Language Switcher

V2025

ෆයිබර් ඔප්ටික් ලැබූ පාසල් 10000 ක් ? : ජනාධිපති ප්‍රකාශයෙන් ගුරු සංගම් මවිත වෙයි !

පාසල් දස දහසකට ෆයිබර් ඔප්ටික් පහසුකම් ලබා දී ඇති බව පසුගියදා ජාතිය අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසා සිටියත් එම ප්‍රකාශය පුදුම සහගත බව මෙරට ප්‍රධාන පෙළේ ගුරු වෘත්තීය සමිතිය වන ලංකා ගුරු සංයමය පවසයි.
 
නිවේදනයක් නිකුත්කරමින් ලංකා ගුරු සංයමය පවසන්නේ "ලංකාවේ පවතින පාසල් 10165 න් ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළ පරිදි පාසල් දස දහසකට ෆයිබර් ඔප්ටික් පහසුකම් ලබාදුන්නේ නම් එම පාසල් පවතින්නේ කොහේද යන්න ගැටළුවක්" බවත්  මන්ද අධ්‍යාපන අමාත්‍යාංශයේ සංඛ්‍යා ලේඛනවලට අනුවම අන්තර්ජාල ආවරණ නොමැති ප‍්‍රදේශවල පාසල් 2000 කට වැඩි සංඛ්‍යාවක් පවතින බවත්ය.
 
ලංකා ගුරු සංයමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් ගේ අත්සනින් යුතුව නිකුත්කර ඇති මේ නිවේදනයේ ජනාධිපති ජාතිය ඇමතීමේදී පාසල් අධ්‍යාපනය සම්බන්ධව දැක්වූ කරුණු බොහොමයක් දෝෂ සහිත බව පෙන්වා දී ඇති අතර සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි.
 
කෝවිඞ් 19 වසංගත තත්වය මත අවුරුද්දකුත් මාස 3 කට වැඩි කාලයක් පාසල් වසා දමා තිබෙන අතර, පාසල් අධ්‍යාපනය මුළුමනින්ම කඩා වැටී ඇත. 
 
ගුරුවරු විසින් තම මුදල් වියදම් කරමින් ස්වේච්ඡාවෙන් සිදු කරන මාර්ගගත ඉගැන්වීම් හැරෙන්නට ලක්ෂ 43 ක් පමණ වන සියලූ පාසල් දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලැබීමට ක‍්‍රමවේදයක් ආණ්ඩුව හෝ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කි‍්‍රයාත්මක කර නැත. 
 
ඒ තත්වය තුළ මාර්ගගත දුරස්ථ අධ්‍යාපනය ද 60% කට වැඩි දරුවන් පිරිසකට අහිමි වී ඇති අතර ඔවුන් කිසිදු අධ්‍යාපනයක් නැත. මෙවැනි වාතාවරණයක් තිබියදී 2021.06.25 දින ජාතිය ඇමතූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කර සිටියේ පාසල් වසා තිබුණ ද දුරස්ථ අධ්‍යාපන ක‍්‍රමවේද මගින් විශාල ප‍්‍රගතියක් අත්කර ගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශයෙන් ජනතාව බලාපොරොත්තු වූයේ කෝවිඞ් වසංගතය තුළ දැඩි බලපෑමට ලක්වූ අධ්‍යාපන පද්ධතියට රජය ලබාදෙන විසඳුමයි. ජනාධිපතිවරයා අධ්‍යාපන පද්ධතිය ප‍්‍රගතියක් අත්කරගෙන ඇති බව ප‍්‍රකාශ කිරීම කනගාටුදායක තත්වයකි.
 
එසේම ඔහු තවදුරටත් ප‍්‍රකාශ කළේ පාසල් දස දහසකට ෆයිබර් ඔප්ටික් පහසුකම් ලබා දී ඇති බවයි. එය නම් පුදුමයකි. ලංකාවේ පවතින පාසල් 10165 න් ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළ පරිදි පාසල් දස දහසකට ෆයිබර් ඔප්ටික් පහසුකම් ලබාදුන්නේ නම් එම පාසල් පවතින්නේ කොහේද යන්න ගැටළුවකි. මන්ද අධ්‍යාපන අමාත්‍යාංශයේ සංඛ්‍යා ලේඛනවලට අනුවම අන්තර්ජාල ආවරණ නොමැති ප‍්‍රදේශවල පාසල් 2000 කට වැඩි සංඛ්‍යාවක් පවතී.
 
