ඩයස්පෝරාව සමග සාකච්ඡා කිරීමට ජනාධිපති සූදානම් : නූලන්ඩ්ට සහතිකයක් !

ඩයස්පෝරාව සමග සාකච්ඡා කිරීමට ජනාධිපති සූදානම් : නූලන්ඩ්ට සහතිකයක් !

ඩයස්පෝරාව සමග සාකච්ඡා කිරීමට දැඩි කැමැත්තෙන් පසුවන බවත් උතුරු පළාතේ සංවර්ධනය වෙනුවෙන් ආයෝජනයට ඩයස්පෝරාවට ඇරයුම් කරන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ  (23)පැවසීය.

ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර ලේකම් වික්ටෝරියා නූලන්ඩ් අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී හමුවූ අවස්ථාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එසේ පැවසීය.

අද පෙරවරුවේ පැවති සර්ව පාක්ෂික සමුළුවේදී ඉදිරිපත් වූ කරුණු, එහි ප්‍රගතිය සහ දෙමළ ජාතික සන්ධානය සමග සිකුරාදා දින පැවැත්වීමට නියමිත සාකච්ඡාව පිළිබඳව ද ජනාධිපතිවරයා නූලන්ඩ් දැනුවත් කළේය.

කොවිඩ් වසංගතය සහ වෙනත් රටවල සිදුවීම් මගින් රටේ ආර්ථිකයට එල්ල වී ඇති බලපෑම මගහරවා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමට තීරණය කළ බවත් එම තීරණය සම්බන්ධයෙන් මෙන්ම සත්‍ය සෙවීමේ යාන්ත්‍රණයට සහ ත්‍රස්ත විරෝධී පනත සංශෝධනයට ගෙන ඇති බවත් ජනාධිපතිවරයා කීය.

පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මගින් විදුලි උත්පාදනයට ඇති අවස්ථා පුළුල් කිරීමට සහාය වන ලෙස ජනාධිපතිවරයා ඇතුළු පිරිස සහකාර ලේකම්වරියගෙන් ඉල්ලා සිටියේය.

කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපා රටවල සිටින ඩයස්පෝරාව සමග සාකච්ඡා පැවැත්වීමේ වැදගත්කම පෙන්වා දුන් සහකාර ලේකම්වරිය ඒ පිළිබඳව ජනාධිපතිවරයාට ප්‍රසංශා කළේය.

ඇමරිකාවේ හරිත තාක්ෂණය මෙරටට හඳුන්වා දීමටත් සයිබර් සහ තොරතුරු තාක්ෂණ අංශවල දියුණුවට සහාය ලබාදීමටත් පියවර ගන්නා බව නූලන්ඩ් ලේකම්වරිය සඳහන් කළාය. මෙරට අධ්‍යාපන පහසුකම් කෙරෙහි අවධානය යොමු කළ සහකාර ලේකම්වරිය පෞද්ගලික අංශයේ දායකත්වය ලබාගැනීමෙන් උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කළ හැකි බව පෙන්වා දුන්නාය.

සහකාර ලේකම් ඩොන් ලු, ඇමරිකානු තානාපති ජූලි චන්ග්, ප්‍රධාන නියෝජ්‍ය සහකාර ආරක්ෂක ලේකම් ඇමන්ඩා ඩෝරි, දේශපාලන නිලධාරී ජෙෆ් චැනින් විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(මූලාශ්‍රය lankadeepa )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න