Language Switcher

V2025

රටබීම හල් විවෘත කිරීමේ තීන්දුවට සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධ නැහැ - විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්

වයින් ස්ටෝර්ස් විවෘත කිරීමේ තීරණය සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධ වීමකින් තොරව ගෙන ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්  පවසයි.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ  රට වසා අනිකුත් ව්‍යාපාර වසා තිබියදී මත්පැන් අලෙවි සැල් පමණක් විවෘත කිරීමට ඉඩ දීමට තරම් පදනමක් හෝ තර්කයක් සෞඛ්‍ය අමාත්‍යාංශය නොමැති බවයි.

මෙවැනි ත්ත්වයන් ඉදිරියේදී සිදුවීමට ඉඩ තබන්නට එපා යැයිද ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

ඔහු මේ බව පැවසුවේ අද(18) පැවති මාධ්‍ය හමුවකදීය.

වැඩේ අවුල් : විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් නිවේදනයක් !

මේ අතර විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක ප්‍රශ්න කර ඇත්තේ , ජනතා ඒකරාශී වීමට ඉඩදීම මගින් කොරෝනා පාලනය සඳහා අප යන්නට සැරසෙන්නේ කොයිබටද? යනුවෙනි .

අදාළ ශීර්ෂයෙන් යුතු නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

අති භයානක කොරෝනා ඩෙල්ටා ප්‍රභේදයේ පාලනය සඳහා රජය විසින් පනවා ඇති සංචරණ සීමා දැඩි ලෙස කඩ කරමින් ජනතාව මද්‍යසාර ලබා ගැනීම සඳහා නොඉවසිල්ලෙන් පෝලිම්වල සිටින අයුරු අපි ඊයේ අපූරුවට දැක්කෙමු.

මත්පැන් පරිහරණය කිරීමෙන් ඇතිවන භයානක ප්‍රතිඵල අප විසින් යලිත් අවධාරණය කරන අතර රජයේ භාණ්ඩාගාරයට අවශ්‍ය මුදල් උපයා ගැනීමට රජයට ඇති අවශ්‍යතාව මෙන්ම බලයලත් මද්‍යසාර වෙළදුන්ගේ හා පාරිභෝගික අයිතිවාසිකම් නොසලකා සිටිය යුතු බව අපගේ අදහස නොවේ.

කෙසේ වුවද වෘත්තියමය සංවිධානයක් ලෙස රෝග පාලනයේ යම් ප්‍රගතියක් දක්නට හැකි මෙම අවස්ථාවේදී මෙම ජනයා එක්‍ රැස්වීමේ ක්‍රියාවලිය නිසා රෝග පාලනය සඳහා ඇති විය හැකි අනර්ථය රජයට පෙන්වා දීම අප දැන් සිටින මෙම සංවේදී අවස්ථාවේදී අපගේ යුතුකමක් ලෙස අපි දකිමු.

මද්‍යසාර ලබා ගැනීමට පුද්ගලයන් එකිනෙකාට ඉතා ලං ලංව ගැටීම තවත් රෝගීන් පොකූරක් ඇති කිරීමට නැවත ප්‍රධාන හේතුවක් විය හැක. මෙම තත්වය අප විසින් මින් පෙර ද අත්දුටු “පැණි” ලබා ගැනීම සඳහා ජනතාව එකිනෙකා පරයමින් සිටි අයුරු සිහිපත් කරවයි.

අප මෙහිදී රජයට අවධාරණය කරන්නේ මෙවැනි මහජන ගැවසීම් වැඩි වන තත්ත්වයක් යටතේ රටේ වැඩි ජනතාවකට ඇති විය හැකි ව්‍යසනය වළක්වා පාරිභෝගිකයන් ට ඔවුන්ගේ අවශ්‍යතා ලබා දීම ට නිසි වැඩ පිළිවෙලක් දියත් කරන ලෙසයි.

අවසාන වශයෙන් අපගේ ආයාචනය වන්නේ ජනතාව පොදුවේ ඒකරාශී වීම මෙම ඉතා අනතුරුදායක අවස්ථාවේදී හැකි තරම් අවම කිරීමට පියවර නොගැනීම මගින් දැඩි ජනතා කැපවීම මත අප දැනට ලබා ඇති රෝග පාලනය අප අතින් ගිලිහී යාමට අප කිසි සේත් ඉඩ නොදිය යුතු බවයි.

රටබීම online විකුණන ක්‍රමවේදයක් ඕන - සුරාබදු

ඇඳිරි නීතිය හෝ සංචාරණ සීමා පනවා ඇති කාලසීමාව තුළ මත්පැන් විකිණීම සඳහා විකල්ප ක්‍රමවේදයක් අවශ්‍ය බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.ජේ. ගුණසිරි සඳහන් කරන්නේ මත්පැන් මාර්ගගත ක්‍රමය ඔස්සේ හෝ අලෙවි කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම වඩාත් සුදුසු වන බවයි.

රට වසා දමා ඇති සමයේ මත්පැන් අලෙවි කිරීමට නොහැකි වීමෙන් රජයට මසකට රුපියල් කෝටි 1500 ක් පමණ ආදායමක් අහිමි වන බව ද සුරාබදු කොමසාරිස් ජනරාල් පවසා ඇත.

එමෙන්ම රට වසා දමා ඇති සංවේදී සාමාන්‍ය මත්පැන් බෝතලයක් රුපියල් හාර දහසක් තරම් මිල ඉහළ දමා අලෙවි කරමින් ඇති බවත් ඔහු කියා සිටී.