Language Switcher

V2025

නාම යෝජනා ප්‍ර‍තිකේෂ්ප වූ මහරගම නඩේ : බලහත්කාරයෙන් එන්න හදයි

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් මහරගම නගර සභාව සදහා නාම යෝජනා ප්‍ර‍තිකේෂප වූ දේශපාලනඥයින් කිහිප දෙනෙකු ජනතා පරමාධිපත්‍යයට එරෙහිව යමින් පළාත් පාලන ආයතනයේ කටයුතු සදහා බලපෑම් කරන්නට ගෙන ඇති බව වාර්තා වෙයි.

තිලක්, නිශාන්ත, ජගත් රිකී පාරක

මේ සම්බන්ධව කැෆේ සංවිධානය නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වන්නේ 2018 මාර්තු 13 දින (අද) ඡන්ද විමසීම සදහා නාම යෝජනා ලබා දී නාම යෝජනා ප්‍ර‍තිකේෂ්ප වූ තිලක් වීරසිංහ, නිශාන්ත විමලචන්ද්‍ර‍, ජගත් පතිරණ යන පුද්ගලයින් මහරගම නගර සභාවට පැමිණ පළමු රැස්වීම පැවැත්වෙන ස්ථානය, එහි කටයුතු සිදු කරන ආකාරය පිළිබද විමසා එහි තැන තැන ඇවිද ගොස් තමන් සභා වාරයට සහභාගිවන බව හැගී යන අයුරින් කටයුතු කර තිබෙන බවය.

තේරී පත්වූ අපේක්ෂකයන්ට බලපෑම්

එසේම මහරගම නගර සභාව සදහා නාම යෝජනා ප්‍ර‍තිකේෂප වූ දේශපාලනඥයින් කිහිපදෙනෙකු සංවිධානාත්මකව තේරී පත් වී ඇති සභිකයින් කිහිප දෙනෙකුටම මුදල් හෝ වෙනත් ප්‍ර‍තිලාබ මත සභික ධූරයෙන් ඉල්ලා අස්වීම සදහා බලපෑම් කරමින් සිටින බව තම සංවිධානයට නිරීක්ෂණය වී ඇති බවද එම නිවේදනයේ සඳහන්ව ඇත.

ඒ පිළිබඳ පෙන්වාදෙමින් කැෆේ සංවිධානය අවධාරණය කර සිටින්නේ ජනතා පරමාධිපත්‍ය හෑල්ලු නොවන අයුරින් මහරගම නගර සභාව ස්ථාපනය කිරීම හා පළමු සභා වාරය පැවැත්වීම හා රාජ්‍ය නිලධාරීන්ට බලපෑම් රහිතව කටයුතු කිරීම සදහා අවස්ථාව සැලසීමට වගකිව යුතු පාර්ශව කටයුතු කලයුතු බවය.

පළමු සැසිවාර තුන නිරීක්ෂණයට අවසර දෙන්න - කැෆේ ඉල්ලයි

එසේ ඔවුණහොත් එය ජනතා පරමාධිපත්‍ය හෑල්ලුවට ලක් කිරීමක් වන බවත් එය වැළක්වීම සඳහා මැදිහත්වීමට කැෆේ සංවිධානය කටයුතු කිරීමට සුදානමින් සිටින බව සඳහන් කරන එම නිවේදනය වැඩිදුරටත් වගකිව යුත්තන් වෙතින් ඉල්ලා ඇත්තේ මහරගම නගර සභාවේ පළමු සභාවාර 3 පැවැත්වෙන අවස්ථාවේ දී සභාවේ කටයුතු නිරීක්ෂණය කිරීම සදහා කැෆේ සංවිධානයට අවසර ලබාදෙන ලෙසය.

එහිදී ජනතා පරමාධිපත්‍යයට එරෙහිව කටයුතු සිදුවන්නේ ද, රාජ්‍ය සේවයේ නිලධාරීන්ට, නගර සභා සේවකයින්ට නිදහසේ සිය කටයුතු සිදු කිරීම සදහා අවස්ථාව සැලසෙන්නේ ද යන්න නිරීක්ෂණය කිරීම තම අරමුණ බවත් ඒ වෙනුවෙන් අදාළ නිරීක්ෂණ කටයුත්ත සඳහා කැෆේ සංවිධානයේ නීතිඥවරුන් තිදෙනෙකු සහභාගි කරවීමට බලාපොරොත්තු වන බවද එම නිවේදනයේ සඳහන් කර ඇත.

කැෆේ සංවිධානය වෙනුවෙන් එහි විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් විසින් නිකුත් කර ඇති මෙම නිවේදනයේ පිටපත්, ඉසුර දේවප්‍රිය - බස්නාහිර පළාත් ප්‍ර‍ධාන අමාත්‍ය, පළාත් පාලන කොමසාරිස්/ බස්නාහිර පළාත් සභාව, අතිරේක මැතිවරණ කොමසාරිස්/ පළාත් පාලන - මැතිවරණ කොමිෂන් සභාව, සහකාර මැතිවරණ කොමසාරිස්/කොළඹ, සියලුම මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ඇතුළුව සියලුම ජනමාධ්‍ය ආයතන වෙත යොමුකර ඇත.