Language Switcher

V2025

ආණ්ඩුවෙන් කළු සල්ලි සුදු කරවන පනතක් : අධිකරණයට යන බව ජවිපෙ කියයි

ආණ්ඩුව විසින් කළු සල්ලි සුදු කරවන පණතක් ගෙන ඒමේ සූදානමක් සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ අනාවරණය කරයි.

ඒ අනුව පසුගිය වසරේ මාර්තු 31ට පෙර හෙළිදරව් නොකළ බදු ගෙවීම සඳහා සහනයක් ලබාදීමට යැයි සඳහන් කරමින් ගෙනඑනු ලබන බදු සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව අධිකරණය හමුවට යන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හිටලු කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති සඳහන් කරයි.

“ස්වේච්චාවෙන් හෙළිදව් කිරීම මත බද්ද පැනවීම” සහ “ඇතැම් නීති යටතේ හිඟ බදු මුදල් කපා හැරීම සඳහා විධිවිධාන” යන දෙයාකාරයෙන් බදු සහන ලබාදීමට ආණ්ඩුව විසින් මෙම පනත් කෙටුම්පත මගින් යෝජනා කර ඇත.

ඔහු මේ බව සඳහන් කර සිටියේ මේ වනවිට බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවත්වෙන මාධ්‍ය හමුවක් අමතමිණි.

එහිදී ඔහු වැඩිදුරටත් දැක්වූ අදහස්…

“මේ වනවිට පාර්ලිමේන්තුවට නව මුදල් පනතක් ඉදිරිපත් කර තිබෙනවා. නීතිවලින් මේ වනවිට හෙළිදරව් නොකළ වත්කම් සහ ආදායම් පිළිබඳව ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා හෙළිදරව් කරන තැනැත්තන්ට දණ්ඩනයක් නියම නොකර සහන ලබාදීමට මේ පනත ඉදිරිපත් කර තිබෙනවා. මෙයින් යෝජනා කරන්නේ බිඳ වැටිලා තියෙන සංචාරක කර්මාන්තය, නැත්නම් වෙනත් කර්මාන්ත නැත්නම් කොවිඩ් වසංගතය නිසා අසරණ වෙලා ඉන්න සාමාන්‍ය ව්‍යවසායකයින් වෙනුවෙන් නෙවෙයි. බැංකු ණය, ලීසිං, ගෙවා ගන්න බැරිව විශාල අර්බුදයකට ලක්වූ පිරිසකගේ ව්‍යාපාර වැසී යමින් තිබෙනවා. ආණ්ඩුවක් විදිහට යම් සහන ලබාදිය යුත්තේ මේ සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට. නමුත් ආණ්ඩුව මේ පනත ගෙනත් තිබෙන්නේ ඒකට නෙවෙයි. රටේ පවතින නීතිය අනුව හෙළිදරව් නොකළ, ජනතාවගේ බදු මුදල් වංචා කළ බදු හොරුන්ට, නීතියෙන් කට්ටි පැනල තියෙන හොර නඩයකට පහසුකම් සලසා දෙන්න මේ හදන්නේ. මේක කළු සල්ලි සුදු කරන පනතක්.

ආණ්ඩුව සිදුකරමින් ඉන්නේ තමන්ගේ යාළු මිත්‍රයින්ට සහන සලසා දෙන්න. කොවිඩ් බොරදියේ මාළු බාන්න ආණ්ඩුව උත්සාහ කරන්නේ ඒ හොර නඩයට සහන දෙන්න. බැසිල් රාජපක්‍ෂ මුදල් ඇමතිවරයා පත්වීමෙන් පස්සේ විශාල සහන දෙන බව ලංසා වැනි ඇමතිවරුන් කීවා. තෙල් මිල අඩුකර සහන ලබාදී ජීවන බර අඩුකරන බව කීවා. හැබැයි බැසිල් රාජපක්‍ෂ මුදල් ඇමතිවරයා ගේන පළවෙනි පනත කළු සල්ලි සුදු කරන්න. දෙසැම්බර් 31කට කලින් මේ සල්ලි පාවිච්චි කරලා කොටස් වෙළඳපොළේ ආයෝජනය කරන්න පුළුවන්. ඒවගේම ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මහබැංකුව නිකුත් කරන භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර මිලදී ගන්න පුළුවන්. මේ වංචනික මුදල්වලින් ලංකාව තුළ දේපළ මිලදී ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් දෙසැම්බර් 31ට කලින් බැංකු ගිණුම්වල තැන්පත් කරන්නත් පුළුවන්. මේ සිද්ධ කරන්න යන්නේ 1%ක බද්දක් ආණ්ඩුවට ගෙවලා හොරකම් කළ, වංචා කළ, මුදල් නීත්‍යානුකූල කිරීමයි. භාණ්ඩාගාරයේ පතුළ හිස්වෙලා තියෙන බව ඇත්ත. ඒකට මුවා වෙලා අද සිද්ධ කරන්න යන්නේ තමන්ගේ ගජ මිත්‍රයන් අයථා මාර්ගවලින් හොයන ලද මුදල්වලට සුජාතභාවයක් ලබා දෙන්න. දැන් පාර්ලිමේන්තුවට කෙටුම්පතක් හැටියට ඉදිරිපත් කරලා ඉදිරි කාලයේදී සම්මත කරගන්න යන්නේ එවැනි බරපතල පනතක්.

