Language Switcher

V2025

ශානිගේ ජීවිතේ අනතුරේ : ආරක්ෂාව ඉල්ලා පොලිස්පතිට ලිපියක් !

වැඩ තහනම් කරතිබූ සහ ඊයේ (30) සිය වසර 35 ක පොලිස් වෘත්තීයට විශ්‍රාම දුන්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජී. ශානි අබේසේකර ඇතුළු පවුලේ සාමාජිකයන් ජීවිත තර්ජනයට ලක්ව ඇත.

ශානි අබේසේකර විසින් 2021 ජුනි 26 වනදා  පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට යොමුකළ  ලිපියක මේ බව සඳහන් වෙයි.

පිටු තුනක දීර්ඝ ලිපියක් මගින් ඔහු පෙන්වාදී ඇත්තේ තමා විසින් යුද හමුදා, නාවුක හමුදා, සංවිධානාත්මක අපරාධ කල්ලි හා ත්‍රස්තවාදී කණ්ඩායම් සම්බන්ධ විවිධ පරීක්ෂණ සිදු කර ඇති බවත්, ඉන් ඇතැම් චූදිතයන් මේවන විට බන්ධනාගාරවල දඬුවම් විදිමින් සිටින බවත්, ඇතැම් නඩු අධිකරණවල විභාගවෙමින් ඇති බැවින්ද, තමාට හා තම පවුලට මීට පෙර ලබාදී තිබූ ආරක්ෂක පියවර ඉවත්කර ඇති බැවින්ද මේ තත්ත්වය ඇතිව තිබෙන බවයි.
 
බුද්ධි අංශය විසින් තමාට මරණීය තර්ජන ඇති බවට ලබාදී තිබූ වාර්තාවකට අනුව හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන්  තම නිවසට විශේෂ ආරක්ෂවක් ලබාදී තිබූ බවත්, ඒ අනුව තම නිවසට විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ගේ ආරක්ෂාව සහ ආරක්ෂක කටයුතු සඳහා යෙදවීමට නිල රථයට අමතරව ජීප් රථයක්ද දී තිබූ බවත්, එය තමාට ගාල්ල දිසාව වෙත ස්ථාන මාරුවක් කිරීමේදී 2019-11-21 ඉවත් කළ බවද ඔහු අදාළ ලිපියෙන් පොලිස්පතිවරයාට දන්වා තිබේ.

මීට දසවසරකට පමණ පෙර තමා ලිඛිතව ආරක්ෂක අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර සන්තකයේ තබා ගැනීමට ලබාගත් පතොරම් තුවක්කුව හා පිස්තෝලය ද තමා බන්ධනාගාරගත කිරීමෙන් පසුව බොරැල්ල පොලිස් ස්ථානයට බාර දී ඇති බවත්, එබැවින් තමා මෙන්ම තම බිරිය හා දරු දෙදෙනාගේ ජීවිත ආරක්ෂාව නිවසේ සිටියදී පවා දැඩි අවදානමකට ලක්ව ඇති බව ඔහු වැඩිදුරටත් එම ලිපියෙන් පෙන්වා දෙයි.

වඩාත් අවාසනාවන්ත සිදුවීම වන්නේ ශ්‍රී ලංකා පොලිසිය සතු මේ විශේෂඥ අපරාධ විමර්ශකයාට තමන් සිදුකළ විමර්ශන ගැන පවා සිහිපත් කිරීමට සිදුව තිබීමයි.

ඒ අනුව ආන්දෝලනාත්මක අපරාධ 82ක විමර්ශන ගැන පොලිස්පති දැනුවත් කිරීමටත් ශානි අබේසේකර කටයුතු කර ඇත.

ශානි අබේසේකර විසින් 2021 ජුනි 26 වනදා පොලිස්පති වෙත යොමුකළ ලිපිය අනූව  තමන්ට සහ පවුලේ සාමාජිකයන් වෙත මරණ තර්ජන එල්ල කිරීමක් සම්බන්ධව 2020 ජනවාරි 08 වනදාත් පොලිස්පති වෙත ලිඛිත පැමිණිල්ලක් සිදුකර ඇත.

501 දරණ දුරකතනයෙන් එම මරණ තර්ජනය සිදුකර ඇත්තේ 2020 ජනවාරි 07 වනදා  පැය 23:23 ට යි.

එහිදී අදාළ දුරකතන විස්තර හරහා විමර්ශනයක් සිදුකර අදාළ පාර්ශ්ව සම්බන්ධව පියවර ගන්නා  ලෙස ඉල්ලා ඇතත් දෙවැනි ලිපිය කියාපාන්නේ එවැනි විමර්ශනයක් සිදුව නැති බවයි.

මේ වන විට හෘද සැත්කමක් ද  සිදුකර සිටින ශානි අබේසේකර තවත් රෝග කිහිපයකින් පෙළෙන අතර ,
පොලිස්පති වෙත යොමුකළ ලිපියේ ඊට අදාළ වෛද්‍ය වාර්තා පවා ඇමුණුම් ලෙස යැවීමටත්  පියවර ගෙන තිබේ.

මේ අතර ශානි අබේසේකරගේ ජීවිතයට අනතුරක් වුවහොත්, එය එක්තරා ආකාරයට, ජනමාධ්‍යවේදීන්ට කළ අපරාධ සම්බන්ධයෙන් වූ පරීක්ෂණ අවසානයක් නොදැකම හමාර කිරීමක් වනු ඇති බවයි, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ මතය වී ඇත.

එනිසා මේ සම්බන්ධව ඔවුන් අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරියේ සභාපති වෙත *ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ ආරක්ෂාව සම්බන්ධව " ලිපියක් යොමුකර තිබේ

මාධ්‍යවේදී පොද්දල ජයන්ත පැහැරගෙන ගොස් වධහිංසා පැමිණවීම, මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් වධහිංසා පැමිණවීම, හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට පහරදී තුවාල සිදුකිරීම, හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම සහ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම ඇතුලු ජනමාධ්‍යයට සම්බන්ධ සිදුවීම් ගණනාවක විමර්ශන සිදුවූයේ ශානි අබේසේකර මහතාගේ අධීක්ෂණය යටතේ බවත් අදාළ ලිපියේ සිහිපත් කර ඇත.

මේ අතර පසුගියදා ලංකාව සම්බන්ධව යුරෝපා පාර්ලිමේන්තුව තුළ සම්මත කරගත් යෝජනාව අවස්ථාවේත් ප්‍රධාන කරුණක් ලෙස ශානි අබේසේකර අත්අඩංගුවට ගැනීම ගැන විශේෂ අවධානයක් යොමුකර තිබිණ.

ඒ නිශ්චිත නඩු පැවරීමක් පවා සිදුනොකර ඔහුව බන්ධනාගාර තිබීම හේතුවෙන්. යුරෝපා සංගමයේ එම යෝජනාව සම්මතවීමත් සමග මෙරටට ලැබී තිබුණු ජීඑස්පී ප්ලස් සහනය අහිමිවීමට නියමිත වුනා. ශානි අබේසේකර ට ඇප ලැබීම පවා සිදුවූයේ ඉන් අනතුරුවය.

ශානි අබේසේකර මෙන්ම පසුගිය සමයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ට සම්බන්ධව ආන්දෝලනාත්මක අපරාධ රැසක විමර්ශන නිලධාරීයකු ලෙස  කටයුතු කළ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා වත්මන් ආණ්ඩුව බලය ලද විගස මෙරටින් පළාගියෙත් ජීවිත ආරක්ෂාව ඉල්ලා සිටිමිනි.