Language Switcher

V2025

බලශක්ති ස්වෛරීභාවය පාවාදීලා : දේශද්‍රෝහී ප්‍රයත්නය පරාජය කරමු !

රටේ බලශක්ති ස්වෛරීභාවය එක්සත් ජනපදයට පාවාදීමේ දේශද්‍රෝහී ප්‍රයත්නය පරාජය කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

කෙරවලපිටියේ පැවති රජයට අයත් යුගදනවි බලාගාරය හා ලංකාවේ ගෑස් සැපයුම අමෙරිකානු සමාගමකට පැවරීම සම්බන්ධව අද ( 23) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් රණවක මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

ඒ අනුව යුගදනවි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු 2006 දී ආරම්භ කොට 2010 දී මෙගාවොට් 300 ක් පමණ වන විදුලි සැපයුමක් ප්‍රධාන විදුලි බල ජාලයට ලබා දුන් අතර, එතැන් සිට අද දක්වාම මේ මෙගාවොට් තුන්සීයකින් යුතු මේ බලාගාරයේ සැපයුම ලංකාවේ අඛණ්ඩ විදුලිබල සැපයුමට අතිශය වැදගත් වේ.

ආරම්භයේදී මේ බලාගාරය තැනුවේ, ද්‍රව වායු වලින් විදුලිය නිපදවීම සඳහාය. හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ දැනට අවුරුදු 10 ක කාලයක් මේ බලාගාරය ක්‍රියාත්මක වී ඇති නමුත් තවමත් ඒ ද්‍රව වායු අවස්ථාව උදා වී නැත.

“මේ බලාගාරයට අල්ලපු ඉඩමේ තවත් මීට සමාන්තර බලාගාරයක් ඇති කර ගැනීම සඳහා යෝජනාවක් තිබුණා. තවත් මෙගාවොට් 300 ක බලාගාරයක්. ඉතින් අවුරුදු ගාණක්, දශක ගාණක් ගෙවුනත්, ඒ සම්බන්ධයෙන් වෙච්ච පියවර ගැනීමක් සිද්ධ වෙලා නෑ. මේ වසරේ මුල් භාගයේදී තමයි බලාගාරයක් තනනවාය කියලා ඒ සඳහා මුල්ගල තැබුවේ එහි නම ස්වභාදනවි නමින් වෙනවා.”

රහසිගත ගිවිසුමක් !

යුගදනවි බලාගාරයේ මහා භාණ්ඩාගාරයට අයත් කොටස් වලින් 40% ක් රහසිගත ගිවිසුමක් මගින් මුදල් අමාත්‍යාංශය විසින් එක්සත් ජනපද සමාගමකට විකුණා ඇති බව හෙළිදරවි වී තිබේ. ඒ සඳහා ඩොලර් මිලියන 250 ක මුදලක් මුදල් අමාත්‍යාංශයට ලැබෙන බව ප්‍රකාශ වී තිබේ.

මේ බලාගාරය තැනුවේ ලංකාවේ තිබෙන ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් ආයතනයටත් මෙහි කොටස් හිමි ඊ. පී. එෆ්, ඊ. ටී. එෆ්. බැංකු මුදල් අමාත්‍යාංශය යනාදී විවිධ ආයතන ගණනාවක් එකතු වීමෙනි. මින් කොටස් වලින් 40% ක් මේ ආකාරයෙන් විකුණා දමා තිබේ. ඩොලර් මිලියන 250 කට මෙම ගනුදෙනුව සිදුව ඇති බව ද රණවක මන්ත්‍රීවරයා හෙළිදරව් කළේය.