හොරකම් කළ සල්ලිවලින් ආණ්ඩුවට ගෙවන්න ඕනෑ 1%යි. මෙකේ තියෙන බරපතල තත්වය දැනට අයකරගෙන තිබෙන වැට් බදු නොගෙවා පැහැර හැර තියෙන අයට ලැබෙන විශාල වරදානයයි. ආණ්ඩුවට ලැබෙන්න ඕනෑ වැට් බද්ද හැටියට 8%ක් සහ දඩ මුදල් හැටියට අවම වශයෙන් 2%ක් අහිමිවෙනවා. ඒ කියන්නේ 10%ක් ආණ්ඩුවට ලැබෙන්න ඕන මුදලින් ලැබෙන්නේ 1%යි. ආදායම් මත, තමන් අත්පත් කරගත්ත දේපළ මත නීතිය හමුවට ගෙනගොස් දඬුවම් ලබන්න ඕනෑ අය ආණ්ඩුවට 1%ක පගාවක් දීලා බේරෙන්න නීතියක් මේ ගෙනත් තියෙන්නේ. මේකට අපූරු නාමයක් හදනවා. “ස්වේච්ඡාවෙන් හෙළිදරව් කිරීම මත බද්ද” කියලා. ඇත්තටම මේක ආණ්ඩුවට දෙන පගා බද්දක්. මේකේ තියෙන බරපතළ තත්වය පැහැදිළි වෙන්නේ අර්ථ නිරූපනයන් තුළින්. වත්කම් හැටියට අර්ථ නිරූපනවල දක්වා තිබෙන්නේ “ශ්‍රී ලංකාව තුළින් යම් චංචල, නිශ්චල දේපළක්” කියලා. මේ මුදල් යොදවලා අර්ථකතනය කර තිබෙන දේපළක් මිලදී ගන්න අවසර තියෙනවා. අනික් පැත්තෙන් නිශ්චල දේපළ යන්න අර්ථ නිරූපනය කර තියෙන්නේ “ඉදි කරන ලද හෝ ඉදිකරමින් පවතින ශ්‍රී ලංකාවේ හෝ විදේශයක ඇති යම් ගොඩනැගිල්ලක් වේ” කියලා. චංචල දේපළ ගැන තියෙන්නේ “රත්තරං ඇතුලුව ශ්‍රී ලංකාවේ හෝ විදේශයක පවතින සියලුම ආකාරවල චංචල දේපළ ඇතුළත් වේ නමුත් මුදල් ඇතුළත් නොවේ.” කියලා. මුදල් යනුවෙන් ශ්‍රී ලංකාව තුළ හෝ විදේශයන්ගේ භාවිතා වන මුදල් නම්කර තිබෙනවා.

මේ රටේ සුළු ව්‍යාපාරිකයන්ට විදේශවල නිශ්චල හෝ චංචල වත්කම් තියෙනවාද? මේ කාවද නිදහස් කරන්න හදන්නේ? අපේ රටේ වත්කම් එළියට ගෙනියලා පිටරටවල්වල පුරවැසිකම් ගත්, ඒ රටවල ගොඩනැගිලි ඇතුළු වත්කම් තියෙන අයගේ දේවල් ලංකාවට ගෙනල්ලා ආයෝජන හැටියට යොදවන්න සුජාතභාවය ලබා දෙනවා. කළු සල්ලි සුදු කර ගන්න ගෙනත් තියෙන පනත මේ ආකාරයට විවිධ උපක්‍රමවලින් හංගලා තියෙන්නේ. පවතින නීතිය යටතේ හෙළිදරව් කළ යුතු දේවල් පාර්ලිමේන්තු මේ පනත් මගින් වහනවා නම් ඩේසි ආච්චිගේ මැණික් මල්ල වගේ වටේ යන්න ඕනෑ නැහැ. ඩේසි ආච්චිටම පුළුවන්, මැණික් මල්ල දීලා ආණ්ඩුවට 1%ක් පගාව දීමෙන් නිදහස් වෙන්න. ඇලෝෂියස්ලාටත් මහ බැංකුවෙන් වංචා කළ මුදල් පෙන්වලා 1%ක් පගාව දීලා ගැලවෙන්න පුළුවන්. අර්ජුන් මහේන්ද්‍රන්ටත් එහෙම බේරෙන්න පුළුවන්. ආණ්ඩුවේ සෞභාග්‍යයේ ක්‍රමය මේක. මේ විදිහට ආයෝජන දිරිමත් වෙන්නේ නැහැ. රටේ ජනතාවගේ ආර්ථිකයක් හැදෙන්නේ නැහැ. කළු සල්ලි සුදු කිරීම විතරයි වෙන්නේ. අර්ථ නිරූපනවලදී ශ්‍රී ලංකාවේ යම් චංචල හෝ නිශ්චල දේපළක් අත්පත් කරගන්න කියලා නැවත විදේශවල තිබෙන චංචල හෝ නිශ්චල දේපළක් අයිති බව සඳහන් කරනවා.

