Language Switcher

V2025

දුමින්දගේ නිදහසට ප්‍රශ්න පිට ප්‍රශ්න : මෙවර සමගි නීතිඥ එකමුතුව !

මරණ දඬුවම නියමව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට විශේෂ ජනාධිපති සමාව ලබා දීමට අදාල වාර්තා සහ නිර්දේශ වහාම ප්‍රසිද්ධ කරන ලෙස සමගි තරුණ බලවේගයේ සමගි නීතිඥ එකමුතුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලා සිටියි.

සමගි තරුණ බලවේගයේ සමගි නීතිඥ එකමුතුව මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් මෙම ඉල්ලීම සිදුකර ඇති අතර ජනාධිපති සමාව ලබා දීම සම්බන්ධ ක්‍රමවේදය මහජනතාවට වගකියන අන්දමින් සංශෝධනය කරන ලෙසත් යෝජනා කර ඇත.

එම නීතිඥ එකමුතුව නිකුත් කොට ඇති මාධ්‍ය නිවේදනය පහත දැක්වෙයි.

"මරණ දණ්ඩණයට නියමවී සිටි හිටපු පා.ම දුමින්ද සිල්වාට ඊයේ (24) දින ජනාධිපතිවරයාට නීතියෙන් හිමිව ඇති බලය දැඩි ලෙස අවභාවිතා කරමින්, රටේ නීතියේ ආධිපත්‍යය, අධිකරණයේ ස්වාධීනත්වය හා යුක්ති මුලධර්මයන් පිලිබඳ කිසිඳු තැකීමක් සිදුනොකොට විශේෂ ජනාධිපති සමාවක් ලබා දීම තරුණ ප්‍රජාව ලෙස අප දැඩි ලෙස හෙලා දකිනෙමු.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 (1) වන වගන්තිය යටතේ පුර්ණ හෝ කොන්දේසිවලට යටත්ව සමාවක් ප්‍රධානය කිරීමට ජනාධිපතිවරයා හට බලයක් හා අභිමතයක් තිබුණද එය අවභාවිතා කිරීමට කිසිඳු ජනාධිපතිවරයෙකුට සදාචාරාත්මක අයිතියක් නොමැත.

ජනාධිපති සමාව ලබාදීම සඳහා දහස් ගණන් මරණ දණ්ඩණයට නියමවුවන් අතරින් දුමින්ද සිල්වා තෝරාගත් පදනම අතිශය ප්‍රශ්ණ සහගතය. එය වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් ධුරය දරන සමයේ ආරක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයා ලෙස දුමින්ද සිල්වා සමඟ කටයුතු කිරීමේදි පැවැති සුවිශේෂි සම්බන්ධතාවයද යන්න මතුවන පැනයකි.

ජනාධිපතිවරයෙක් ජනාධිපති සමාවක් ලබාදීමේදි ව්‍යවස්ථාවේ 34(1) ප්‍රතිපාදනයන්ට යටත්ව අනුගමනය කල ක්‍රමවේදයක් පැහැදිලිව දැක්වේ. එම ක්‍රමවේදයට අනුව මරණ දඬුවම නියම කළ විනිසුරුවරුන්ගෙන් ලබා ගන්නා ලද වාර්තාව, නීතිපති උපදෙස් වෙත යොමු කොට නීතිපති නිර්දේශය සහිතව අධිකරණ අමාත්‍යවරයා වෙත යොමු කළ යුතුය. අමාත්‍යවරයා විසින් තම නිර්දේශය ජනාධිපතිවරයා වෙත ලබා දිය යුත්තේ ඉන් අනතුරුවය.

මෙහිදී මෙම ක්‍රමවේදයට අනුගතව කටයුතු කර නොමැති බව පෙනෙන්නට ඇති අතර ඒ පිළිබදව නිවැරදිව දැන ගැනීමට ජනතාවට අයිතියක් ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ක්‍රමවේදයට පිටින් යම් හිටපු ජනාධිපතිවරු සේම සහ වත්මන් ජනාධිපතිවරයාද තමාට පැවරී ඇති බලය අවභාවිතා කරමින් ජනාධිපති සමාව ලබාදී ඇත්තේ තමන්ගේ තීරණයට එරෙහිව අභියෝග කරන්නට කිසිවෙකුටත් හැකියාවක් නොමැති යන ඒකාධිපති පාලකයකුගේ අධි මානසිකත්වය නිසාවෙන්මය.

රටක ජනතාව සේම පාලකයන්ද එකසේ රටේ පවතින නීති රාමුවට යටත් විය යුතු අතර , සැමට එක සමාන ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට ඉඩ දිය යුතුය. එය රටේ යහපැවැත්මට අත්‍යවශ්‍ය අංගයකි.

එක රටක්- එක් නීතියක් යන්න තම ප්‍රතිපත්තිය බව සෞභාග්‍යයේ දැක්ම තුලින් ප්‍රකාශ කරමින් බලය ලබා ගන්නා ලද වත්මන් ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව අද අත්තනෝමතිකව තම සගයින් 'නිදොස් කොට නිදහස් කිරීම' සිය ප්‍රමුඛ තේමා පාඨය කරගැනීම පිලිබඳ සමස්ථ ප්‍රජාව තුල ඇත්තේ දැඩි පිලිකුළකි.

නීතියේ ආධිපත්‍යය හෑල්ලු කරමින් ජනාධිපති සමාව දීම සාධාරණීකරණය කරන ආණ්ඩුවෙන් අපට ඇසීමට ඇත්තේ නීතිය යනු ජනපති නම් - කුමට ‍මෙරට අධිකරණය - නීතිය හා විනිසුරන් යනුවෙනි.

දුමින්ද සිල්වා වැනි වැරදිකරුවන් වෙනුවෙන් පමණක් ක්‍රියාත්මක වන මෙම සුවිශේෂි වරප්‍රසාදය ලබා ගැනීමට හැකිවන්නේ දේශපාලනික , ආර්ථික හා ‍බලයක් සහිත පාර්ශවයන්ට පමණක් බව දැන් සක්සුදක් සේ පැහැදිලිය.

තවදුරටත් රටේ පුරවැසියන් ලෙස අපට මෙ⁣ම තත්වය අනුමත කල නොහැකිය.

දේශපාලන ආධාරකරුවන් රැකගැනීමේ අවියක් ලෙස භාවිතා කරන ජනාධිපති සමාව අවම ලෙසවත් යුක්තිසහගත ලෙස ක්‍රියාවට නොනඟන තත්වය තුල මෙ⁣ම ක්‍රමවේදය වහාම වෙනසකට ලක් කල යුතුව ඇත. මෙම ක්‍රමවේදය මහජනතාවට වගකියන ක්‍රමවේදයකට අනුව සංශෝධනය කරන ලෙස අප රජයට බල කර සිටිමු.

සමස්ථ ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය කෙරෙහිම පවතින විශ්වාසය පළුදු කර ඇති මෙම ⁣තත්වයට අදාල වාර්ථා හා නිර්දේශ වහාම ප්‍රසිද්ධ කරන ලෙස අප රජයට බල කර සිටිමු. මෙවැනි අත්තනෝමතික ක්‍රියාවන්ට එරෙහිව සිදුකරන අපගේ අරගලය ජයග්‍රහණය කරවීමට පෙරට එන ලෙස සමස්ථ තරුණ ප්‍රජාවගෙන් හා රට වැසියන්ගෙන් අප ඉල්ලා සිටිමු. "

තරුණ නීතිඥ එකමුතුව සමගි තරුණ බලවේගය