Language Switcher

V2025

ජනාධිපතිලා තුනක් !

හතර අතින් ආණ්ඩුවත් රටත් නන්නත්තාර වී සිටින අවස්ථාවක සිය පාර්ලිමේන්තු ගමන බැසිල් රාජපක්ෂ මහතාට දැඩි අභියෝගයකි. 2015 ආණ්ඩු පරාජයේ වගකීම භාරගත් ඔහු පොරොන්දු පරිදිම 2019 දී යළි ලබාගැනීමට සමත් විය. ඒ අතින් කියූ දේ කළ අයෙකි. අනෙක 2024 බලාපොරොත්තුවක් ඇති ඔහු මේ වගකීම ගැනීම දැලි පිහියෙන් කිරි කෑමකි.

බැසිල් රාජපක්ෂ මහතාගේ ආගමනය මෙතරම් ඉහළින් හා වැදගත් කොට සලකන්නේ ආණ්ඩුවේ දරාගත නොහැකි ෆේල්වීමක් ගොඩදමාගත හැකි කෙනා එන බවය. එබැවින් ජනාධිපති ධූරය සම්බන්ධයෙන් ව්‍යවස්ථාවේ කවර අර්ථ නිරූපනයක් තිබුණද අද සිට ශ්‍රී ලංකාවට ජනාධිපතිවරු තිදෙනෙක් සිටිති. (මහින්ද, ගෝඨා, බැසිල්)

බැසිල් රාජපක්ෂ මහතාගේ දක්ෂතාවන් පිළිබඳ කවර අභිවාදන පැවතියද ඔහු මේ පර්ෆෝම් කරන්නේ තම සහෝදරයන් දෙදෙනා ජනාධිපති හා අගමැති වීම නිසාය. එය මොළේ නිසාම කරන වැඩක් නොව බලේ නිසාද සිදුවන්නක් බව අප තේරුම්ගත යුතුය.

බැසිල් රාජපක්ෂ මහතාගේ මෙවර පාර්ලිමේන්තු ආගමනයත් සමග ලංකාවෙන් ලෝක වාර්තාවක්ද පිහිටවනු ඇත. සහෝදරවරු 4 දෙනෙක්ම එකම අවස්තාවක පාර්ලිමේන්තවේ අසුන් ගනු ඇත. ඊළඟ පරම්පරාවේ 3 දෙනා සමග 7 කි. "පුංචි පවුල රත්තරන්" නොවේ. "ලොකු පවුල රටක් වටී" වන්නේ ඒ නිසාය.

බැසිල් මොළකරුවෙක් වුවද තමන්ට පළිහක් මෙන් ළදරු මැතිඇමතිවරුන් පිරිසක් හා අන්තේවාසිකයන් පිරිසක් තබා ගෙන සිටිති. බලලුන් ලවා කොස් ඇට බාව ගන්නා සේ ඔහුගේ මතය හෝ ඕනෑකම් එළිදක්වන්නේ ඔවුන් මගිනි. ඔහුගේ පාර්ලිමේන්තු ගමන මෙන්ම මුදල් අමාත්‍යාංශය ලබා ගැනීමද එසේම සිදුවිය. රටේ ජනතාව හෝ අඩුම තරමින් 69 ලක්ෂය හෝ ඒවා පිළිගන්නවා යයි සිතන්නේ ඔහු මොළකරුවෙකු නිසාත් ජනතාව මෝඩ නිසාත්ය.

බැසිල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් කියවෙන පෙර වැරදි සියල්ල අමතක කළ හැකිය. මුදල් අමාත්‍යවරයා ලෙස ඔහුට බැබලීමට මෙන්ම ඉදිරිමග හදා ගැනීමටද අවස්ථාව ලබා ගෙන ඇති මොහොතේ රට ගොඩදා ගත හැකි වුවහොත් එය ජයග්‍රහණයකි.

ඒ සඳහා නම් ඔහු ඇතුළු ආණ්ඩුව ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, යුරෝපා කොමිසම ඇතුළු ආයතන සමග ඉදිරියේදී ළඟින්ම කටයුතු කිරීමට සිදුවනු ඇත. එය සාමාන්‍ය මිනිස්සුන්ගේ ජයග්‍රහණයක් වන්නේ ඔවුන්ගේ ඇතැම් කොන්දේසි සමග එකඟවීමට ආණ්ඩුවට සිදුවන නිසාය. එසේ නොමැතිව නම් මේ මර්දනය කිරීම් නතර කිරීම බොරුය.

මේ බැරෑරුම් අවස්ථාවේ සහෝදර සමාගමක් හෝ රට ගොඩ දමන්නේ නම් අප සතුටු විය යුතුය.

මහින්ද රූබසිංහ ෆේස්බුක් ගිනුමෙනි