Language Switcher

V2025

කබ්‍රාල්ගේ පත්වීමට හිටපු ආණ්ඩුකාරත් බාල්දියක් පෙරළයි !

බැඳුම්කර කොමිසමේ, වෝහාරික විගණන වාර්තාවේ නම සඳහන් පුද්ගලයන් වන අජිත් නිවාඩ් කබ්රාල් සහ අර්ජුන මහේන්ද්‍රන් නැවත වරක් මහ බැංකුවේ අධිපති ලෙස පත් කිරීම දේශපාලන බංකොලොත් භාවය ඉක්මවා ගිය උද්දච්චකමක් බවත් එය වැලැක්විය නොහැකි රටක් ලැජ්ජා විය යුතු යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.

නිවේදනයක් නිකුත්කරමින් ඔහු මේ බව සඳහන් කරන අතර එහි මෙසේද දැක්වෙයි.

රටට කතා කළ ජනතාවගේ විරෝධයට හා කෝපයට බඳුන් වූ බැඳුම්කර කොමිසමකින්, වෝහාරික විගණන වාර්තාවකින් ලබැදියාවන් අතර ගැටුමක් ඇතැයි පැහැදිලි ලෙසම දක්වා ඇති හිටපු මහ බැංකු අධිපතිවරුන් දෙදෙනාට නැවත ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල් පුටුව ලබා දිය යුතුයැයි සිතන ආණ්ඩුවක් අපට ඇත. රටක් බංකොලොත් කළ මිනිසුන් සිරගෙවල්වල සිටිය යුතු යුගයක නැවත ඔවුන් කැඳවා තනතුරු ලබාදීමට උත්සහ දරන රටක් බිහිව තිබේ.

බැඳුම්කර වංචාව විමර්ශන කිරීම සඳහා පත් කරනු ලැබූ ජනාධිපති කොමිෂන් සභාව (Presidential Commission of Inquiry to Investigate, Inquire and Report the Issuance of Treasury Bonds) හි නම සඳහන් වු පුද්ගලයෙකු නැවත එම තනතුරට පත්වීම රටක අසමත්බව පෙන්වන්නකි.

අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ධූරයට පත් කිරීමට යෝජනා වූ විට, ජනතාවට එයට විරුද්ධ වූවේ ඔහුගේ 2001 – 2004 සමයේ පැටිකිරිය නිසාය. අවසානයේ යහපාලන ආණ්ඩුව කුඩේ කුඩු කර මහේන්ද්‍රන් රටෙන් පැන නම ද ස්ත්‍රී-පුරුෂ භාවය හැර අන් සියල්ල වෙනස් කර ගත්තේය. වෝහාරික වාර්තාවේ අජිත් නිවාඩ් කබ්රාල්ට ද එක හා සමාන චෝදනා ඇත. ඒ වෝහාරික වාර්තාව දැන් නීතිපති ලඟ ගල් කර ඇත.

මුදල් පනතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට මහ බැංකු අධිපති විය නොහැකි බව පැහැදිලිවම දක්වා ඇත. මන්ත්‍රීවරයෙකු පමණක් නොව, මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ද වු පුද්ගලයෙකුට මන්ත්‍රී ධූරයෙන් ඉවත්වී දින දෙක තුනකින් මහ බැංකුවේ අධිපති ධූරය ලබා ගැනීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැත. එවැන්නක් සිදුවිය හැක්කේ බංකොලොත් ‘බනානා රිපබ්ලික්’ එකක පමණී.

එස්ටර් වාර්තාවේ කියූ ‘සුපිළිපන් සහ වගකීම් සහිත’ භාවය කොතැනකද?

පළමුව, ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටුවීමට පාදක වූ 1949 නොවැම්බර් ප්‍රකාශයට පත් ‘Report on the Establishment of a Central Bank for Ceylon’ වාර්තා ප්‍රතිඑලයක් ලෙසිනි. එම වාර්තාවේ 16 වන පිටුවේ මහ බැංකුවේ අධිපතිවරයා බවට පත් වන පුද්ගලයා ‘The Governor should be a man of recognized and outstanding competence in and integrity and responsibility’ විය යුතු යැයී සඳහන් ය.

බැඳුම්කර කොමිසන් වාර්තා වේ ප්‍රසන්න ජයවර්ධන විනිසුරුතුමන් එස්ටර් වාර්තාව උපුටා දක්වා ඇත්තේ ‘ලබැඳියාවන් අතර ගැටුම’ හෙළි කරමිනි. එවැන්නකු නැවත මහ බැංකු අධිපති ලෙස පත් කර ගත යුතුද?

දෙවනුව, 2014 ජූනි 30 දින සංශෝධිත 422 වගන්තිය මුදල් පනතේ (422 වගන්තිය) 11 වගන්තිය මගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට මහ බැංකුවේ අධිපතිවිය නොහැකිය. දේශපාලන පක්ෂයක් නියෝජනය කරමින් මුදල් රාජ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කළ පුද්ගලයා එම තනතුරින් ඉල්ලා අස්වී දින දෙක - තුනකින් ස්වාධීන තනතුරක් වන ‘මහ බැංකු අධිපති ධූරයට’ පත්වීම කිසි ලෙසකින් හෝ සදාචාර සම්පන්න වන්නේ නැත. දේශපාලන පක්ෂය නියෝජිතයෙකු අගවිනිසුරු ධූරයට පත් වූවා හා සමාන තත්වයක් - මහ බැංකුව තුල නිර්මාණය නොවිය යුතුය.

