සොබාදහමට එරෙහි නොවන කෘෂිකර්ම විප්ලවයක් අවශ්‍යයි - ගෝඨාභය

සොබාදහමට එරෙහි නොවන කෘෂිකර්ම විප්ලවයක් අවශ්‍යයි - ගෝඨාභය

මිනිසුන් ස්වභාවධර්මයට එරෙහිව ක්‍රියා කරනවාට වඩා ඒ සමග සමපාත විය යුතු බවත් සොබාදහමට එරෙහි නොවන නව කෘෂිකාර්මික විප්ලවයක් අවශ්‍ය බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරනවා

ස්කොට්ලන්තයේ ග්ලාස්ගො හි දී පැවැත්වෙන COP :26 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සමගාමීව “නයිට්‍රජන් නැවත සොයා ගැනීම : දේශගුණික විපර්යාස, සෞඛ්‍ය ජෛව විවිධත්වය සහ චක්‍රීය ආර්ථිකය සඳහා විසඳුම් සහ ක්‍රියාකාරීත්වය” තේමාව යටතේ ශ්‍රි ලංකාව සංවිධාන කළ විශේෂ සම්මන්ත්‍රණය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

එරට වේලාවෙන් ඊයේ (31) ප.ව 5.00 ට මෙම සම්මන්ත්‍රණය පැවැත්විණ.

සිය රජයේ ප්‍රතිපත්ති රාමුව තිරසර සංවර්ධනය බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ යාවත්කාලීන කළ ජාතික නිර්ණයන් සහ අභිලාෂයන්ගෙන් ඒ බව මනාව පිළිබිඹු වන බව සඳහන් කළා.

නවීන විද්‍යාත්මක ශිල්පීය ක්‍රමවේද සහ හුරුපුරුදු භාවිතයන් තුළින් පරිසරය විනාශ නොකොට කෘෂිකාර්මික නිෂ්පාදන ඉහළ නැංවීම අප හමුවේ ඇති අභියෝගයක්. දශක ගණනාවක් පුරා නිදන්ගත වකුගඩු රෝගය ශ්‍රී ලංකාවේ ගොවි ජනතාව අතර බරපතළ ගැටලුවක් වී තිබෙනවා. රසායනික පොහොර අධික ලෙස භාවිත කිරීම මීට ප්‍රමුඛ හේතුවක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රසායනික පොහොර ආනයනය අවම කිරීමටත්, කාබනික කෘෂිකර්මාන්තය දැඩි ලෙස දිරිමත් කිරීමටත් තම රජය පියවර ගත්තේ මෙම සන්දර්භය තුළ බව කියා සිටියා.

මෙම ක්‍රියාව පුළුල් ඇගයීමට ලක්ව ඇතත්, ඊට විවේචන සහ විරෝධතා එල්ල වී තිබෙනවා. රසායනික පොහොර සඳහා සහාය දක්වන කණ්ඩායම්වලට අමතරව, අස්වැන්න වැඩි කර ගැනීමේ පහසු මාධ්‍යයක් ලෙස පොහොර අධික ලෙස භාවිතා කිරීමට පුරුදු වී ඇති ගොවීන්ගෙන් මෙම විරෝධතා පැමිණ ඇති අතර, ශ්‍රී ලාංකීය පොහොසත් කෘෂිකර්මික උරුමය සලකා බැලීමේ දී මෙය ඉතා අවාසනාවන්ත තත්ත්වයක් බව ද ජනාධිපතිවරයා සඳහන් කළා.

පරිසරය පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රගිතිශීලි න්‍යාය පත්‍රය ක්‍රියාත්මක වන්නේ, සංවර්ධනය වෙමින් පවතින ජාතියක් ලෙස එයට මුහුණදෙන සම්පත් බාධක මාධ්‍යයේ බව පැවසූ ජනාධිපතිවරයා සංවර්ධන වැඩසටහන් සමගින් එවැනි න්‍යාය පත්‍රයක් පවත්වාගෙන යාම විශේෂයෙන් කොවිඩි වසංගතයෙන් පසුව, සංවර්ධනය වෙමින් පවතින සියලුම ජාතීන්ට අභියෝගාත්මක බව ද පෙන්වා දුන්නා.

සංවර්ධිත රටවල් මගින් එවැනි ජාතීන්ට සංවර්ධන ආධාර, තාක්ෂණ හුවමාරු කිරීම්, කුසලතා සංවර්ධනය, ආයෝජන සහ මූල්‍ය සහාය හරහා ඔවුන්ගේ උපරිම සහයෝගය ලබා දෙනු ඇති බවට විශ්වාසය පළ කළ ජනාධිපතිවරයා මෙහිදී ව්‍යාපාර සඳහා සැලකිය යුතු කාර්යභාරයක් පවතින අතර තිරසර සංවර්ධනය සඳහා ආයෝජන කිරීමේ දී සැලකිය යුතු ප්‍රතිලාභයක් ලැබිය යුතු බව ද සඳහන් කළා.

අද ජීවත්ව සිටින අප සියලුදෙනා මේ මිහිතලයේ භාරකරුවෝ වන්නේ අනාගත පරපුර වෙනුවෙන් බව පැවසූ ජනාධිපතිවරයා හැකි අයුරින් ඊට දායක වෙමින් සෞඛ්‍ය යහපත තහවුරු කිරීමට සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බවද කියා සිටියා.

සියලු දෙනා සාමුහිකත්වයෙන් සහ සයෝගයෙන් මෙය ඉටුකරන්නේ නම් ජනතාවට සහ පෘථිවියට ධනාත්මක වෙනසක් උදාකර දිය හැකි බව ද ජනාධිපතිවරයා සඳහන් කළා.

හරිත කෘෂිකර්මාන්තයට 100%ක්ම පරිවර්තනය වීමට තීරණය කළ ලොව පළමු රට බවට ශ්‍රී ලංකාව පත්ව සිටින බව සම්මන්ත්‍රණයට පැමිණ සිටි විදේශ නියෝජිතයන් පිළිගනිමින් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවා.

දේශගුණික විපර්යාස සඳහා තිරසර විසඳුම් සහිත හරිත – සමාජ ආර්ථිකයක් නිර්මාණය කිරීම එහි අරමුණ බව ද අමාත්‍යවරයා කියා සිටියා.

ඉතිහාසයේ සිටි සහ වර්තමානයේ ජීවත්වන සියලු විද්‍යාඥයන් නයිට්‍රජන් සම්බන්ධව කරන ලද සොයා ගැනීම් අගය කළ අමාත්‍යවරයා නයිට්‍රජන් සොයා ගැනීමෙන් සියවස් ගණනාවකට පසු ශ්‍රී ලංකාව ද එම අභියෝගය ජය ගනිමින් සිටින බව සඳහන් කළා.

(Lanka lead )

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න

Publish modules to the "offcanvas" position.