චෝදනා පුස් : අසාද් සාලි නිදහස් !

චෝදනා පුස් : අසාද් සාලි නිදහස් !

ආගමික කණ්ඩායම් අතර එදිරිවාදිකම් උත්සන්න කිරීමට ක්‍රියා කළේ යැයි චෝදනා එල්ල වී මාස 8කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (02) නියම කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා විසින් එම තීන්දුව ලබාදුන්නේය.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා කියා සිටියේ, විත්තිකරු විසින් ජාතීන් හෝ ආගම්වලට පවතින සංහිඳියාව බිදී යන ආකාරයෙන් හා ජනතාව අතර ක්‍රෝධය වර්ධනය වන ආකාරයෙන් ප්‍රකාශ සිදුකර ඇති බව ඔප්පු කිරීමට පැමිණිලිකරුවන් අසමත් වී ඇති බවය.

ඒ අනුව විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති හෙයින් විත්තිකරු නිදොස් කොට නිදහස් කරන බවත් විනිසුරුවරයා තීන්දු කළේය.

ඉකුත් මාර්තු මස 09 වනදා කොළඹ දී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි විසින් “අපේ නීතිය අපිට.. ඔයගොල්ලන්ගේ නීතිය ඔයගොල්ලන්ට.. ඒවා හරි වැරදි බලන්නේ අපි.. කුරානයයි, හදිසියයි, ශර්යාවයි අපේ නීතිය නම් අපි ඒකට ගරු කරනවා මිසක් රජයේ නීතිය බලන්නේ නැහැ. කුරානයයි, නබිතුමාගේ හදිසියයි හැරෙන්නට වෙන නීතියක් අපට නැහැ” යනුවෙන් ප්‍රකාශයක් සිදුකර තිබූ බව නීතිපතිවරයා විසින් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි ට එරෙහිව ගොනුකළ අධි චෝදනා පත්‍රයේ සඳහන් කොට තිබුණි.

මෙම ප්‍රකාශය තුළින් ආගමික කණ්ඩායම් අතර එදිරිවාදිකම් උත්සන්න කිරීමට ක්‍රියා කිරීම තුළින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කොට අසාත් සාලි මහතාට එරෙහිව චෝදනා දෙකක් යටතේ නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ එම අධිචෝදනා ගොනු කර තිබුණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න