Language Switcher

V2025

අනුරට ගහපු මඩේ අරගෙන ජවිපෙ CID යයි !

ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය ප්‍රවාර්ධනය කිරීම සඳහා සමාජ මාධ්‍ය ජාල වෙනුවෙන් රුපියල් කෝටි 5ක් වැය කර ඇති බවට පළ කරන ලද පුවත අසත්‍ය බවත් ඒ පිළිබඳව වහාම විමර්ශනයක් අරඹන ලෙස එම පක්ෂය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදුකර ඇත.

එම පක්ෂය වෙනුවෙන් නීතිඥ සුනිල් වටගල සහ ජවිපෙ මධ්‍යම කාරක සභික සුනිල් හඳුන්නෙත්ති ඊයේ  (19) පෙරවරුවේ මෙම පැමිණීල්ල සිදුකර ඇත .

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මෙසේ පැවසීය.

පුවත්පත් මණ්ඩලයේ සභාපතිත් හවුල් වෙලා – සුනිල් හඳුන්නෙත්ති

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (19) මේ පැමිණිල්ල ඉදිරිපත් කළේ, අපේ පක්‍ෂයේ නායකත්වය ප්‍රවර්ධනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කර ප්‍රචාරක ආයතනයක් ළවා දැන්වීම් සකස් කර සමාජ මාධ්‍යවල සහ යූ ටියුබ් චැනල්වල එම දැන්වීම් පළ කරනවා යැයි කියමින් මේ වනවිට ගෙනයන අසත්‍ය ප්‍රචාරයක් සම්බන්ධයෙනුයි. එම අසත්‍ය ප්‍රචාරය ගෙනයන්නේ මේ ආණ්ඩුවට සම්බන්ධ ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයාගේ මඩ බළකාය මගින්. විශේෂයෙන්ම පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයාගේ ෆේස්බුක් පිටුවේම මෙම කාරණාව ප්‍රචාරය කර තිබෙනවා. ඒ නිසා ඉතා පැහැදිළියි මෙය ආණ්ඩුවේ බංකොළොත්කම පෙන්වන තවත් එක අවස්ථාවක් කියලා.

Sunil Hhandunneththi655 768x432අපි දන්නවා අද බඩුමිල වැඩි වෙලා, ගොවියන්ට පොහොර ටික නැතිවෙලා, ගුරුවරු මහ පාරට වැටිලා, දරුවන්ගේ අධ්‍යාපනය නැතිවෙලා, අපේ රටේ සමස්ත ජනතාවම පීඩාවට පත්වෙලා ඉන්න මෙහොතක්. ආණ්ඩුව දුන් බොරු පොරොන්දු එකක්වත් අද ඉෂ්ට කරගන්න බැරිවෙලා තියෙනවා. මේ තත්වය නිසා ආණ්ඩුව අද ප්‍රතික්‍ෂේප වෙලා. ජනතාවට ආණ්ඩුව එපා වෙලා තියෙන නිසා එය තේරුම් ගත් බොහෝ පිරිස් අද ජනතා විමුක්ති පෙරමුණ වටා එකතු වෙමින් ඉන්නේ. විශේෂයෙන්ම සමාජමාධ්‍යවල සමාජ ක්‍රියාකාරිකයින්, යූ ටියුබ් චැනල්වල ක්‍රියාකාරිකයින්ට අපි මුදල් ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔවුන් අපි ගැන නිවැරදිව තේරුම් අරගෙන ඉන්නවා. ආණ්ඩුව හිතනවා ඇති, ආණ්ඩුවේ ප්‍රතිරූපය නංවන්න ඔවුන් රුපියල් කෝටි ගණන් වියදම් කරනවා වගේ අපිත් අපේ පක්‍ෂයේ ප්‍රතිරූපය නංවන්න වියදම් කරනවා ඇති කියලා. ඇත්තටම අපිට එහෙම අවශ්‍යතාවයක් නැහැ. අපි හිතනවා මේ මඩ ප්‍රහාරයන් එල්ල කරලා තියෙන්නේ අපිට නෙවෙයි. අද සමාජ මාධ්‍ය ජාලාවල ඇත්ත තේරුම් අරගෙන කටයුතු කරන අය ස්වේච්ඡාවෙන් මැදිහත් වී අනෙත් අයට කරුණු බෙදා හදා දෙනවා. ඒ වෙනුවෙන් ඔවුන් තමන්ගේ ධනය විතරක් නෙවෙයි තමන්ගේ ශ්‍රමය, හැකියාව දෙන්න සූදානම් වෙලා ඉන්නවා.

ආණ්ඩුවේ මඩ බලකාය මේ ප්‍රහාරය එල්ල කරන්නේ අපිට නෙවෙයි. ඇත්ත හැඟීම තියෙන මිනිස්සුන්ට. සවේච්චාවෙන් ඉදිරිපත් වූ මිනිස්සුන්ට. ආණ්ඩුවට පුරුදු ඇති ජනතාවගේ මුදල් මංකොල්ල කාලා රුපියල් කෝටි ගණන් වියදම් කරලා ප්‍රතිරූප පුම්බගන්න වියදම් කරලා. ඒ පුරුද්ද සමාජගත කරන්න තමයි මේ හදන්නේ. මහජනතාවගේ සල්ල විනාශ කර තමන්ගේ චරිත පුම්බගන්න ඒ ක්‍රමවේදය අනිත් අයටත් අදාලයි කියලා ඔවුන් හිතනවා ඇති.