ජනාධිපතිවරයා ප‍්‍රකාශ කරන පරිදි මෙතරම් තාක්ෂණික පහසුකම් ලබාදී තිබේනම් පාසල් දරුවන් දිනපතා ගස්ගල් උඩ නගිමින්, කැලෑ පීරමින් තම ජීවිත අනතුරේ හෙලා ගනිමින් අන්තර්ජාල සබඳතා සඳහා සිග්නල් සොයන්නේ විනෝදයට නොවන බව මෙරට ජනතාව ඉතා හොඳින් දන්නේය. පාසල් අධ්‍යපනය කෝවිඞ් 19 වසංගතය තුළ මෙතරම් කඩා වැටී තිබියදී රටේ ජනාධිපතිවරයා මෙවැනි ප‍්‍රකාශ සිදු කරන්නේ අධ්‍යාපන බලධාරීන් ඔහුට නිවැරදි නොවන තොරතුරු ලබා දී තිබිය යුතුය.
 
 දිනපතා ජනමාධ්‍ය ඔස්සේ වාර්තා වන රටේ අධ්‍යාපන තොරතුරු ඔහු නොදන්නවා විය යුතුය. කෙසේ වෙතත් මේ සියලූ තත්වයන්ගෙන් තවදුරටත් පැහැදිලි වන්නේ පාසල් දරුවන්ගේ කඩා වැටී ඇති අධ්‍යාපනය යථා තත්වයට පත් කිරීමට ආණ්ඩුවට කිසිදු වැඩපිළිවෙලක් නැති බවයි. අධ්‍යාපන ලේකම්වරයා ඇතුළු අධ්‍යාපන බලධාරීන් කඩාවැටී ඇති අධ්‍යාපනය සම්බන්ධයෙන් කිසිදු සාධනීය කටයුත්තක් නොකළ අතර, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ද ප‍්‍රකාශ කර සිටියේ අධ්‍යාපනය අහිමි වී ඇත්තේ 12% ක පිරිසකට බවයි. අධ්‍යපන බලධාරීන්ගේ අසාර්ථක භාවය එම ප‍්‍රකාශ තුළින් තවත් තහවුරු විය.  
 
එසේම උක්ත කතාවේ දී ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර සිටියේ පාසල් නිල ඇඳුම්, පෙළපොත් සහ පෝෂ්‍යදායී ආහාර වේලක් සඳහා රුපියල් බිලියන 25 ක් වෙන්කර ඇති බවයි. එහෙත් 2021 වසරට අදාළ නිල ඇඳුම් බෙදාදීම අවසන් නොකළ අතර, පළමු කොරෝනා අවදානමේදීම පාසල් දරුවන්ට දිවා ආහාර ලබාදීම නතර කරන ලදී. පසුව ඒ වෙනුවට වියළි ආහාර මල්ලක් පාසල් දරුවන්ට ලබා දුන්න ද මෙවර පාසල් වසාදැමීමෙන් පසු එම වැඩපිළිවෙල කි‍්‍රයාත්මක නොකරන ලද අතර, එම මුදල්වලට කුමක් සිදුවූයේ ද යන්න ද ගැටලූවකි. කෝවිඞ් 19 තත්වය තුළ සංචරණ සීමා හේතුවෙන් දෙමාපියන්ට එදිනෙදා ජීවිකාවන් අහිමි වීම නිසා කුසගින්නේ සිටින දරුවන් පිළිබඳ විවිධ සිදුවීම් අඛණ්ඩව වාර්තා වෙද්දී මේ පෝෂණ මල්ල එවැනි දරුවන්ගේ නිවෙස්වලට ලබා දෙන්නටවත් ක‍්‍රමවේදයක් ආණ්ඩුවට නොමැති වීම බරපතල කනගාටුදායක තත්වයි.
 
මෙම තත්වය තුළ පැහැදිලි වන්නේ අධ්‍යාපනය සම්බන්ධයෙන් වන ආණ්ඩුවේ ප‍්‍රකාශන හුදෙක් ප‍්‍රකාශනවලට ම සීමා වී පවතින බවත්, බරපතල ජාතික ව්‍යවසනයක් බවට පත්වෙමින් පවතින කඩාවැටුණු පාසල් අධ්‍යාපනය නඟා සිටුවීම සම්බන්ධයෙන් ආණ්ඩුව හෝ අධ්‍යාපන බලධාරීන් කිසිදු අවධානයක් යොමු නොකරන බවත්ය.