Language Switcher

V2025

සජබ බෙදීමක් එළියට පැනලා !

' වෙලාවේ කවුරුවත් ආණ්ඩු බලය ලබාගැනීමක්, පක්ෂ දේශපාලනයක් කරන්න, මේබොර දියේ මාළු බාන වෙලාවක් නෙමෙයි. මේ වෙලාවේ ජනතාව දැඩි ලෙස අසීරුතාවයට පත්වෙලා, පෝලිම්වල මැරී වැටෙන, තුන්වේල තියා දෙවේලක්වත් කන්න බැරි වෙලා ඉන්න වෙලාවක්. ධනවතුන්, මධ්‍යම පංතිය කඩාගෙන වැටෙන, දුප්පත් ජනතාවට කන්න බොන්න නැතිවෙන දුර්භාග්‍ය සම්පන්න කාලයක් උදාවෙලා තියෙන්නේ." යැයි සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර පවසයි.

ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළ අතර වැඩිදුරටත් මෙසේද පැවසීය.

මේ වගේ වෙලාවක දේශපාලන ගේම් ගහන්නවත්, මේ හරහා වෙනත් බල තුලනයක් ඇති කිරීම නෙමෙයි විය යුත්තේ. මේ වෙලාවේ අපි සියලු දෙනාම එකට එකතුවිය යුතුයි. එකට එකතුවෙලා රාජපක්ෂලා එලවන්න කටයුතු කළ යුතුයි.

එහෙම නැතිව පුද්ගලික ඉලක්ක වෙනුවෙන්, තම තමන්ගේ න්‍යාය පත්‍රය අනුව කටයුතු කරන වෙලාවක් නෙමෙයි මේක.

සියලු වාද බේද අතහැරලා, පැත්තකට දාලා මේ ආණ්ඩුකරණ භාරගත යුතුයි. එතැනදී පක්ෂ දේශපාලනයවත්, තම තමන්ගේ පුද්ගලික න්‍යාය පත්‍රවත් තිබිය යුතු නෑ.

පෝලිමේ මැරෙන මිනිස්සු තවදුරටත් මැරුනට පස්සේ, තවදුරටත් මිනිස්සු හාමතේ මැරුණට පස්සේ, දරුවන්ගේ අධ්‍යාපනය කඩාගෙන වැටුනට පස්සේ, ආර්ථිකය බංකොලොත් වුනාට පස්සේ අපි කවුරු ආණ්ඩු ගත්තත් වැඩක් නෑ. කවුරු කවුරුත් ජනාධිපතිකම් ගන්න සූටි මහගෙන හිටියත් ඒ ජනාධිපතිකම් වලට ගිහින් වැඩක් නෑ.

එතැනදී අරයා අරහෙට යනවාද, මෙතැනට යනවාද කියන එක අදාල වෙන්නේ නෑ. සියලු දෙනාම තමන් ඉන්නා තැන්වලම සිටිමින් රටේ මිනිසුන්ගේ දුක වෙනුවෙන් මිනිස්සු එකතුවෙන්න ඕන. එහෙම නැතිව තමන්ගේ පුද්ගලික අරමුණු තියාගෙන, මිනිස්සුන්ට කන්න බොන්න නැතිව මැරිලා වැටුනට පස්සේ අපිට ඉබේම බලය ලැබේවි කියලා හිතාගෙන කවුරු කවුරු හරි දේශපාලනය කරනවා නම් ඒක වැරදියි.

පක්ෂ දේශපාලනයට වඩා අපිට මේ අවස්ථාවේදී වැදගත් වන්නේ පොදු ප්‍රතිපත්තියක් නිර්මාණය කර ගැනීමයි. ජනතාව හාමතේ මැරෙන හැටි, දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙන හැටි අපිට තවදුරටත් බලාගෙන ඉන්න බෑ.''

සජිත් වෙන මතයක !

කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා සහ පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස පවසන අරමුණුවල ගැටුමක් නිරීක්ෂණය වන බවයි.

මේ වන විට මේ ආකාරයට සජබ තුළ ප්‍රවණතා කිහිපයක්ම නිරීක්ෂණය වන බවත් එහිදී ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් එරාන් වික්‍රමරත්න , හර්ෂ ද සිල්වා සහ කබීර් හෂීම් යන මන්ත්‍රීවරුන් දක්වන අදහස් , තතලතා අතුකෝරළ සහ රෝහිණී කවිරත්න මන්ත්‍රීවරියන් දක්වන අදහස් , මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු ඇතුළු තරුණ මන්ත්‍රීවරුන් දක්වන අදහස් සහ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස දක්වන අදහස් වල වෙනස්කම් ඇති බවත් දේශපාලන විචාරකයන් පවසයි.