පාස්කු ප්‍රහාරයේ මහා මොළකරු කව්ද කියන එක ඊට ආසන්නතම සිද්ධි එකින්නෙක ගැළපුවොත් හොයා ගන්ඩ පුළුවං. මේ ඒ පිළිබඳ කෙටි සටහනක්.
යහපාලනයේ අයහපත් පාර්ශ්ව
* රාජපක්ෂලාගේ ඒකාධිපති පාලන වියරුව පරාජය කිරීමේ අරමුනින්, මෙරට සිවිල් බුද්ධිමතුන් හා සිවිල් සංවිධාන ප්‍රමුඛ ජනතාව ගෙනගිය අරගලයේ ප්‍රතිඵලයක් විදියට එදා 2015 දී යහපාලන ආණ්ඩුව පත් වෙනවා.
* පටං ගත්ත තැනම අර දින සීයේ වැඩපිළිවෙළයි, දූෂිතයින් අල්ලනවයි කියලා ගෙනාව FCID යේ වැඩයි හින්දා පටං ගත්ත තැන ඉඳං ආණ්ඩුව නා ගන්ඩ පටං ගන්නවා.
FCID යට රජයේ ඉහළ නිලධාරින් ගෙන්නලා දවස් ගණං ප්‍රශ්න කරලා, චාටර් කරලා, ඒ මිනිස්සුන්ට රජය එපා කරවනවා.
හාමුදුරුවන්ට කලිං පැවති රාජ්‍ය අනුග්‍රහය අගමැති රනිල් විසින් චේතනාන්විතව ඉවත් කරලා සංඝ සමාජය විරසක කර ගන්නවා.
* දැඩි ලිබරල් දෘෂ්ටිවාදියෙක් වුන මංගල සමරවීර වැන්නන්ගේ ක්‍රියා කලාප අගමැති රනිල් විසිනුත් අනුමත කිරීම හරහා බෝමයක් ආගම් භක්තිකයින් රජය ගැන කල කිරෙනවා, පන්සල් ගානේ වට වන්දනාවේ යන මහින්ද, ඒ කලකිරීම වයිරයක් බවට පත් කරනවා.
* ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19වෙනි සංශෝධනය හරහා ව්‍යවස්ථාදායක සභාව පිහිටුවීමෙන් ද, එතෙක් අක්‍රියව පැවති ස්වාධින මැතිවරණ කොමිසම,රා ජ්‍ය සේවා කොමිසම යනාදි ආයතන බල ගැන්වීම හරහාත්, ස්වාධීන පොලිස් සේවා කොමිසම යනාදි කොමිෂන් පිහිටුවමින් පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා ගේ බලතල යම් කප්පාදුවකට ලක් කරනවා.
*කැබිනට් මණ්ඩල රැස්වීම් ඇතුළෙත් ඉන් පිටතත් ජනාධිපති සිරිසේනට වඩා රනිල් ප්‍රබලව නැගී සිටිනවා.
උග්‍ර ග්‍රාමීය හීනමානයකින් පෙළෙන හා කුහක ආගමික සදාචාරයක් හිසේ තියා ගත් පොළොන්නරුවේ ගමරාළ හා කුරුඳුවත්තේ හාමු අතර වන විරසකය වර්ධනය වෙනවා.
ගොණයි මීවයි එකට බැඳ ගත්‍ත ආණ්ඩුව හාන්ඩ ගන්නවා.
බැඳුම්කර වංචාවෙහි බර අඩු වැඩි තරම
* 2015-02-27 සිද්ධ වුණ මහ බැංකු බැඳුම්කර වංචාව වසරකට විතර පස්සේ එළියට එනවා.
එයාර් බස් ගනුදෙනුව, හෙල්පින් හම්බන්තොට අරමුදල් ගසාකෑම, මිග් යානා ගනුදෙනුව තියා වර්තමාන ගල් අඟුරු වංචාව එක්ක ගත්තත් ඔය මහ බැංකු බැඳුම්කර වංචාව හරහා භාණ්ඩාගාරයට වුන හානිය අඩුයි.
එතන දි වුණේ මහ බැංකු බැඳුම්කර සම්බන්ධයෙන් මහ බැංකු අධිපති හා මුදල් ඇමතිවරයා විසින් රැකිය යුතු රහස්‍යභාවය පුද්ගලික බැඳුම්කර ගනුදෙනුකරුවකු ( අර්ජුන් ඇලෝෂියස් ) අතට පත් වීමෙන් අනතුරුව ඒ හරහා ඔහු අයුතු ලාභයක් ලබා ගැනීමයි.
