Language Switcher

V2025

සුළුජන ජන්ද ප්‍රශ්නයක් නෑ : 2020 ජනාධිපතිවරණයට සුදානම් -ගෝඨාගෙන් ප්‍රසිද්ධ ප්‍රකාශයක්

රටේ ජනමතය අනුව 2020 ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය වෙනුවෙන් කැඳවීමක් ලැබුණහොත් තමා ඊට සුදානම් බව ආරාක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ ප්‍රසිද්ධියේම සඳහන් කර ඇත.

ඔහු මේ ප්‍රකාශය සිදුකර ඇත්තේ ප්‍රසිද්ධ පුවත්පතක් සමඟ සම්මුඛ සාකච්ඡාවක් සිදුකරමින්ය.

ඇමරිකානු පුරවැසිකම ඉවත්කර ගන්නවා

එහිදී ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධව වැඩිදුරටත් අදහස් දක්වමින් ආරාක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා සඳහන් කර ඇත්තේ එවැනි ආරාධනාවක් ලැබුණහොත් අනිවාර්යයෙන්ම එය භාරගන්නා බවත් ඒ වෙනුවෙන් ඇමරිකානු පුරවැසිභාවයත් ඉවත්කර ගැනීමට තමන් කටයුතු කරන බවය.

ජනමතය ආවොත් දිනන්න පුළුවන්

එසේම එක් වරම තමන් ජනාධිපතිධූර අපේක්ෂකයා ලෙස එන බව පවසනවාට වඩා එය රටේ මතයක් හැටියට වර්ධනයවී පැමිණීම හොඳම ක්‍රමවේදය බවත් ජයග්‍රාහී අපේක්‍ෂකයකු ඉදිරිපත් කරන්න හැකිවන්නේ ඒ ආකාරයට බවත් ඔහු පවසයි.

මෙම සම්මුඛ සාකච්ඡාවේදී දේශපාලන පළපුරුද්ද සම්බන්ධව සිදුකළ විමසීමේදී ඔහු සඳහන් කරන්නේ, මුළු ලෝකයේම අද සාම්ප්‍රදායික දේශපාලනඥයන් ප්‍රතික්‍ෂේප වෙමින් ඇතිබවත් එය ඇමෙරිකාවේ පවා සිදුවන දෙයක් බවය. එසේම ට්‍රම්ප් කියන්නේද පළපුරුදු දේශපාලනඥයෙක් නොවන බවත් එවැනි අය ජනතාව හොයමින් සිටින බවද ඔහු පවසා ඇත.

අපේ පැත්තේ ඕන කෙනෙක් ගන්න සුළුජන ජන්ද ප්‍රමාණය මමත් ගන්නවා - ගෝඨා

මෙහිදී සුළුජාතික ජන්ද දිනාගැනීම සම්බන්ධවද මෙහිදී විමසා ඇති අතර ඊට පිළිතුරු දෙමින් ගෝඨාභය රාජපක්ෂ සඳහන් කරන්නේ "මම නියෝජනය කරන පිලෙන් එන ඕනෑම පුද්ගලයෙක් ගන්නා ඒ සුළු වාර්ගික ඡන්ද ප්‍රමාණයම මට ලැබෙනවා කියලා විශ්වාසයි" යනුවෙන්ය.

තවද තමන් දකින ආකාරයට ඊළඟ ජනාධිපතිවරණය රටේ තීරණාත්මකම මැතිවරණයක් බවත් ඊට ඉදිරිපත්වන අපේක්ෂකයා අනිවාර්යයෙන් රට ගැන ආදරයක් තියෙන, රටේ ස්වෛරීභාවය, ඒකීයභාවය සුරකින, අවුරුදු ගණනාවක් තිබූ ත්‍රස්තවාදය අවසාන කරපු, ජීවිත කැප කළ රණවිරුවන්ගේ සුරක්‍ෂිතභාවය ආරක්‍ෂා කරන ඒ වගේම වැඩකරන්න පුළුවන්, වෛරී දේශපාලනයෙන් තොරව රටේ ආර්ථිකය සංවර්ධනය කරන්න පුළුවන් චරිතයක් වියයුතු බවද ඔහු පවසයි.