කාබනික පොහොර වෙනුවෙන් තැබූ පය පස්සට ගන්නේ නෑ කියා ජනාධිපති කියලා !

කාබනික පොහොර වෙනුවෙන් තැබූ පය පස්සට ගන්නේ නෑ කියා ජනාධිපති කියලා !

නිරෝගිමත් අනාගත පරපුරක් වෙනුවෙන් කාබනික පොහොර භාවිතයට ගත් පියවර කිසි විටෙකත් පසුපසට නොගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අස්ගිරි මහා නායක හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයට පැවසූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

එමෙන්ම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමේදී ගොවීන් අපහසුතාවට පත්වීමට ඉඩ නොතබන බව ද ජනාධිපතිතුමා සඳහන් කළ බවත් එහි දැක්වෙයි.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

රසායනික පොහොර භාවිතය නිසා දිවයිනේ ප්‍රදේශ රැසක ගොවීන් වකුගඩු රෝගය ඇතුළු බෝ නොවන රෝග රැසකින් පීඩා විඳින අතර එමගින් පරිසරයට සිදුවන හානිය අති විශාලය. එමෙන්ම රසායනික පොහොර ආනයනය සඳහා වාර්ෂිකව ඩොලර් මිලියන 400කට අධික මුදලක් රජය වැය කරයි. විදේශීය ආයතන වෙත ඇඳී යන එම මුදල රටේ ගොවි ජනතාව වෙත ලබාදීමට කාබනික පොහොර භාවිතය මගින් හැකි වන බව ද ජනාධිපතිතුමා මහා සංඝරත්නයට පෙන්වා දුන්නේය.

අද (27) පෙරවරුවේ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක හිමියන් ඇතුළු මහා සංඝරත්නය බැහැදුටු අවස්ථාවේ ජනාධිපතිතුමා මේ බව පැවසීය.

2015 ට පෙර රජයේ නිලධාරීන් තීරණ ගැනීමේදී පසුබට නොවීම නිසා කෙටි කාලයක් තුළ රට තුළ දැවැන්ත සංවර්ධනයක් සිදු කිරීමට හැකි වූ බව ජනාධිපතිතුමා සඳහන් කළේය. එහෙත් එම නිලධාරීන් අසත්‍ය චෝදනා මත සිරගත වීම ඇතුළු විවිධ පීඩනයන්ට පසුගිය රජය සමයේ දී මුහුණ පෑමට සිදු වූ බව පෙන්වා දුන් ජනාධිපතිතුමා රජයේ වර්තමාන සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී නිලධාරීන් අනාගතයේ දී දඬුවම් විඳීමට සිදු වෙතැයි යන බියෙන් තීරණ ගැනීමට සහ ක්‍රියාත්මක වීමට මැලි වී ඇති බව සඳහන් කළේය. එම නිසා රට තුළ බොහෝ වැඩ කටයුතු අඩපණ වීම කණගාටුදායක තත්ත්වයක් බව ද ජනාධිපතිතුමා සඳහන් කරනු ලැබිණ.

කොවිඩ් වසංගත මර්දනයට සාර්ථකව මුහුණ දෙමින් රටේ උන්නතිය උදෙසා ජනාධිපතිතුමා ගෙනයන වැඩපිළිවෙළට අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියෝ ප්‍රසාදය පළ කර සිටියහ.

කොවිඩ් මර්දනය සඳහා සිදුකෙරෙන එන්නත්කරණ වැඩපිළිවෙළ පිළිබඳව ජනාධිපතිතුමා මහා නායක හිමියන් දැනුවත් කළේය. මහා නායක හිමියෝ සෙත් පිරිත් සඡ්ඣායනා කර ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළහ. මුතියංගණ රජමහා විහාරයේ භාරකාර ආචාර්ය පූජ්‍ය මුරුත්දෙණියේ ධම්මරතන හිමියෝ ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

අස්ගිරිය ගෙඩිගේ රජමහා විහාරය වෙත ගිය ජනාධිපතිතුමා අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියන් බැහැදැක සුවදුක් විචාළේය. උන්වහන්සේ ද ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළ ඇගයීමට ලක් කරමින් ආශිර්වාද පළ කළහ. අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ සංඝසභික ආචාර්ය පූජ්‍ය ගොඩගම මංගල හිමියෝ ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපතිතුමා අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිජූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමියන්‍ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

අනතුරුව ජනාධිපතිතුමා අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය අතිපූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් බැහැදැක උන්වහන්සේ සමග ද සුහද කතා බහක නිරත විය.

අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් බැහැදුටු ජනාධිපතිතුමා රජයේ වත්මන් වැඩපිළිවෙළ පිළිබඳව උන්වහන්සේ ද දැනුම්වත් කළේය.

ගැටඹේ රාජෝපවනාරාමයට ගිය රාජපක්ෂ මැතිතුමාට විහාරාධිපති පුජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කර ආශිර්වාද කළහ.

දියවඩන නිලමේ නිලංග දෑල, බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන යන මහත්වරු ද මේ අවස්ථාවන්ට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න

Publish modules to the "offcanvas" position.