සරලව කියනවනං බැඳුම්කර නිකුතුව බිලියන 12 ක් වුණ ද, ඒ බිලියන 12ම රජයට අහිමි වීමක් වුණේ නෑ. රජයට අහිමි වූයේ ගැනුම් මිල හා විකුණුම් මිල අතර වූ වෙනස ය. නමුත් මේ වංචාව සමාජගත වන්නේ "යහපාලන ආණ්ඩුව මහ දවල් මහ බැංකුව කොල්ල කෑවා !" වැනි ග්‍රාම්‍ය අර්ථයකිනි.
මහ බැංකු බැඳුම්කර තියා උසාවියකට ඇවිදිං ඇප බැඳුම්කරයක් කියන්නේ මොකක්ද කියලවත් නොදැන, රු.100 000/- ශරීර ඇපයක් අස්සං කරලා, කසිප්පු විකුණලා අහු වුණ අල්ලපු වත්තේ ඉන්න උක්කුං මල්ලියි, ගුණේ අයියයි බේරගෙන, වීරයෝ වගේ ගමට එක්කං ගිහිං, අන්තිමේ අරුං ගමෙං පැන්නාම අර ඇපේ ගෙවා ගන්ඩ බැරුව හිරේ යන අපේ අප්පුහාමිලා බැඳුම්කර වංචාව තේරුං ගත්ත හැටි අමුතුවෙං කියන්ඩ ඕන් නෑ නේ?
* රජයේ විගනකාධිපතිවරයා පවා බැඳුම්කර ගනුදෙනුවේදී අක්‍රමිකතාවයක් වී නොමැති බවට විගණන වාර්තා ඉදිරිපත් කර තිබුණත්, ඉතාම පළපුරුදු ගණකාධිකාරිවරයෙක් (මට එතුමාගේ නම මතක නෑ.) කරන ලද එළිදරව්වක් මත එෆ්.සී.අයි.ඩී.ය සහ රහස් පොලිසිය එක්ව කරන ලද විමර්ශනයකින් එකී අක්‍රමිකතාවය අධිකරණයේ දී තහවරු කිරීමෙන් පසු, පසු කාලයකදී අර්ජුන් ඇලෝසියස්ට සිර දඬුවම් නියම වෙනවා. අර්ජුන් මහේන්ද්‍රන් රටින් පනිනවා.
රටෙහි ප්‍රධාන ම පරිපාලන නිලධාරියා බන්ධනාගාර ගත කිරීම
* රාජපක්ෂ සමයේ සිදු වුනයි කියන සිල් රෙදි වංචාවකට අදාළව හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග අතඩංගුවට පත් වී, 2017- 09-07 කොලඹ මහාධිකරණය විසින් වසර 03 ක සිර දඬුවම් නියම වෙනවා. රටේ ප්‍රධානම පරිපාලන නිලධාරියාව බන්ධනාගාර ගත කිරීම හරහා පරිපාලන හා විධායක ශ්‍රේණියේ නිලධාරින් අතර කලකිරීමක් ඇති වන අතර, තමාගේ ද අමාත්‍යංශ ලේකම්වරයකු වූ ලලිත් වීරතුංග සිරගත කිරීම නිසා ජනාධිපති සිරිසේන හා අගමැති අතර විරසකය තවත් වැඩි වෙනවා.
මෑත ඉතිහාසයේ කළ තිරිසන් ම පාවා දීම
*කෝම හරි මේ හරහා එන අපවාදයත් එක්ක ජනාධිපති සිරිසේන තමන්ගේ හීන මානය වසා ගැනීමට මේ සියලුම තත්ත්වයන් ප්‍රයෝජනයට ගනිමින්, යහපාලන ආණ්ඩුව පිහිටුවීමට දර දිය ඇද්ද අපි හැමෝම අන්දමන්ද කරමින්, මෑත ඉතිහාසයේ කළ තිරිසන් ම පාවා දීම කරමින්, සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් උල්ලංඝනය කරමින්, නීත්‍යානුකූලව පිහිටුවා ගත් පාර්ලිමේන්තුව 2018-11-09 දින හිටි පැයට විසුරුවා හරිනවා විතරක් නෙවෙයි, මැදමූලනට පලවා හැරි ඒකාධිපති මහින්ද රාජපක්ෂට අගමැතිකම පූජා කරනවා. ඊට පස්සේ ඔය වීරවංශලා, ගම්මන්පිලලා වගේ අපතයින්ගෙන් සමන්විත දින 60 ක කැබිනට් මඩලේකුත් පිහිටුවනවා.
