඛ්‍ය අමාත්‍යාංශය,

සුවසිරිපාය,

අංක 385, පුජ්‍ය බද්දේගම විමලවංශ හිමි මාවත, 

කොළඹ 10. 

ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන් 'තර්ඩ් ක්ලාස් වැඩ කළ' මාධ්‍යවේදීන් යැයි කළ අපහාසය සම්බන්ධයෙනි.

වෛද්‍ය හේමන්ත හේරත් මහතාණෙනි,

ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන් වැඩි දෙනා 'තර්ඩ් ක්ලාස් වැඩ කළ මාධ්‍යවේදීන්' බව හඳුන්වමින් ඔබ කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍ය සංවිධාන එකතුව වශයෙන් අපි අපගේ බලවත් අප්‍රසාදය පළ කරන අතර, ජනතාවට මෙන්ම රටට සිදුවන අයහපත සම්බන්ධයෙන් වැඩ කිරීම නිසා ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදු වූ එම මාධ්‍යවේදීන්ට ඔබ කර ඇත්තේ බලවත් අපහාසයකි. නිග්‍රහයකි. ඉතිහාසය පුරා මාධ්‍යවේදීන්ට සිදුවූ අපරාධ (ඝාතන, අතුරුදහන් කිරීම්, ප්‍රහාර)  සම්බන්ධයෙන් යුක්තිය ඉටු නොවී ඇත්තේ ද, ඔවුන් විසින් කළ කාර්ය භාරයන් වැළැක්වීම සඳහා, ඒවා හිතා මතා සැලසුම් කළ අපරාධයන් නිසා බව අපගේ විශ්වාසයයි.

ජූනි මස 03 වැනිදා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේ මූලික අදහස් දැක්වීමෙන් අනතුරුව, ඔබ කෝපයෙන් යුතුව මේ ප්‍රකාශය කර ඇත්තේ,  එදින තේමාවට අදාළ නොවන ගැටලුවක් සම්බන්ධයෙන් දිගින් දිගටම ප්‍රශ්න කළ,  මාධ්‍යවේදියකු ඉලක්ක කර ගෙන බව ප්‍රකාශ වේ. කෙසේ වෙතත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස පෙනී සිටිමින්, අපරාධවලට ගොදුරු වූ මාධ්‍යවේදීන්ට ඔබ කර ඇති අපහාසය හා නිග්‍රහය සුළු කොට සැලකිය නොහැක්කකි.  ඔවුන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා හඩ නගන මාධ්‍ය ප්‍රජාව වන අප මෙන්ම ඔවුන්ගේ පවුල්වල සියලු දෙනා ද මෙයින් බලවත් හිත් රිදීමකට ලක් වී ඇත.

'තර්ඩ් ක්ලාස් වැඩ' සහ 'ක්ලාස්' සම්බන්ධ ඔබගේ නිර්වචනය ගැන කතිකාවකට යන්නට අපි බලාපොරොත්තු නොවෙමු. නමුත් මේ වන විට සමාජගත වී ඇති ඔබගේ ප්‍රකාශයෙන් අගතියක් සිදුවූ අපරාධවලට ගොදුරු වූ මාධ්‍යවේදීන් හා හිත් රිදීමට ලක්වූ ඔවුන්ගේ පවුල්වල අයගෙන් මෙන්ම මාධ්‍ය ප්‍රජාවගෙන්  සමාව ගැනීම වගකිවයුතු නිලධාරියකු වශයෙන් ඔබගෙන් ඉටු විය යුතු යුතුකමක් සේ අපි සලකන බව මාධ්‍ය සංවිධාන එකතුව වශයෙන් කියා සිටිමු. එය අවධාරණය කරනු  පිණිස මෙම ලිපිය  සියලු මාධ්‍ය වෙත ද නිකුත් කෙරේ.

සිදුවීමට අදාළ විඩීයෝ පටය- සබැඳිය

මාධ්‍ය සංවිධාන එකතුව

ධර්මසිරි ලංකාපේලි,

ලේකම්,

මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය

 

සිිතා රංජනී,

කැඳවුම්කරු,

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

 

දුමින්ද සම්පත්,

සභාපති,

ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

 

එන්.එම්.අමීන්,

සභාපති,

ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදය

 

කනපතිපිල්ලේ සර්වානන්ද

ලේකම්

දෙමළ මාධ්‍ය සංසදය

 

ඉඳුනිල් උස්ගොඩ ආරච්චි,

ලේකම්,

ශ්‍රීලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න