Language Switcher

V2025

නැනෝ පොහොර වංචාව නිසා : මහින්දානන්ද - ශශීන්ද්‍ර ඇවිලෙයි !

ඉන්දියාවේ නැනෝ යූරියා මෙරටට ගෙනාවේ තමන් නොවන බවත් තමන්ගේ අමාත්‍යාංශය කාබනික පොහොර පිළිබඳ අමාත්‍යාංශයක් මිස පිටරටින් පොහොර ආනයනය කරන අමාත්‍යාංශයක් නොවන බවත් කාබනික පොහොර නිෂ්පාදන, ප්‍රවර්ධන හා සැපයුම් නියාමන සහ වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ළුනු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ පවසයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ නැනෝ යූරියා මෙරටට ගෙනඒමේ කටයුතු සිදු කරනු ලැබුවේ රාජ්‍ය ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂගේ මැදිහත්වීමෙන් බවට සිදු කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ය.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසීය.

“මගේ අමාත්‍යාංශය තිබෙන්නේ කාබනික වගාවට. කාබනික වගාව කියලා කියන්නේ පිටරටින් පොහොර ගෙනල්ලා කරන වගාවකට නෙවෙයි. එහෙම වගාවකදී මගේ කිසිම සම්බන්ධතාවයක් නැහැ. මොකද මම මේ අමාත්‍යාංශය බාරගන්නේ ජුනි මාසයේදි. මේ කටයුත්ත කිරීමේදී සියලු තීන්දු තීරණ කළේ කෘෂිකර්ම අමාත්‍යාංශය. විශේෂයෙන්ම මම මේ පිළිබඳව සම්බන්ධතාවයක් නැහැ.”

කෙසේ වෙතත් පසුගිය 18 වනදා කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ පවසා සිටියේ එම නැනෝ යූරියා සම්බන්ධයෙන් කටයුතු කළේ තම අමාත්‍යාංශය නොවන බවය.

ඒ අනුව නම් මෙකී පොහොර ආනයනය ශෂීන්ද්‍ර රාජපක්ෂ රාජ්‍ය ඇමති යටතේ ඇති පොහොර අමාත්‍යාංශයෙන් සිදුකර ඇති බව පැහැදිලිය.

ජනාධිපතිවරයා විසින් නිකුත්කර ඇති එම ගැසට් නිවේදනයට අනුව, ජාතික පොහොර ලේකම් කාර්යාලය, සීමාසහිත ලංකා පොහොර සමාගම, කොළඹ කොමර්ෂල් පොහොර සමාගම, සීමාසහිත ජනතා පර්ටිලයිසර් එන්ටර්ප්‍රයිසස් යන රාජ්‍ය ආයතන ශෂින්ද්‍ර රාජපක්ෂ යටතට පවරා ඇති අතර ආන්දෝලනාත්මක චීන පොහොර ගෙවීමේ ඇනවුම සීමාසහිත ලංකා පොහොර සමාගම විසින් සිදුකර ඇති අතර ඉන්දියාවෙන් නැනෝ යූරියා ගෙන්වීම සිදුකර ඇත්තේ කොළඹ කොමර්ෂල් පොහොර සමාගම හරහාය.

ජනාධිපති නිකුත්කළ ගැසට් නිවේදනය පහත දැක්වෙයි.

WhatsApp Image 2021 11 22 at 8.38.16 AM

123 Image 2021 11 22 at 8.38.16 AM 1