Language Switcher

V2025

ෆේස්බුක් තහනම "සිකුරාදා ඉවතට"

ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල සඳහා පනවා ඇති තහනම ලබන සිකුරාදා (මාර්තු 16) ඉවත් කෙරෙන බව විදුලි සංදේශ අමාත්‍ය හරින් ප්‍රනාන්දු බීබීසී සිංහල සේවයට පැවසීය.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අද පැවති සාකච්ඡාවට ජනාධිපතිවරයා ද දුරකථනය ඔස්සේ සහභාගී වූ අතර එහිදී අදාළ එකඟතාවට පැමිණි බව අමාත්‍යවරයා සඳහන් කළේය.

පසුගියදා මහනුවර ප්‍රමුඛව දිවයිනේ ප්‍රදේශ කිහිපයක හටගත් ප්‍රචණ්ඩ ක්‍රියා සමගින් ෆේස්බුක් ඔස්සේ වෛරී ප්‍රකාශන පළවීම වැලැක්වීම සඳහා එය ද ඇතුළුව සමාජ මාධ්‍යජාල අවහිර කළ බව ආණ්ඩුව පවසා තිබිණි.

එවැනි ප්‍රකාශන පළකිරීම අවහිර කරන බවට ෆේස්බුක් සමාගමෙන් තහවුරු කිරීමක් ආණ්ඩුව අපේක්ෂා කළ අතර ඒ සඳහා මේ වනවිටත් එකඟතාව පළකර ඇති එම සමාගමේ නිලධාරීන් පිරිසක් ලබන බ්‍රහස්පතින්දා (මාර්තු 15) ශ්‍රී ලංකාවට පැමිණෙන බව ද අමාත්‍ය හරින් ප්‍රනාන්දු සඳහන් කළේය.

ප්‍රචණ්ඩ ක්‍රියා පාලනයට:

මේ මස මුල දී මහනුවර ප්‍රචණ්ඩ ක්‍රියා හට ගැනුණේ පෙබරවාරි මාසයේ අග භාගයේ තෙල්දෙණිය නගරයේදී පහර කෑමට ලක් වූ දෙදරු පියෙක් මහනුවර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය යාමත් සමගය.

ඔහුට පහර දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට මුස්ලිම් තරුණයන් පිරිසක් අත්අඩංගුවේ පසුවෙති.

මේ සිදුවීම් සමග ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා පැතිර ගිය ඇතැම් ප්‍රකාශ ප්‍රචණ්ඩ ක්‍රියාවලට පොළඹවන සුලු බව කියා සිටි ආණ්ඩුව වහා ක්‍රියාත්මක වෙමින් එම සමාජ මාධ්‍ය ජාල මෙන්ම වයිබර් හා වට්ස්ඇප් වැනි ක්ෂණික පණිවිඩ සේවා අවහිර කිරීමට පියවර ගත්තේය.

පසුව හමුදාපතිවරයා මෙන්ම ආණ්ඩුවේ ඇතැම් අමාත්‍යවරුන් කියා සිටියේ ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා පාලනයට "සමාජ මාධ්‍යජාල තහනම පිටිවහලක්" වූ බවය.

මෙය "අතිවිශේෂ එහෙත් තාවකාලික" පියවරක් බව තහනම ක්‍රියාවට නැගෙන අවස්ථාවේදී නිවේදනයක් නිකුත් කරමින් විදුලි සංදේශ අමාත්‍ය හරින් ප්‍රනාන්දු කියා තිබිණි.

පැය 72ක කාලයකින් අදාළ අවහිර කිරීම ඉවත් කිරීමට අපේක්ෂා කරන බව ප්‍රකාශ වුව ද එය ඊට වඩා කල් ඉකුත්ව යද්දී ඒ සම්බන්ධයෙන් විදෙස් රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් අකමැත්ත ප්‍රකාශවූ අතර සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ගෙන් මෙම සමාජ මාධ්‍යජාල තහනමට විරෝධය මතුවන්නට විය.

මිනිස් අයිතිවාසිකම්වලට පටහැනි වුවත් ???

සමාජ ජාල මාධ්‍යයට අවහිර කිරීම මිනිස් අයිතිවාසිකම් වලට පටහැනි යයි තර්කයක් ගොඩ නැගිය හැකි වුනත්, පැවති ගැටුම් සහගත තත්ත්වය තවත් උග්‍ර කිරීම සඳහා ඇතැම් කොටස් සමාජ මාධ්‍යජාල භාවිත කරන හෙයින්, ඊට විකල්ප මතයක් ගොඩ නැගෙන බව සමාජ මාධ්‍ය ජාල පර්යේෂක චානුක වත්තේගම බීබීසී සිංහල සේවය සමග සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේය.

notes

(තහනම පිළිබඳව ප්‍රමුඛ සේවා සපයන්නන් දැන්වීම් පළකරන ලදී.)