* මේ වෙලාවේ අගමැති රනිල් වික්‍රමසිංහ සහ කතානායක කරූ ජයසූරිය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීමේ ඓතිහාසික භූමිකාවක් රඟ පානවා. ජනාධිපතිවරයා ගේ තර්ජන ගර්ජන නොතකා අගමැතිවරයා අරලිය ගහ මන්දිරයේම රැඳී ඉන්නවා. කතානායකවරයා මහින්දට ගරු අගමැති නොකියා, ගරු කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී කියලා අමතනවා.
* ජනාධිපති සිරිසේන ගේ අලුගුත්තේරු වැඩෙත් එක්ක රට අරාජික වෙනවා. කොටස් වෙළඳපළ බලාන ඉද්දී කඩා වැටෙනවා.
* නීති විරෝධීව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් හෙණ තොගයක් යනවා.
මෑත ඉතිහාසයේ ප්‍රථම වතාවට ඒ සියලු පෙත්සම් එක වර විභාග කිරීම සඳහා 17 දෙනකුගෙන් (මතක විදියට) සමන්විත පූර්ණ විනිසුරු මඬුල්ලක් පෙත්සම් විභාගය අරඹනවා.
* හිටපු අග විනිසුරු සරත් එන්.සිල්වා, මහාචාර්‍ය ජී.එල්.පීරිස් යනාදි වියතුන් ප්‍රමුඛ රාජපක්ෂ හිතවාදී නීතීඥ පිරිසක් සහ එවකට නීතිපති ජයන්ත ජයසූරිය ඇතුළු රජයේ මාධ්‍ය නඩයම ජනාධිපති සිරිසේන වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී ඉන්නවා.
* ජනාධිපති සිරිසේන්ගේ ක්‍රියාව සම්පූර්ණයෙන් ම ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් කියලා, ව්‍යවස්ථාවේ වගන්ති එකිං එක උපුටා දක්වමිං අපිටත් පත නීතිමය විග්‍රහා කරන්ඩ සිද්ධ වෙනවා.
"උඹ රටේ නීතිපතිටයි, හිටපු අග විනිසුරුටයි වඩා නීතිය දන්න පොරක් ද?" කියලා ඔය මාතලං ලා ඇතුළු පිරිසක් අපිට් කෝචොක් කළාත් මතකයි.
සිරිසේන ජනපති සහ මහින්ද අගමැති බලු වීම
*කෝම හරි අපි ලියපු දේ කොපි පේස්ට් කලා වගේ, පූර්ණ විනිසුරු මඬුල්ල ඒකමතික සහ ඓතිහාසික තීන්දුවක් ලබා දෙමින් සිරිසේනගේ ක්‍රියාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ට සම්පූර්ණයෙන් පටහැනි බවට තීන්දු කරනවා.
* මේ හරහා ජනාධිපති සිරිසේන පමණක් නොව, ඔහුගේ කීමට අගමැතිකම භාර ගත්ත මහින්ද රාජපක්ෂත් කුක්කංගේ ගාණට වැටෙනවා.
* කෙසේ වෙතත් කැබිනට් මණ්ඩලය ඇතුළතින් පිල් බෙදීම් කීපයක් වෙනවා. සිරිසේන හිතවාදී, රනිල් හිතවාදී විදියට විතරක් නොව යූ.ඇන්.පී.ය ද, රනිල්/ සජිත් විදියට අප්‍රසිද්ධියේ බෙදෙන්ඩ ගන්නවා.
* මේ කුලල් කා ගැනීම් අතරේ රාජපක්ෂලා ගේ යටි බිම්ගත බල දේශපාලනය, පන්සල් දේශපාලනය ඇරුණාම විද්වත් වෘත්තිකයින් ඩැහැ ගැනීම දක්වා ඉහළට විතැන් වෙනවා.
* ඉහළ පෙළේ රාජ්‍ය වෘත්තිකයින් හා ව්‍යාපාරිකයින් ඩැහැ ගැනීම අරමුණු කර ගෙන, ඉහළ පෙළේ හෝටල් බුක් කර ගනිමින් හා කෝටි ගනන් වියදම් කරමින් "වියත්මග" රැස්වීම් හා රාත්‍රී ප්‍රිය සම්භාෂණ දිවයින පුරා ක්‍රියාත්මක වන අතර මේවාගේ මුලසුන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් හොබවනවා.
