Language Switcher

V2025

සදහම් යාත්‍රාවේ ගිය තිස්ස : යටිනුවරදී කන පිරෙන්න අහගෙන : සජිත්ගේ නමත් හැලිලා !

එක්සත් ජාතික පක්ෂය දෙකඩ කිරීම වරදක් බව දැන්වත් තේරුම් ගෙන අඩුපාඩු සකසා ගන්නා ලෙස මහනුවර - යටිනුවර ආසනයේ කුරුඳුවත්ත ශ්‍රී සුදර්ශනාරාමාධිපති යටිවැල්දෙනියේ මේධංකර හිමියන් සමගි ජනබලවේගය පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායකට අවධාරණය කර ඇත.

ඒ තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා ආශීර්වාද ලබාගැනීමට " සදහම් යාත්‍රා " වැඩසටහනට අනුව පන්සල ගිය අවස්ථාවේය.

එහිදී එක්සත් ජාතික පක්ෂය දෙකඩ කර දුර්වල කිරීම හේතුවෙන් ජනතා ප්‍රශ්න වෙනුවෙන් පෙනීසිටිම දුර්වල වී ඇති බවත් එහි සම්පූර්ණ වගකීම ඔබලා ගතයුතු බවත් උන්වහන්සේ තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා ට සඳහන් කර ඇත.

එසේම "ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ලබාදුන්නෙත් ඔබලා. දැන් එහෙනම් ජනතාව ගැන මීට වඩා වැඩි වැඩකොටසක් ඉටුකරන වගකීම තිබෙනවා" යනුවෙන් ද පවසා ඇතැයි වාර්තා වෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක සමග මේ ආශීර්වාද ලබාගැනීම සඳහා කඩුගන්නාව නගර සභාවේ විපක්ෂ නායිකාව වන ෆවයිනා මොහිදීන් සහ යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක චම්පික නිලන්ත ද ඊට එක්ව ඇත.

කඩුගන්නාවේ ෆවයිනා සහ යටිනුවර චම්පිකත් හොඳට අහගෙන !

ඔවුන් දෙදෙනාම එක්සත් ජාතික පක්ෂයෙන් මන්ත්‍රී ධූර ලබා මේ වන විට සමගි ජනබලවේගය ට එක්වූවන්ය.

.මෙහිදී මේධංකර හිමියන් ඔවුන්ට පවසා ඇත්තේ , එක් පක්ෂයකින් ජන්දය ගෙන මන්ත්‍රී ධූර ලබා වෙනත් පක්ෂයකට පැණීම ශිෂ්ට සමාජයට ගැලපෙන දේශපාලනයක් නොවන බවයි.

පක්ෂය මාරු කිරීමට අවශ්‍ය නම් මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වෙන්න තිබූ බවත් ඒ හැර මේ සිදුකරන ක්‍රියාව ශිෂ්ට සමාජය පිළිකුල් කරන බවත් පවසා ඇත.

එබැවින් දේශපාලනය කිරීමේදී නින්දිත වැඩ වෙනුවට යහපත් මනුස්සයෙක් වී සමාජයට යහපතක් කරන්න වෙහෙසෙන්න කියාත් උන්වහන්සේ පවසා ඇත.

මේ ආකාරයට තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා අවස්ථා කිහිපයකම පන්සල් වෙත ගිය විට එජාපය දෙකඩ කිරීම හේතුවෙන් විපක්ෂය දුර්වල වී ඇති බවට චෝදනා එල්ලවූ බවත් වාර්තා වෙයි.

තිස්ස : හැළුවාද ? හැළුනාද ? සජිත්ව ?

මේ අතර සදහම් යාත්‍රා වැඩසටහන අතර තුර තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා උපුටා දක්වමින් ලංකා ලීඩ් නිව්ස් වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ "ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජනබල සංධානයක් ලෙස විපක්ෂය ඒකරාශී කිරීමට කටයුතු කර අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට සූදානම් බවත් ඊට එක්සත් ජාතික පක්ෂයද දායකත්වය ලබාදිය හැකි බව" පැවසූ බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්,”සමගි ජන බලවේගය විහාරස්ථාන සමඟ ගනුදෙනු කරන්නේ කිසිවකු අනුකරණය කිරීමට නොවේ. අපේ රටේ කිසිවකුට පන්සල පල්ලිය කෝවිල අමතක කර ගමනක් යා නොහැකියි.සමගි ජන බලවේගය සදහම් යාත්‍රා වැඩපිළිවෙළ ක්‍රියාත්මක තියෙන්නෙත් ඒ අනුවයි. අපේ ගමන පන්සල පල්ලිය කෝවිල ආදී සියලු ආගමික ස්ථාන කේන්ද්‍ර කරගෙන ගමනක් යමින් සිටිනවා.” යනුවෙන් පවසා සිටියේය, යනුවෙන් එම පුවතේ සඳහන් කර ඇත.

වඩාත් විශේෂ කරුණ වන්නේ සජබ සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස ගේ නම තිස්ස මන්ත්‍රීවරයා සඳහන් කළ බවක් සඳහන් නොවීමය.