“ දැන් මේ බලාගාර ස්භාවයක් තියෙනවා. අපූරු ස්වභාවයක්. ඒක තමයි දැනට මේ බලාගාරය ක්‍රියාත්මක වෙලා අවුරුදු එකොළහයි. අපි දන්නවා බලාගාරයක තියෙනවා එයට ගෙවීම් කටයුතු කරන ලංකා විදුලිබල මණ්ඩලය කොටස් දෙකකින් ගෙවීම් කළ යුතුයි. එකක් තමයි ධාරිතා ගාස්තු. ඒක විදුලි බලය ගත්තත්, නොගත්තත් ගෙවිය යුතු ගාස්තුවක්. ඊළඟට තියෙනවා, නඩත්තු හා ඒ කියන්නේ මේක කළමනාකරණය කිරීමේ ගාස්තු. එතකොට විදුලි ඒ සඳහා ගෙවන්න ඕනේ. ඒ වගේම ඇතැම් කොටස් තියෙනවා මේකේ. නඩත්තු ගාස්තුවල. ඒකත් විදුලිබල මණ්ඩලය දැරිය යුතු වෙනවා. සහ අදාළ සමාගමේ ලාභාංශයත්. එහි තමා තියෙන්නේ. එතකොට මේ සමාගමට මේ ඉදිරි වසර දොළහ තමයි මේ බලාගාරයේ වැදගත් වසර දොළහක්. ඒ ඇයි? මුලදී මේ බලාගාරයේ මේ ධාරිතා ගාස්තු, එහෙම නැත්නම් එක අඩුවෙන් තිබුණේ. එන්න එන්න එක එහෙම නැත්නම් ධාරිතා ගාස්තුව වැඩි වෙනවා. අවසාන වසර දහය දොළහේදී අතිශය විශාල ගාණක්. රුපියල් බිලියන වලිනුත් බිලියන දොළහක් පමණ වර්ෂයකට. ඉතින් මේ මේක ලොකු ප්‍රශ්නයක් හැටියට මුලදී තිබුණා. මේක බලාගාරයට ගිවිසුම් අත්සන් කරද්දිම මහින්ද රාජපක්ෂ යුගයේදී දැන් මෙන්න මේ විශාල ගෙවීම් තියෙන්නේ අවසාන භාගයට. ඒ අවසාන බාගෙදී තමයි මේ විදේශ සමාගම එන්නේ.”

ඩොලර් මිලියන 250ක් ගත්තට 320ක් ගෙවන්න වෙනවා !

“විදේශ ණය සම්පූර්ණයෙන්ම ගෙවී අවසන් වෙනවා ලබන වසරේදී. දැනට ගෙවන්න තියෙන්නේ ඉතා සුළු මුදලක් ඩොලර් මිලියන 14 ක් වගේ. ලබන අවුරුද්දේ මාර්තු වෙනකොට සම්පූර්ණ විදේශ ගෙවීම් කටයුතු අවසන් වෙලා විදේශ ණය වලින් නිදහස් වෙනවා. ඒ අනුව මේ බලාගාරයේ ප්‍රශ්නයක් තිබුනා නම් හම්බන්තොට වරාය වගේ විදේශ ණය ගෙවන්න වෙනවා රටෙන් පිටට ඩොලර් ගලා යනවා කියලා ප්‍රශ්නයක් තිබුනා නම් ඒ ප්‍රශ්නය මේ ඉදිරි මාස කිහිපයේදී විසඳී යනවා. එහෙනම් එහෙම ප්‍රශ්නයක් තිබිලා නෑ. ඒක පළවෙනි එක. දෙවෙනි එක තමයි. මේ සමාගමට අපි විදුලිය ගත්තත්, නොගත්තත් මේ ඉදිරි අවුරුදු දොළහ ඇතුළත මේ ඩොලර් මිලියන 250 ට අපිට ගෙවන්න වෙනවා ඩොලර් මිලියන 320 ක්. සෘජුව, ඊට අමතරව, අර නඩත්තු ගාස්තු හා කළමනාකරණ ගාස්තු හැටියට තවත් විශාල මුදලක් ගෙවන්න නියමිතයි. ඒ ගැන පැහැදිලි කිරීමක් රජය කරන්න කොපමණ මුදලක් රජය ගෙවන්න යනවද කියලා මේ ඉදිරි අවුරුදු 12 තුළ ඩොලර් පිටට යවනවා. ඒ කියන්නේ ඩොලර් ගෙවිම නතර කරලා තිබිච්ච බලාගාරයක්, නැවත පිටරටට ඩොලර් ගෙවීම ආරම්භ කරන ස්වභාවයක් තියෙන්නේ. අපට ලැබෙන මුදලට වඩා වැඩි මුදලක් මේ හරහා පිටරටට ඇදී යනවා. මොන තරම් මෝඩ තීන්දුවක්ද ඒ පැත්තෙන් ගත්තහම.”

මින් තවදුරටත් ඔබ්බට ගොස් මෙහි නිවුන් සහෝදරයා හැටියට කලින් සැලසුම් කළ සොබාදනවි බලාගාරයේ ද කොටසෙන් 49% ක ප්‍රමාණයක් අදාළ සමාගමට ලබාදෙන බව ද වාර්තා වී තිබේ. ඒ සඳහා ඩොලර් මිලියන 35 ක් ලබා ගැනීමට නියමිතය. ලබාගන්න නියමිතය.

මේක ඇස්බැන්දුමක් !

