Language Switcher

V2025

2020 ජනාධිපතිවරණය ඉලක්ක කර : ගෝඨාභයත් පන්සල් යයි

රටම ආවරණය වන ආකාරයට පන්සල් වෙත ගොස් ආගමික උත්සව පැවැත්වීමේ විශේෂ වැඩසටහනක් ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් ආරම්භ කර ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

වාර්තා වන ආකාරයට හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ දේශපාලන ආගමනය වෙනුවෙන් ඔහුට උපදෙස් ලබාදෙන උපදේශකයිකන්ගේ (think tank) නිර්දේශයකට අනුව මෙම "පන්සලෙන් ගමට" දේශපාලන වැඩසටහන ආරම්භ කර ඇත.

2015 ජනාධිපතිවරණය පරාජයවීමත් සමඟ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂද රටපුරා පිහිටි පන්සල් වලට යමින් ආගමික උත්සව ආකාරයට දේශපාලන රැස්වීම් පැවැත්වූ අතර ගෝඨාභය රාජපක්ෂගේ උපදේශකයිකන්ගේ නිර්දේශය වී ඇත්තේ 2020 ජනාධිපතිවරණය අපේක්ෂකත්වය ලබාගැනීම වෙනුවෙන් ජනමතය සැකසීම සඳහා මෙම "පන්සලෙන් ගමට" වැඩසටහන තීරණාත්මකව වැදගත් වන බවය.

"මං වැඩ කළේ නායක ස්වාමීන්වහන්සේලාගේ අනුශාසනා මත"

එම වැඩසටහනේ එක් අංගයක් පසුගියදා කුළියාපිටිය ප්‍රදේශයේ පන්සලක සංවිධානය කර තිබිණ. එහිදී උත්සව සභාව අමතමින් ගෝඨාභය රාජපක්ෂ සඳහන්කර සිටියේ මේ වන විට රටේ මතුව තිබෙන ප්‍රශ්න වලට හේතුව පාලකයින් නායක ස්වාමීන්වහන්සේලාගේ අනුශාසනා නොතකා කටයුතු කිරීම බවය.

එසේම තමන් පසුගිය පාලන සමයේ රටේ ප්‍රශ්න ඇතිවූ විට නායක ස්වාමීන්වහන්සේලා ආරක්ෂක අමාත්‍යංශයට වැඩම කරවා අනුශාසනා ලබාගෙන ඒ අනුව කටයුතු කළ බවත් නමුත් අද පාලකයන් රාජ්‍ය නොවන සංවිධානවල උපදෙස් අනුව ආගම, සංස්කෘතිය, ස්වෛරීත්වය අමතක කර කටයුතු කරන බවද ඔහු පැවසීය.

රජකාලේ ක්‍රමවේදය අවශ්‍යයි !

ව්‍යවස්ථාවේ බුදුදහමට මුල්තැන දියයුතු බවට සඳහන් වුවත් එය මේ වන විට ව්‍යවස්ථාවට පමණක් සීමාවී ඇති බවත් නමුත් තමන් විශ්වාස කරන්නේ රජ සමයේ සිට පැවති ක්‍රමවේදය අනුව කටයුතු කිරීම බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ අතර එම උත්සව සභාව ඇමතූ නායක හිමිනමක් සඳහන් කර සිටියේ අද රටට යුධ සාහිත්‍යක් අවශ්‍යව ඇති බවය. ඒ පිළිබඳ එලිය සංවිධානයට පැමිණ වදාරන ලෙස ගෝඨාභය මහතා නිතර යෝජනා කරන බවත් නමුත් එවැනි තැන්වල සීමා පවතින බැවින් එම අදහස පන්සලේ සිට පැවසීම ගැටළුවක් නොවන බවද එම හිමිනම පැවසීය.