Language Switcher

V2025

චීනය බාල්දි පෙරළාවි : ඒත් සැමරුම් මැදින් බැසිල් එනවා සත්තයි !

කොළඹ වරාය නගරය ඇමරිකානු පුරවැසියකු යටතේ පාලනය නොවිය යුතු බවට චීනය විසින් ශ්‍රී ලංකා රජය වෙත දන්වා ඇති බව මෙරට ජනප්‍රිය වෙබ් අඩවියක් වන 'ලංකා සී නිව්ස්' ඇතුළු සමාජ මාධ්‍ය කිහිපයක් විසින්ම වාර්තාකර තිබෙනවා.

වෙබ් පුවත් වාර්තා වල දැක්වෙන්නේ , චීනය සහ ඇමරිකාව අතර ඇති සබඳතාවයේ ස්වභාවය හා, කොළඹ වරාය නගරයේ චීන ආයෝජනයන් වැඩි වශයෙන් ඇති පසුබිම මත, එය ඇමරිකානුවෙකු විසින් පාලනය නොකල යුතුය යන පදනමින්, මෙම දැනුම් දීම කර ඇති බවයි.

මේ පුවත්වාර්තා වල ඇත්ත නැත්ත කෙසේවෙතත්, ආර්ථික සංවර්ධන කැබිනට් අමාත්‍ය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට නියමිත, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ගේ අමාත්‍යාංශයට, කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පැවරෙනු ඇතැයි 'ලංකාදීප' පළකර ඇති පුවත හා ඉහත පුවත් අතර සම්බන්ධතාවයක් තිබෙන බවක් පෙන්නුම් කරනවා.

අදාල ලංකාදීප පුවත් වාර්තාව සම්පාදනය කර ඇත්තේ, ප්‍රකට දේශපාලන වාර්තාකරුවකු වන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අජන්ත කුමාර අගලකඩ විසින්.

ගෝඨාබය ආණ්ඩුව පත්වූ මුලදී මුදල් අමාත්‍යංශය යටතේ අගමැති මහින්ද රාජපක්ෂ වෙත පවරා තිබු කොළඹ වරාය නගරය ව්‍යාපෘතිය , ඉන් අනතුරුව ජනාධිපතිවරයා යටතට පත්කරගනු ලැබුණා.

දැන් එය ක්‍රියාත්මක වන්නේ අචාර්ය PB ජයසුන්දරගේ අධීක්ෂණය යටතේයි.

පාර්ලිමේන්තු සම්ප්‍රාප්තියට සැරසෙන බැසිල් රාජපක්ෂ ශ්‍රී ලංකා - ඇමරිකානු ද්විත්ව පුරවැසියෙකි.

එසේම ඔහුට ඉන්දියාව සමග සමීප ඥාති සම්බන්ධතාවයක් ඇති අතරම එරට දේශපාලනඥන් සමග තිබෙන්නේ සමීප ඇසුරක්.

බැසිල් රාජපක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වශයෙන් ලබන බ්‍රහස්පතින්දා (08) දිවුරුම් දීමට නියමිත බවත්, ඔහු එදින හෝ ඊට පසු දින ආර්ථික සංවර්ධන හා මුදල් රාජ්‍ය ඇමැතිවරයා වශයෙන් ද දිවුරුම්දීමට නියමිතව ඇති බවත් ලංකාදීප වාර්තා කර තිබෙනවා.

බැසිල් රාජපක්ෂ 2015ට පෙර පැවති මහින්ද රාජපක්ෂ රජයේ ද ආර්ථික සංවර්ධන ඇමතිවරයා ලෙස කටයුතු කළා.

මේ අතර අද 'ලංකාදීප' වාර්තාකර ඇත්තේ, බැසිල් රාජපක්‍ෂ පාර්ලිමේන්තු පැමිණෙන දිනය මෙතෙක් නිශ්චිතව තීරණය වී නොමැති බවයි.

බැසිල්ට ජූලි 8 වැනිදා පාර්ලිමේන්තු පැමිණීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සංවිධායකයන් සුබ නැකතක් පවා සකස් කර ඇතත් බැසිල් රාජපක්‍ෂ එදිනට පාර්ලිමේන්තු පැමිණීම අවිනිශ්චිත බව දැනගන්නට ඇතැයි ද ලංකාදීප වාර්තාවේ සඳහන් වනවා.

බැසිල් රාජපක්‍ෂ ට මුදල් අමාත්‍යධූරය ලබාදීම සම්බන්ධයෙන් තමාගේ අකමැත්තක් නොමැති බව, දැනට මුදල් අමාත්‍යධූරය ද දරණ අගමැති මහින්ද රාජපක්‍ෂ ප්‍රකාශ කර තිබෙන බවක් ද , එම පුවත් වාර්තාවේ සඳහන්.

ලංකාදීප වාර්තාවට අනුව, ඔහු එම ප්‍රකාශය කර ඇත්තේ, මෙම කරුණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ගේ නිවසේදී ඉකුත් සෙනසුරාදා පැවති විශේෂ සාකච්ඡාවේදී.

එම සාකච්ඡාවට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ, අගමැති මහින්ද රාජපක්‍ෂ, අමාත්‍යවරුන් වන චමල් රාජපක්‍ෂ, නාමල් රාජපක්‍ෂ, රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්‍ෂ යන මහත්වරුන්ද, බැසිල් රාජපක්‍ෂ ඇතුළු රාජපක්‍ෂ පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ ද සහභාගී වී තිබෙනවා.