“ඇත්තටම මේ බලාගාරයට අරමුදල් සපයන්න පොරොන්දු වෙලා ඉන්නේ ආසියානු සංවර්ධන බැංකුව. නමුත් අද මේ ආණ්ඩුව පත් කරලා තියෙන මේ මූල්‍ය අගාධය නිසා රට ණය බරින් පහළට වට්ටලා තියෙන මේ අවස්ථාව නිසා ආසියානු සංවර්ධන බැංකුවේ ණය මුදල් ලබන වසරේ ලැබෙනවයි කියනවා. අපි දන්නෑ. ඊට කලින් රට බංකොලොත් භාවයට පත් වුනොත් ඒ ණය මුදල නොලැබී යෑමේ ඉඩකඩකුත් තියෙනවා. ලැබුණත් ඉතාම අධික පොලියට තමයි ඒ ණය මුදල මේ බංකොලොත් රටට ලබා දෙන්න යන්නේ. කෙසේ වුනත් මේ හරහා අර දෙවෙනියට එන බලාගාරයෙනුත් 49% ක් අත්පත් කර ගැනීමේ හැකියාව මේ විදේශීය සමාගමට ලැබෙනවා. ඉනුත් ඔබ්බට ගිහිල්ලා ආණ්ඩුව කියනවා වසර 5 ක් සඳහා ගෑස් සැපයුම මේ සඳහා වෙන ස්වභාවික ගෑස් සැපයුම මේ අදාළ සමාගමට පවරනවා කියලා. මේක තනිකර ඇස් බැන්දුමක්.

මේ ගෑස් සැපයුම කියන එක ලංකාවට තෙල් ගෙන්නනවා වගේ ලංකාවට ගල් අඟුරු ගෙන්නනවා වගේ මේ වසරකට මාස හයකට එහෙම නැත්නම් වසර පහකට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ගෑස් සැපයුම කිරීම සඳහා අනිවාර්යයෙන්ම එක්කෝ වරායේ ගෑස් සැපයුම් ස්ථානයක්, එහෙම නැත්නම් ගෑස් එකක් පිහිටුවිය යුතුයි. එහෙමත් නැත්නම් පාවෙන ගෑස් පද්ධතියක් ගෙන ආ යුතුයි. අපි කියනවා එෆ්. එස්. ආර්. යූ. කියලා. මේ සඳහා අතිවිශාල මූල ධනයක් වැය වෙනවා. මේ මූල ධනය වැය කරලා ගේන මේ, ගෑස් සැපයුමෙන් කිසිසේත්ම අවුරුදු පහක් සෑහෙන්නේ නෑ. ඒ මූල ධනය පියවා ගන්න. ඒ අනුව මේක ඇස් බැන්දුමක්.”

ලංකාවේ ගෑස් සැපයුම අපගේ ජීවිත කාලය ඇතුලතම අමෙරිකානු සමාගමකට සින්නක්කරව විකුණා දැමීමක් !

මේ ගිවිසුම ලබා දුනහොත් ලංකාවේ ගෑස් සැපයුම අපගේ ජීවිත කාලය ඇතුලතම අමෙරිකානු සමාගමකට සින්නක්කරව විකුණා දැමීමක් , සිදුවනු ඇතැයි රණවක මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

මෙය සිදුකරන්නේ ලංකා විදුලිබල මණ්ඩලයත්, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවත් ගෑස් සැපයීම සඳහා පාවෙන ගෑස් සැපයුම් බලාගාරයක්, එෆ්. එස්. ආර්. ඕ. එකක් සඳහා ටෙන්ඩර් කැඳවලා තියෙන තත්ත්වය තුළ ය.එමෙන්ම ගෑස් සැපයීම සඳහා වන නළ පද්ධතිය ඉදිකිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමක් කර තිබෙන තත්ත්වය තුළ ය. ගෑස් සැපයුම්කාරයෙක් සඳහා ටෙන්ඩර් කැඳවීමක් කර තිබෙන තත්ත්වය තුළ ය.

දේශමාමකයෝ දැන් මොකෝ කියන්නේ ?

“ඒ සඳහා ගෑස් සපයන ඒ ආයතන යම් ප්‍රමාණයක තාක්ෂණික වශයෙන් තෝරාගෙන තියෙන පදනමක් තුළ ටෙන්ඩර් පටිපාටියක් ප්‍රසම්පාදන පටිපාටියක් තිබියදී විනිවිද නොපෙනෙන ඇමරිකන් පුරවැසියෙක් මුදල් අමාත්‍යවරයා හැටියට ඒ රටේ සමාගමක් එක්ක හොර ගිවිසුමකින් මේක ලබා දෙනවා මේ සමාගමට. මොකක්ද මේ රටේ ස්වෛරීත්වය? මොකෝ දැන් කියන්නේ දේශමාමකයෝ? මොකද එදා ඇමරිකාවට එරෙහිව පෙළපාලි ගිය අය දැන් කියන්නේ? රටේ ගෑස්, භාවිතය, ප්‍රධාන බලාගාර දෙකක් ඇතුළුව.”