මේකේ බරපතළ තත්වය වෙන්නේ රජයට නොගෙවා පැහැර හැර තිබෙන සියලුම් වත්කම් සහ ආදායම් බදු අඩු තරමින් තොරතුරු දැන ගැනීමේ පනත යටතේවත් නිරාවණය කරගන්න බැහැ. මේකෙන් දිරි ගන්වන්නේ හොරකම. මේ හරහා අයථා මාර්ගවලින් මුදල් ඉපයීම දිරි ගන්වන්නේ. මේකෙන් කරන්නේ ආර්ථිකය ශක්තිමත් කිරීම නෙවෙයි. රාජපක්‍ෂ සමාගමේ ආර්ථික උපායමාර්ගය වෙලා තියෙන්නේ අයථා මුදල් ඉපයීම් දිරි ගන්වන එක. එක කැබිනට් මණ්ඩලයේ එකම පවුලේ ඉන්න වැඩිම පිරිසක් හැටියට ලෝකයෙන්ම මුල් තැනට ඇවිත් තිබෙනවා. මේ තත්වය තුළ ගෙනත් තිබෙන මුදල් කෙටුම්පත ඉතාම බරපතළ බව කාටත් පැහැදිලියි. ජාතික ආර්ථිකය ශක්තිමත් කරන්න කිසිම තැනක යොදවයි කියලා අපි හිතන්නේ නැහැ. කොටස් වෙළඳපොළට සහ බැඳුම්කර මිලදී ගැනීම්වලට වගේ තැන්වලට යන්නේ ක්‍ෂණික ලාභ ලබාගන්න. මේ හොර සල්ලිවලට ආණ්ඩුවට ණයවීමේ හැකියාව දක්වා බලයක් හැදෙනවා. බැංකු ණයවත් ගෙවාගන්න බැරිව ඉන්න ව්‍යාපාරිකයින් ගැන ආණ්ඩුව කථා කරන්නේ නැහැ. ආණ්ඩුවට ණය දෙන්න ඒ අයට හැකියාවක් නැහැ. අලුතින් දේපළ අත්පත් කරගන්නත් ඔවුන්ට හැකියාවක් නැහැ. නීතිය ඉදිරියේ දඬුවම් ලබන්න නියමිතව ඉන්න අය මේ පනතෙන් ආරක්‍ෂා කරන්න උත්සාහ කරනවා.

ජනතාවගේ ජන ජීවිත පවත්වාගෙන යන්න කොරෝනා තත්වය නිසා නොහැකි අවස්ථාවක් මේක. ආණ්ඩුව කල්පනා කරන්නේ ජනතාවට හෙණ ගැහුවත් තමන්ගේ සහ ගජ මිතුරන්ගේ වැඩේ කරගන්න එක ගැනයි. පක්‍ෂයක් හැටියට අපි මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරනවා. ජනතාවගේ බදු මුදල් වංචා කළ අය සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තර දැනගන්න අයිතියක් ජනතාවට තියෙනවා. මේ නිසා අපි මේ පනත් කෙටුම්පතට විරුද්ධව අධිකරණයට යන්න බලාපොරොත්තු වෙනවා. මේ රටේ ජනතාවට සාධාරණය ඒ තුළින් ඉෂ්ඨ කරන්න ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. සෙලෙන්දිවා වැනි ආණ්ඩුවම සකස් කරන වෙනත් නීති-රීතිවලින් නිදහස් කරන මහජනතාවගේ දේපළ කොල්ල කන්න මේ මුදල් යොදවන්නත් අවස්ථාව ජාවාරම්කරුවන්ට ලබා දෙනවා. ඒ නිසා මේ වෑයම පරාජය කරන්න අපි නීත්‍යානුකූලව කටයුතු කරනවා.”