රටේ පාලන බලය පවත්වාගෙන යා යුතු ආකාරය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට, ජනාධිපතිවරයාගේ මිරිහානේ නිවසේ පැවති සාකච්ජාවේදී පැහැදිලි තීන්දුවක් නොගත් බව, මිට ඉහතදී වාර්තා කළේ වගකීමකින් යුතුවයි.

එහෙත් ලංකාදීප පවසන්නේ, සුහද පවුල් හමුවක් වූ මෙම කතාබහේ දී බැසිල් රාජපක්‍ෂ පාර්ලිමේන්තුවට පැමිණීම ස්ථිර කර ඇතත් පැමිණෙන දිනය නිශ්චිතව සඳහන් කර නැති බවයි.

කෙසේවුවද අමාත්‍ය නාමල් රාජපක්‍ෂ 'නෙත් නිවුස්' ඊයේ කළ විමසීමකදී සඳහන් කර සිටියේ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ යළි පාර්ලිමේන්තුව නියෝජනය කිරීම පිළිබද මෙතෙක් ආණ්ඩුව සමග සාකච්ඡා කර නොමැති බවයි.

මේ අතර අද 'ලංකාදීප' වැඩිදුරටත් වාර්තාකර ඇත්තේ, බැසිල් වෙනුවෙන් ඉවත්වන මන්ත්‍රීට ලොකු ලංසුවක් ලැබීමට නියමිත බවයි.

බැසිල් රාජපක්ෂට මැතිසබයට පැමිණීමට හැකිවන ලෙස ඉවත්විය යුත්තේ කවුද යන්න ගැන ජනාධිපතිගේ නිවසේ සිදුකළ සාකච්ඡාවේදී ෆලීල් මර්ජාන්, මහාචාර්ය චරිත හේරත්, ජයන්ත කැටගොඩ සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර යන, ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නම් සම්බන්ධයෙන් , අදහස් හුවමාරු වී ඇති බවද එම පුවත්පත් වාර්තාවේ සඳහන්.

එම පුවත් වාර්තාවට අනුව, බැසිල් රාජපක්‍ෂ වෙනුවෙන් සුදුසු මන්ත්‍රීවරයකු ඉවත් කරගැනීමේ වගකීම මෙම හමුවේදී පවරා ඇත්තේ නාමල් රාජපක්‍ෂ ඇමතිවරයාටයි.

එහි වැඩිදුරටත් සඳහන් වන්නේ එලෙස ඉවත්වන මන්ත්‍රීවරයාට දැනට පුරප්පාඩුව පවතින ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් පදවිය පිරිනැමීමට ද තීන්දු වි ඇති බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පවසන්නේ, පසුගිය මහ මැතිවරණ ජයග්‍රහණයෙන් පසු ජාතික ලැයිස්තුව පත්කළ බැසිල් රාජපක්ෂට තමා වෙනුවෙන් කෙනෙකු ඉවත්කර ගැනීම නාමල් ඇමතිවරයාට පැවරීමට සිදුවීම හාස්‍යයට කරුණක් බවයි..

එම ජාතික ලැයිස්තුව පත්කිරීමේදී ජනධිපතිවරයා විසින් නම් කල වියත්මග සාමාජිකයින් දෙතුන් දෙනා සහ අගමැතිවරයා විසින් නම්කරනු ලැබූ ෆලීල් මර්ජාන්, ජයන්ත වීරසිංහ වැනි දෙතුන් දෙනෙකු හැර , පොහොට්ටු පක්ෂයේ අන් සියලු දෙනාම පත්කරනු ලැබුවේ , බැසිල් රාජපක්ෂ විසින්.

වඩාත් සිත්ගන්නා සුළු කරුණ වන්නේ , ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයේ අනුමැතියකින් තොරව සුරේන් රාඝවන් ජාතික ලැයිස්තුවට පත්කළේ ද බැසිල් රාජපක්ෂ විසින් බවට එම පක්ෂයේ නායකයින් දිගින් දිගටම නගන චෝදනාවයි.

අනෙක් අතට ජාතික ලැයිස්තුවට නාමල්ගේ ගජ මිතුරන් හෝ , තාරුණ්‍යයට හෙටක් වැනි සංවිධානවල සිටි අයකු පත්කර ඇති බවක් වාර්තා වන්නේද නෑ ..

බැසිල් වෙනුවෙන් කෙනෙකු ඉවත්කර ගැනීම ඔහුට පවරා ඇත්තේ එවැනි වටපිටාවක් තුලයි.

මේ කරුණුවලින් තවදුරටත් පැහැදිලි වන්නේ, බැසිල් රාජපක්ෂගේ පාර්ලිමේන්තු සම්ප්‍රාප්තිය සම්බන්ධයෙන්, පවුලේ සාමාජිකයින් මෙතෙක් අවසන් එකඟතාවකට එළඹ නොමැති බවයි.

කෙසේවුවද මෙරට බහුතර ජනතාවක් බලා සිටින්නේ බැසිල් පාර්ලිමේන්තු අද හෙටම ඇවිත් ජනාධිපති හා අගමැතිගේ ජිවන වියදම් කමිටුව ඉහල දැමූ ඉන්ධන මිල ඇතුළු බඩුමිල අඩුකරන තුරුයි.

කොහොම හරි පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය නායකයන් දැනුවත් කරලා කියන්නේ බැසිල් රාජපක්ෂ 8 පාර්ලිමේන්තු එනවා , ඒ නිසා සැමරුම් සූදානම් කරන්න කියලා. හැබැයි ඔන්ලි බැසිල් නෙවෙයි ,අගමැති සහ ජනාධිපති එහෙමත් ඉස්සෙන විදියට.

දේශපාලන වාර්තාකරු