Language Switcher

V2025

රටේ ආර්ථික තත්ත්වය හොඳ නැහැ - හිටපු මුදල් ඇමති

රාජ්‍ය ආදායම දිගින් දිගටම බිඳ වැටුණොත්, එහි බලපෑම නැවත ජනතාවට දැඩි ලෙස දැනෙනු ඇතැයි හිටපු මුදල් අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අවධාරණය කර සිටියි.

තමා මුදල් ඇමැති ධූරය දරණ සමයේ, හඳුන්වා දුන් ආර්ථික සංවර්ධන සැලසුම් අඛණ්ඩව ක්‍රියාත්මක කළේ නම් ජාතික ආදායම මීට වඩා ශක්තිමත් වීමට ඉඩ තිබුණු බව ද ඔහු පවසයි.

රවී කරුණානායක මහතා මේබව පැවසුවේ ඊයේ (12) දහවල්, තොටළඟ, එක්සත් ජාතික පක්ෂ, කාර්යාලයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ය.

ඉකුත් පාලන සමයේ අයාලේ තිබුණ මූල්‍ය පාලනය විධිමත්ව මෙහෙම වීමට තමා නායකත්වය දුන් බව පැවසු මන්ත්‍රීවරයා, එහෙත් මේවන විට එම මූල්‍ය විනය අභියෝගයට ලක්ව ඇතිබවද එහිදී කියා සිටියේය.

මේවන විට රාජ්‍ය ආදායම සැලසුම් කළ පරිදි නොලැබෙන බවත් මෙම තත්ත්වය දිගින් දිගටම පැවතුණ හොත් එහි ප්‍රති විපාක නැවත ජනතාවට දැනෙනු ඇතිබවත් කරුණානායක මහතා ප්‍රකාශ කළේය.

රවී කරුණානායක මහතා එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් මෙසේද පැවසිය.

ආර්ථිකය පාලනය කරන්නෙ නිලධාරීන් දෙතුන් දෙනෙක් :

"අද රටේ ආර්ථිකය පාලනය කරන්නෙ මහ බැංකුවේ නිලධාරීන් දෙතුන් දෙනෙක්. කිසිඳු ප්‍රායෝගික දැනුමක් නොමැති මේ සුළුතරය, තීරණ ගන්නෙ ඒ අයට ඕනෑ විදිහට. දේශපාලකයන් පිටිපස්සෙ ගිහින් තනතුරු ආරක්ෂා කර ගෙන ඔවුන්ගේ පෞද්ගලික මතය ක්‍රියාත්මක කරනවා මිස රට ඉදිරියට ගෙන යෑමේ අදහසක් මේ නිලධාරීන් ට නැහැ.

මම මුදල් ඇමැති කාලෙ පොරොන්දු වුනා, වසර දෙකකට පසුව VAT බද්ධ 9% දක්වා අඩුකරන්න. දැන් ඒක ක්‍රියාත්මක කරන්න කාලය ඇවිත් තියෙන්නෙ.

මොකද මම එහෙම පොරොන්දුවක් දුන්නේ කිසියම් අරමුණකින් කටයුතු කළ නිසා. මම රාජ්‍ය ආදායම වැඩි කරගන්නා සැලසුම් ක්‍රියාත්මක කළා, ඒඅනුව 2015/2016/2017 මුල් මාස හය තුල විශාල ප්‍රගතියක් ලැබුව.

දැන් එහෙම ආදායම් ලැබෙන තත්ත්වයක් පෙනෙන්නේ නැහැ. මම මුදල් ඇමැති කාලේ රාජ්‍ය ආදායම 25-30% කින් වර්ධනය කළා. ඒ වර්ධනය දැන් පෙනෙන්නේ නැහැ.

අද සූරා බදු ආදායම බරපතළ ලෙස පහත වැටිල. මොකද ජනතාව සූරා පානය නොකර හිටියා ද ? කොහාට ද මේ මුදල් ටික ගිහින් තියෙන්නෙ. මේව ගැන තමා අපි හොයන්න ඕනෑ.

අනවශ්‍ය ලෙස ආදායම අහිමි වුනොත් නැවත ජනතාව මත බදු පැටවීම ක් වෙන්න පුලුවන්.

මම මුදල් ඇමැති කාලේ බැංකු ණය පොලී අඩුකරන ලෙස මහ බැංකුව ට පෙන්වා දුන්නා. එතන ඉන්න න්‍යාය පණ්ඩිතයන් ඒවා ගනන් ගත්තෙ නැහැ.

අද රැකියා විරහිත තරුණ තරුණියන් සඳහා නව රැකියා උත්පාදනය ට ඒක බල පෑව විතරක් නොවේ, ස්වයං රැකියා කරන පිරිසට හා කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාවසායකයන් සඳහා ගැටලු ඇති කළා.

මේ රජය ජනතාව ගෙන් ඈත් කරල තියන්නෙ ඔය මහ බැංකුවේ සිටින පණ්ඩිතයන් කිහිප දෙනෙක්. කිසිඳු ප්‍රායෝගික අත්දැකීමක් නොමැති මේ නිලධාරීන් සමඟ රට ඉදිරියට ගෙන යන එක ගැටලුවක්" යැයිද රවී කරුණානායක මහතා වැඩිදුරටත් කීය.