Language Switcher

V2025

පොහොර එවූ චීන සමාගමෙන් ලංකාවට තගක් : වානිජ අධිකරණයෙන් වාරණ නියෝගයක් !

චීන කාබනික පොහොර තොගය මෙරටට සපයන ක්වින්ඩාඕ සීවින්ග් බයෝටෙක් ගෘප් සමාගම අද (26) නිවේදනයක් නිකුත් කරමින් පොහොර තොගය නියමිත පරිදි බාරගැනීම වැළැක්වීම සඳහා ගැනුම්කරු විසින් කෘත්‍රිම බාධාවක් නිර්මාණය කළේ යැයි සැකකිරීමට හැකි සාධාරණ හේතු පවතින බව පවසයි.

එම පොහොර තොගය සඳහා සැප්තැම්බර් 17 වැනිදා ණයවර ලිපිය විවෘත කර තිබූ බවත්, ණයවර ලිපියේ සඳහන් භාරදීමේ දිනයට අනුකූලව සැප්තැම්බර් 23 වැනිදා තොගය නැව්ගත කිරීම සිදු වූ බවත් සමාගම නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.

ඒ අනුව දෙපාර්ශ්වයම පිළිගත් තුන් වැනි පාර්ශ්වයකින් යළි පරීක්ෂණයක් කළ යුතු අතර, පොහොර තොගයේ අර්විනියා බැක්ටීරියාව ඇතැයි ඉන් තහවුරු වුවහොත් ගිවිසුම අවසන් කරමින් පොහොර තොගය ඉවත් කරගත යුතු බවත්, එසේ නොමැති බව තහවුරු වුවහොත් ශ්‍රී ලංකාව කොන්දේසි විරහිතව කඩිනමින් ගෙවීම් සිදුකර තොගය ආනයනය සඳහා පියවරගත යුතු බවත් සමාගමේ නිවේදනයේ සඳහන් වෙයි.

එසේම බැක්ටීරියාව නොමැති බව තහවුරු වුවහොත් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය වහාම අදාළ ප්‍රවෘත්තිය නිවැරදි කළ යුතු බවත්, සාවද්‍ය පුවත පළකිරීම ගැන නීතිමය තත්ත්වය සොයාබලන බවත් එහි දැක්වේ.

එමෙන්ම මහජන බැංකුව ණයවර ලිපියේ බැඳී සිටින කොන්දේසිවලට අනුකූලව සහ අන්තර්ජාතික වෙළෙඳ නීතිවලට අනුව කටයුතු නොකරන්නේනම් , එම බැංකුව චීනයේ අසාදුලේඛනයට ඇතුළත් කිරීමට හෝ චීන ආයතන එකී බැංකුව සමඟ ගනුදෙනු කිරීම වැළැක්වීම සඳහා යෝජනා කරන බවත් ක්න්ඩාඕ සීවින්ග් බයෝටෙක් ගෘප් සමාගම පවසයි.

එම කරුණ සුදුසු ලෙස නොවිසඳුණහොත් එය ශ්‍රී ලංකා රජයෙ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ කීර්තිනාමයටද බල පා හැකි බවත්, එය ඉදිරියේදී චීන සමාගම් සමඟ ගනුදෙනු කිරීමේදී අවදානමක් ගෙන දිය හැකි බවත් එම නිවේදනයේ සඳහන්ය.

වානිජ අධිකරණයෙන් වාරණයක් !

මේ අතර චීනයේ සිට කාබනික පොහොර නෞකාවක් මෙරටට ගෙන්වා ඇති චීනයේ කින්ඩාවෝ සමාගමටත් එහි දේශීය නියෝජිතයාටත් මහජන බැංකුවටත් එරෙහිව කොළඹ වාණිජ මහාධිකරණය විසින් තවත් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ අනුව අදාළ සමාගම වෙනුවෙන් විවෘත කරන ලද ණයවර ලිපි යටතේ මහජන බැංකු විසින් කිසිදු ගෙවීමක් නොකරන ලෙස එම නියෝගයේ සඳහන්ය.

කොළඹ කොමර්ෂල් පොහොර සමාගම ඉල්ලීමක් මත එම වාරණ නියෝගය නිකුත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.