රජයේ ඒකාබද්ධ අරමුදලින් වැටුප් ලබන පුද්ගලයෙකු, ප්‍රාදේශීය සභාවක, පළාත් සභාවක මහජන නියෝජිතයෙකුට මෙම තනතුරට පත් විය නොහැකි නම්, දවස් දෙකකට කලින් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වී එම තනතුරට පත්වීමේ සදාචාරය කුමක් ද?

තෙවනුව, 2019 ජනවාරි මස ශ්‍රී ලංකා මහ බැංකුව ‘අචාර ධර්ම පද්ධතියක්’ පැනවීය. බැඳුම්කර වංචාව, බැඳුම්කර කොමිසම හා සිවිල් සමාජයෙන් හිටපු මහ බැංකු අධිපතිවරුන් වූ අජිත් නිවාඩ් කබ්රාල් හා අර්ජුන මහේන්ද්‍රන්ට එල්ල වු විවේචන එයට හේතු විය. එහි 3.6 හි දැක්වෙන්නේ දැනට මහ බැංකුවේ සමාජිකයෙකු (බැංකුවේ) තනතුරින් ඉවත්වීමෙන් වසරක් යන තුරු බැංකු හෝ වෙනත් මුල්‍ය ආයතනයක තනතුරක් දැරීය නොහැකි බව ය. ලබැඳියාවන් අතර ගැටුමක් ඇති නොවන සේ මහ බැංකුවේ නිලධාරීන් තනතුරින් පසුව ද, කටයුතු කළ යුතු යැයි එයින් හඟවයි. දේශපාලන පක්ෂයක් නියෝජනය කරමින් මන්ත්‍රී ධූරයක් දරා, පසු දින මහ බැංකුවේ අධිපතිවන්නට හැකි නම් මේ ආචාර ධර්ම පද්ධතිය හෝ යහපාලන ආණ්ඩුව සමයේ මහ බැංකු මංකොල්ලයෙන් පසුව ඇති වූ සංවාදයේ කිසිදු තාර්කික ඵලයක් නැත.

පුදුමය නම්, මේ ආචාර ධර්ම පද්ධතිය සකස් කිරීමට හේතු වූ පුද්ගයින් දෙදෙනාගෙන් අයෙකුම නැවත මහ බැංකුවේ අධිපති ලෙස පත් කිරීමට රජය උත්සහ දැරීමය. මහ බැංකුවේ පහළ තනතුරක් දරන අයෙකුට පැවරෙන ආචාර ධර්මීය සාධකය මහ බැංකු අධිපති ධූරයට අදාල නොවන්නේ ඇයි දැයි අර්ජුන මහේන්ද්‍රන් හෝ අජිත් නිවාඩ් කබ්රාල් හෝ මහ බැංකු අධිපති පුටුවට පත් කරන පත්වීම් බලධාරී ජනාධිපතිවරයා රටට හෙළි කළ යුතුය.

මහ බැංකු ඉතිහාසයේ සිදු වූ විශාලතම වංචාවන්ට ලැබැඳියාවන් අතර ගැටුම් චෝදනා එල්ලවන පුද්ගලයින් දෙදෙනාගෙන් අයෙකුට ආපසු මහ බැංකුව බාරදීම රටක ගමන් කරන මාවත පෙන්වයි.

එදා අර්ජුන මහේන්ද්‍රන් නැවත පත් කිරීමට විරුද්ධ මම ද ඇතුළු පිරිසක් අධිකරණයට ගියේය. පෙලපාලි ගියේය. පිකටිං කළේය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා එම විරෝධය සලකා මහේන්ද්‍රන් නැවත පත් කළේ නැත. අද, වසර 15 කට පසුවත්, 2006 මහ බැංකු අධිපති වූ කබ්රාල්ට වඩා එම තනතුරට අලුත් මුහුණක් රජයට හමුවී නැත.

යහපාලන ආණ්ඩුව හා එහි පාර්ශවරුවන් වූ පිරිස් මහ බැංකු දුෂිතයන්ට එරෙහිව කටයුතු කළේ නැත. ජනතා විමුක්ති පෙරමුණ හැර, මේ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ කිසිවෙකුත් මුදල් රාජ්‍ය ඇමති සහ ඔහුගේ අතීත ක්‍රියාකාරකම් ගැන පාර්ලිමේන්තුවේ දී හෝ ඉන් පිටත දී කටක් ඇරියේ නැත. තමන්ට දේශපාලන වාසියක් ලැබෙන බැවින් හෝ අද හෝ ප්‍රමාද වී හෝ විපක්ෂය අවදිවීම මේ දුෂිත දේශපාලනයේ ලැජ්ජා නැති රංගනයේම කොටසකි.

මහ බැංකු බැඳුම්කර කොමිසම සහ වෝහාරික විගණනයේ චෝදනා එල්ල වී ඇති අර්ජුන මහේන්ද්‍රන් හා අජිත් නිවාඩ් කබ්රාල් දෙදෙනා කිසි ලෙසකින් හෝ නැවත මහ බැංකු අධිපති ධූරයට පත් නොකළ යුතුය. එය වැලැක්වීම සඳහා සියළු පාර්ශවයන් එක් විය යුතුය.

ජෝන් එස්ටර් වාර්තාව, මහ බැංකුවේ ආචාර ධර්ම සංග්‍රහයේ අදාල උපුටන පහත දැක්වෙයි.

Monitory act page 7

1949 EXTER REPORT PAGE 16