මේ මඩ ප්‍රහාරය අපි හෙළා දකිනවා, තදින් ප්‍රතික්‍ෂේප කරනවා. මේ ප්‍රහාරය අපිට පමණක් එල්ල කළ ප්‍රහාරයක් විතරක් නෙවෙයි, සමාජ මාධ්‍ය හා යූ ටියුබ් නාලිකා ක්‍රියාකාරිකයින් ලෙසට ඔබටත් එල්ල කරපු ප්‍රහාරයක්. අපි විශ්වාස කරනවා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධව අපක්‍ෂපාතී පරීක්‍ෂණයක් සිදුකරයි කියලා. ඒ සඳහා අවශ්‍ය කරන සාක්‍ෂි අපි ඉදිරිපත් කර තිබෙනවා. ඒ වගේම අපි මේ රටේ පොදු ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා, ජනතාවට එපා වූ මේ පාලනය වෙනස් කරලා, ජනතාවට ලස්සන ජීවිතයක් දෙන්න පුළුවන්, ලස්සන රටක් හදන්න පුළුවන් වැඩපිළිවෙළක් වටා අපි එකතු වෙමු කියලා. ඒ සඳහා මෙවැනි පහත් ක්‍රියා හෙළා දකින්න මැදිහත් වෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා.

අනතුරුව අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ , නීතිඥ සුනිල් වටගල මෙසේ පැවසීය.

මහින්ද රාජපක්‍ෂ මහත්තයා පැමිණිලි දැම්මාම පැය කිහිපයක් ඇතුළත අදාල කෙනා අල්ලනවා – නීතිඥ සුනිල් වටගල

අද ජනතා විමුක්ති පෙරමුණ, සුනිල් හඳුන්නෙත්ති සහෝදරයාගේ නමින් පැමිණිල්ලක් ඉදිරිපත් කළා. දිගින් දිගටම සමාජ මාධ්‍ය ජාලාවල ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය ඉලක්ක කරමින් සංවිධානාත්මක කල්ලි විසින් මඩ ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. පදනම් විරහිත චෝදනා ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයට එල්ල කරමින් සිටිනවා.

watagala654 768x432මෙවැනිම පැමිණිලි රාශියක් අනුර දිසානායක සහෝදරයා, ටිල්වින් සිල්වා සහෝදරයා මගින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තාමේන්තුවට කරලා තියෙනවා. ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ජනතා විමුක්ති පෙරමුණ මේ වනවිටත් රුපියල් මිලියන ගණනින් ප්‍රචාරක ආයතන වෙත ප්‍රචාරක දැන්වීම් සකස් කිරීම සඳහා යොමුකර ඇති බවට ව්‍යාජ පුවතක් නිර්මාණය කර ඒ පුවත මගින් පටු, පෞද්ගලික දේශපාලන අභිලාෂ මුදුන් පමුණුවා ගැනීමට ඇතැම් පුද්ගලයෝ කටයුතු කර තිබෙනවා. මෙය සංවිධානාත්මක මඩ ප්‍රහාරයක් යැයි හිතෙන්නේ මේ අසත්‍ය පුවත පිටුපස පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයාත් සිටීමෙන්. පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා කොහොමද මෙවැනි ආකාරයේ ප්‍රවෘත්තියක් ෂෙයාර් කර තමනුත් එයට අදහස් දක්වා තිබෙන්නේ? පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා කියන්නේ රජයේ ආයතනයක සභාපතිවරයෙක්. ඔහු පත් කරන්නේ රටේ ජනාධිපතිවරයාගේ ආශිර්වාදය මත ජනමාධ්‍ය අමාත්‍යවරයා. ඒ පත් කරන සභාපතිවරයා තමන්ගේ ෆේස්බුක් ගිණුම මගින් මේ අසත්‍ය ප්‍රචාරයට සම්බන්ධ වෙනවා.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට අපි කියන්නේ අපි නිසි සාක්‍ෂි සහිතව මේ පැමිණිල්ල කරලා තියෙන්නේ. එක් කෙනෙක් පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා. පැමිණිල්ල ඉතා පහසු කර තිබෙනවා. සියලුම ඇමුණුම් සහිතව අපි බාරදී තියෙනවා. අපි විශ්වාස කරනවා, අගමැති මහින්ද රාජපක්‍ෂ මහත්තයා පැමිණිලි දැම්මාම පැය කිහිපයක් ඇතුළත අදාල කෙනා අල්ලනවා. එවැනි ආකාරයේ මැදිහත් වීමක් කරන්න මේ ආයතනයට හැකියාව තිබෙනවා. ඒ නිසා ඉතාම කඩිනමින් මේ පිළිබඳව විමර්ශනයක් කර ඇත්ත අපරාධකරුවන් හෙළිදරව් කරන්න කියලා තමයි අපි මේ වෙලාවේ ඉල්ලා සිටින්නේ.

( මූලාශ්‍රය lanka truth )