* රාජපක්ෂලා හැමදාම උත්කර්ෂයට පත් කළ යුද උන්මාදය හා රණවිරු ගාය පයිසෙකට මායිම් නොකරපු යහපාලන ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය නිසා වරප්‍රසාද අහිමි වූ ආරක්ෂක ප්‍රධානීන්, ඉහළ රාජ්‍ය නිලධරින් සහ ව්‍යාපාරිකයින් වියත්මඟට නිල/ නොනිල විදියට දක්වපු අනුග්‍රහය නිසා ඒක නැගලා ම ගියත්, එළඹෙන ජනාධිපතිවරණයේ දී, තමන්ගේ අපේක්ෂකයා කවුරු විය යුතුද යන දෙගිඩියාව ඔවුන්ට වද දුන්නා.
දකුණෙහි ඡන්ද දිනීමේ මග
ඔවුන්ගේ එකම නායකයා (සංකේතීය පියා) මහින්ද රාජපක්ෂ වුව ද, 19 වන ආ.ක්‍රම.සංශෝධනය හේතුවෙන් තෙවනි වරට ඔහුට අපේක්ෂකත්වය ලබා දීමට ව්‍යවස්ථාපිත බාධාවක් තිබුණා.
නාමල් රාජපක්ෂ තාම පොඩි එකා.
බැසිල් ගැන... ඔහුගේ දරදඬු සහ වෙනත් ගතිගුණ නිසා විශ්වාසයක් නෑ.!
ගෝඨාභයට මිලිටරි පාලනය ගැන අත්දැකීම් තිබ්බාට, රටක් පාලනය කිරීමට තරං දේශපාලන අත්දැකීම් නෑ, ද්විත්ව පුරවැසියෙකු හැටියට ජාතකයේ ප්‍රශ්නෙකුත් තියෙනවා. අනෙක් අතට ගෝඨාභය ඉස්සරාට දැම්මොත්, උතුරු නැගෙනහිර ඡන්ද ගිලිහෙනවා. උතුරු, නැගෙනහිර ඡන්ද අමතක කරලා දකුණේ බහුතර සිංහල බෞද්ධ පදනම මත විශ්වාසය තියලා , දකූණේ ඡන්ද ඉහළ ප්‍රතිශතයකින් දිනා ගැනීමට නම් දකුණේ ජනතාවට ප්‍රබල ආවේශනයක්/උත්තේජනයක්/ආවේගයක් දිය යුතු වෙනවා. අණෙක් අතට ගෝඨාභය රාජපක්ෂට දේශපාලන සුජාතභාවයක් දිය යුතු වෙනවා..
විශේෂයෙන් නැගෙනහිරින් හා උතුරේ මන්නාරමෙන් අහිමි වෙන දරිද්‍රතාවයේ පත්ලටම වැටුණු, එක මනුස්සයකුට වෙනස් කළ හැක්කේ එක ඡන්දයක් වුනාට, දහස් ගාණකට රස්සා දෙන මීගමුවේ , කතෝලික ව්‍යාපාරිකයෙකුට ඡන්ද සිය දාස් ගානක් වෙනස් කළ හැකි බව බොහොමයක් දේශපාලනඥයින් තේරුම් නොගත්තාට, හමුදා හා පොලිස් බුද්ධි අංශ එක්ක අවුරුදු දහයක් විතර වැඩ කරපු ගෝඨාභය තේරුම් ගන්නවා.
රාජපක්ෂ සනුහරයේ ආවතේවකරුවෝ
* හීන මානයෙන් පෙළෙන ජනාධිපති සිරිසේන කෙවිට අතට අරං හතර අතේ වනන ගමං පාර්ලිමේන්තුව එක්ක ගේම ඉල්ලනවා. රටේ සන්නද්ධ හමුදා ප්‍රධානියා කියන එක හිතට ම අරං, ආරක්ෂක කවුන්සලයේ රැස්වීම්වලින් අගමැති කපා අරිනවා. යහපාලන ආණ්ඩුව පත් වුනාට, හමුදාවේ හා පොලිසියේ ඉහළම තැන් තවමත් දරන්නේ, රාජපක්ෂ යුගයේ ඔවුන් විසින් පත් කළ ඔවුන්ගේ ම ආවතේවකරුවන්.
දින හැටේ හොර මංගල්ලයත් එක්ක සිරිසේන ඔවුන් තමන් ගේ අන්තේවාසිකයින් කර ගන්නවා.
* පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් වුණ අලකළංචිය හරහා පැන නැඟුනු ආර්ථික අර්බුදය යාන්තං කළමනාකරණය කරගෙන, යහපාලන ආණ්ඩුවේ, මංගලලා, හර්ෂලා, චම්පිකලා එකතු කර ගෙන, මාස දෙකක් ඇතුළත රනිල් රට යථා තත්වයට ගේනවා.