ලංකා විදුලිබල මණ්ඩලයට අයත් කැළණිතිස්ස තුළ බලාගාර ගණනාවක් තිබේ. දැවිතෙල් වලින් දුවන එම බලාගාර බොහොමයක් ලාභදායී ලෙස ගෑස්වලින් ක්‍රියාකිරීමේ හැකියාවක් පවතින බව ද පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දුන්නේය. මේ ගිවිසුම් මගින් එම බලාගාරවල මෙගාවොට් 800 ක පමණ අයිති අදාළ අමෙරිකානු සමාගමට නතුවන බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා ,

“මතක තියාගන්න බලශක්ති, ස්වෛරීත්වය අපි අත්හැරියොත් ඒක තමයි මේ රටේ ස්වාධිනත්වය, ස්වෛරීත්වයේ අවසානය. මේ සමාගම් වැඩ කරලා තියෙන, ඉතාමත්ම සාපරාධී ආකාරයන් දිහා බැලුවම, ඇමරිකා එක්සත් ජනපදය ඉතිහාසයෙත්, ලෝකයේ අනෙක් රටවල් වල ඉතිහාසයෙත් අපේ රට, මේ ඇමරිකානු පුරවැසියන් විසින් උකස් කරලා තියෙනවා, විකුණලා තියෙනවා, හිටපු පුරවැසියයි, දැන් පුරවැසියයි කියන, මේ පුරවැසියෝ දෙන්නා විසින්ම ජනාධිපතිත්, මුදල් ඇමතිත් විකුණලා තියෙන බව ඉතාම වගකීමෙන් අපි ප්‍රකාශ කරනවා.”

එක්සත් ජනපදයේ විනිවිද භාවය කෝ ?

ඇමරිකා එක්සත් ජනපදය ලෝකය පුරාම ප්‍රකාශ කරන ඒ විනිවිදභාවය මේ ගනුදෙනුව තුළ දක්නට නොමැත. මේ සම්බන්ධයෙන් අනුගමනය කළ නිවැරදි ප්‍රසම්පාදන ක්‍රියාවලිය තිබෙන්නේ කොහිදැයි රණවක මන්ත්‍රීවරයා ප්‍රශ්න කරයි.

“කොහෙද තියෙන්නේ පාර්ලිමේන්තුව මේ පිළිබඳව දැනුවත් කිරීම අපේ ව්‍යවස්ථාවට විරුද්ධයි මේක. “

ව්‍යවස්ථාවේ 148 වෙනි වගන්තියෙන් මෙවැනි මූල්‍ය කටයුතු පිළිබඳ බලය පවරා තිබෙන්නේ අදාළ ඇමැතිවරයාට නොවේ. පාර්ලිමේන්තුවට ය. එමෙන්ම ව්‍යවස්ථාවේ 157 වෙනි වගන්තියේ මෙවැනි ගිවිසුමක් අත්සන් කරනවා නම් විදේශයක් සමග ඒ පිළිබඳ අනුමැතිය පාර්ලිමේන්තුවෙන් ගත යුතු බව සඳහන් වේ.

ව්‍යවස්ථාවට, ප්‍රසම්පාදන ක්‍රියාවලියට විරුද්ධ, කිසිම විනිවිදභාවයකින් තොරව සිදු කළ මේ ගනුදෙනුව එක්සත් ජනපදයේ ප්‍රකාශිත අරමුණු වලට සපුරා පටහැනිය. මේ ගිවිසුම තවමත් රහසිගත ය. මේ කරුණු පවා දැනගත්තේ අදාළ සමාගම විසින් නිකුත් කරන ලද නිවේදනය හරහා බවත්, මින් අප රටේ බලශක්ති ස්වෛරීභාවය අමෙරිකා එක්සත් ජනපදයට පාවාදිමක් සිදුවන බවත්, හිටපු අමාත්‍ය රණවක මහතා අවධාරණය කළේය.

“මේ දේශද්‍රෝහී ප්‍රයත්නය පරාජය කිරීම සඳහා විදුලිබල මණ්ඩලයේ සියලුම සේවකයින්ට මේ රටේ ඉන්න ඉංජිනේරු ප්‍රජාවට, ඒ වගේම මේ මුළු රටේම ඉන්න දේශමාමක සියලු දෙනාටම පෙළ ගැහෙන හැටියට අපි ආරාධනා කරනවා.”