නිසල ජලයේ ඉතාම ගැඹුරෙන් කැලඹිලි සහිත දියවැල්
"අපේ ශ්‍රීමත් ජනාධිපතිතුමා ගේ ආශිර්වාදිත එකම පුත්‍රයා මමයි" කිය කියා පුතාණෝ, ඒ නිවෙස්ලාභීන් ගෙ ම මිල මහන්සියෙන් හදපු ගම්මානවල තමන්ගේ පට්ටන්තරේ කොට කොටා රට වටේ යනවා.
*මතු පිටිං නිසල ජලයේ ඉතාම ගැඹුරෙන් කැලඹිලි සහිත දියවැල් එහෙ මෙහේ සැරි සරනවා.
* ව්‍යවස්ථාපිත උගුලකට හසු කොට, රටේ පාලන බලය නැවත ලබා ගැනීමට දත කෑව රාජපක්ෂලා ගේ දෙවනි මෙහෙයුම ජනාධිපති සිරිසේන ගොනාට ඇන්දවීම හා, ඔහුගේ උද්දච්චකම හරහා ආරක්ෂක කවුන්සිලයෙන් අගමැති රනිල් නෙරපා හැරීම හරහා ක්‍රියාත්මක වෙනවා.
රාජපක්ෂ සනුහරය ආගමික සංස්ථාව කුලප්පු කිරීම
* ගණිකා වෘත්තිය නීති ගත කිරීමට උත්සහා කිරීම, සමලිංගික සබඳතා කෙරෙහි ඇති දැඩි නීතිමය බාධාවන් ඉවත් කිරීමට, ප්‍රසිද්ධ ආගමික ස්ථානවල ආදායම් විගණනයට ලක් කිරීමට උත්සහ කිරීම යනාදි රජයේ ඇතැම් සාධනීය ක්‍රියා මාර්ග හරහා ආගමික සංස්ථාව කුලප්පු කිරීම රාජපක්ෂවාදීන් දිගින් දිගටම කර ගෙන යනවා සහ ඒ සඳහා සිරිසේනගේ ආශිර්වාදයත් නොඅඩුව ලැබෙනවා. මේ සියල්ල හරහා යහපාලන රජයේ පැවැත්ම අර්බුධයට යනවා.
* අලුත් අවුරුදු සැණකෙළි සමය අවසන් වන්නටත් පෙර මුලු රටම භීතියට හා තැති ගැන්වීමකට ලක් කරමින් 2019 අප්‍රේල් 21 වන දින පාස්කු ප්‍රහාර මාලාව දියත් වෙනවා.
ජාතියේ මහා ගැලවුම්කරු නියත විවරණ ලැබීම
* සති දෙකක් යාමටත් පෙර ඝාතකයින් සියලු දෙනා ම පාහේ හමුදාව සමග ඇති කර ගත් මරාගෙන මැරෙන ප්‍රහාර මාලාවකින් අනතුරුව ඝාතනයට ලක් වෙනවා.
* නමුත් මේත් එක්ක දැවැන්ත මුස්ලිම් විරෝධයක් රට තුළ ගොඩ නැගෙනවා. රටේ ආරක්ෂාව තර්ජනේ කියන භීතිකාව දියත් වෙනවා. යුද උන්මාදය නැවතත් රට වෙළා ගන්නවා. යුද හමුදා සෙබළා නැවතත් රණ විරුවකුගේ මට්ටමට ඔසවා තැබෙනවා. සිංහල බෞද්ධ මහා ගැලවුම්කාරයෙක් වෙනුවෙන් නැවතත් දොරගුළු විවර වෙනවා.
* ජාතියේ මහා ගැලවුම්කාරයා විදියට ගෝඨාභය රාජපක්ෂට නියත විවරණ ලැබෙනවා.
*2019 ජනාධිපතිවරණයෙන් එතුමා රටේ ඊ ළඟ ජනාධිපතිවරයා විදියට ද, මහ මැතිවරණයෙන් පස්සේ අර මැදමූලනට පලවා හළ අප්පච්චී අගමැතිවරයා විදියට ද දිවුරුම් දීමෙන් අනතුරුව "පාස්කු ප්‍රහාර නාටක මාලාවේ පළවෙනි අඩය හෙවත් එක ගලකින් කුරුල්ලන් තුං හතර දෙනෙකු දඩයම් කිරීම " නම් වන මහාවංසයේ තවත් පරිච්ඡ්දයක් නිමා කරමින් වේදිකාවේ තිරය වැසෙනවා.
(ඉතිරි පරිච්ඡේදය වෙලාවක් කලාවක් ඇති වෙලාවට)
Wasantha Siri Watagoda
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
