Language Switcher

V2025

කිළුටු සෙරෙප්පු සහ මල කෑ දැලිපිහි

කිලිටි පාවහන් යුගලකට වඩා මල කෑ දැළිපිහි භයානක බවට වාදයක් නැත. එහෙයින් තෝරාගැනීමක් කරන්නට සිදුවුවහොත් ශිෂ්ට සමාජයේ සිහිමොළ ඇති ඕනෑම අයෙක් තෝරාගන්නේ කිලිටි නමුත් පාවහන් යුගලය.

නමුත් රට, ජාතිය, ආගම වැනි සංවාදවල දී, විශේෂයෙන් මෙරටට පිළිලයක් වී ඇති ජාතික ගැටලූව වෙනුවෙන් දියුණු දේශපාලන පිළිතුරක් සම්පාදනය කර ගන්නට යාමේ දී බොහෝ දෙනකු ප‍්‍රිය කරන බවක් පෙනෙන්නට තිබෙනුයේ මල කෑ දැළිපිහිවලටය. ඒ මල කෑ දැලිපිහිය වරෙක ඊනියා ඒකීය රාජ්‍යය ය. තවත් වරෙක ජාතිය ය, නැතිනම් ආගමය. එසේත් නැතිනම් ඒ සියල්ල පත අට එකට සිඳුවා සකස් කළ ”රට ජාතිය ආගම රකින දේශපේ‍්‍රමය”ය.

පසුගිය දා සැමරුවේ 68 වන ජාතික නිදහස් දිනය වුවත් තවමත් ”ශ‍්‍රී ලාංකේය ජාතිය”‍ ගොඩනගා ගැනීමට අසමත්ව සිටින්නේ එනිසාය. එපමණක් නොව නිදහස ලබා වසර 68 ක් ගෙවී ගොස් ඇතත් එතැන් පටන් අප රට කරවන මූලික ලියවිල්ල එනම් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා තුනක් සම්මතකර ගත්තත් තවමත් ජාතික රාජ්‍යයේ ආරම්භයේ දී සිදු කළ යුතු සහ විසඳාගත යුතු ජාතික ගැටලූ‍ව තවමත් රටේ අංක එකේ දේශපාලන අර්බුදය ලෙස ඉතිරිව තිබෙන්නේ ද එනිසාය. එහෙයින් මේ කඩඉම පසු නොකර රටක් ලෙස අපට ඉදිරියට අඩියක් වත් තබන්නට නොහැකිය. මේ කාරණය අප දිගින් දිගටම අවධාරණය කරන්නේ මේ වැනි සමයක එය කොතරම් අවධාරණය කළත් වැඩි නැතිය යන නිවැරැදි පුරෝකථනය අප සතුව තිබෙන නිසාය.

කෙසේ වුවත් රට කරවන්නට වන නව ලියවිල්ල සකස් කිරීමේ දී මතුව ඇති මූලික අභියෝගයක් ලෙස මේ ඊනියා ”ඒකීය රාජ්‍ය” සංකල්පය හඳුනා ගන්නට දුෂ්කර නැත. එය ඊනියා ලෙස අප නම් කළත් බොහෝ දෙනකු විශේෂයෙන් පාලකයන්ගේ සිට සිවිල් බුද්ධිමතුන් දක්වා බොහෝ දෙනකු මේ නමින් එය අමතන්නට දක්වන්නේ පුදුමාකාර භීතියක්ය. රටේ අවාසනාව නම් වමේ කියන දේශපාලන සංවිධාන සහ පක්ෂ පවා ”ජනතා ආකර්ෂණය දිනා ගන්නට නොහැකි වෙයි” යන ස්ථාවරයේ සිට මේ සංවාදය මඟහැරීමය. එහෙයින් අපේ මේ සූදානම මේ කවුරුත් භීතිකාවක් සහ මහා ආරක්ෂකයෙක් ලෙස සිතන ඊනියා ඒකීය රාජ්‍ය සංකල්පය බයිපාස් කර පෙන්වන්නටය. එය තුළ අප අන් කවරදාටත් වඩා කොතරම් අනාරක්ෂිත ද යන්න පෙන්වන්නටය.

ජාතිකත්ව සහ ආගමික පදනමින් සමාජය ආන්තීකරණයට ලක් වීම අප වැනි පසුගාමී සමාජවල එක් අංගයක් මිස අලූ‍ත් දෙයක් නොවේය. එසේම එය පසුගාමීත්වය පෙන්වන පැහැදිලි නිර්ණායකයක් සහ අනිවාර්ය අංගයක්ය. ඒ අනුව නිදහස ලබන මොහොතේ සිට මේ භීතිකාව අප සමාජය වෙලා පවතින අතර පළමු අගමැතිගේ පටන් රට කරවූ නායකයන් සිය බල අවශ්‍යතා වෙනුවෙන් එය අත්දුටු උපායක් ලෙස කළමනාකරණය කර තිබේ. නමුත් ඊට දාර්ශනික හැඩයක් අත්කර දෙන්නේ නලින් ද සිල්වාගේ පටන් ගුණදාස අමරසේකර දක්වා වූ ජාතිකවාදී බුද්ධිමතුන්ගේ මැදිහත් වීමෙන්ය. 80 ජූලි වර්ජනයෙන් පසුව දිගහැරෙන්නට ගත් මේ ජහුට වමේ ව්‍යාපාරය තුළට ගෙනවිත් ඊට වාමාංශික සුජාතභාවයක් ගෙන ආවේ රෝහණ විජේවීරය. ඒ ”දෙමළ ඊළාම් අරගලයට විසඳුම කුමක්ද” කෘතිය ජවිපෙ ජාතික ගැටලූ‍වට අදාළ න්‍යාය ග‍්‍රන්ථය බවට පත් කිරීම හරහාය.

ඒකීය රාජ්‍ය මිථ්‍යාව මෙරටට හඳුන්වා දුන් ඒ සියලූ‍ දෙනාගේ ලියවිලි අපට කියා දෙන්නේ එකම ආකාරයක කතාවක්ය. සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී නලින් ද සිල්වාගේ සිට ගුණදාස අමරසේකර වැනි සිවිල් වියතුන්ගේ පැහැදිලි කිරීම අපට මෙසේ සාරාංශ කර දක්වන්නට පුළුවන.

ඒ ”අතීතයේ අපි සමෘද්ධිමත් රටක්. අපි බතින් බුලතින් ස්වයංපෝෂීත ජාතියක්ය. අපේ දැනුමට සමාන දැනුමක් මිහිපිට තිබුණේ නැත. බලන්න අතීතයේ නටබුන් දෙස. අහස සිඹින දාගැබ්, පොළොව සිසාරා වැව් අමුණු”

”අපි එදා බොහෝ නිදහස් දියුණු ප‍්‍රජාවක් ලෙස ජීවත් වුණා. රජු සර්වාධිකාරය ලබා සිටියත් ඔහුගේ ඒ සර්වාධිකාරය බුදුදහම හරහා ස්වයං මර්දනයකට ලක්කර ගෙන සිටියා. ඒ නිසා වැසියනුත් අසීමිත නිදහසක් භුක්ති වින්දා. ඒ නිසාම අපි ආසියාවටම සහල් පවා දුන්නා.”

”මේ සියල්ල අපට නැති කළේ සොලීන්, පාණ්ඩවයන්, චෝලයන් මෙරට ආක‍්‍රමණය කළ නිසා. ඊළඟට බටහිර ජාතීන්. ඔවුන් නොඑන්න මේ රට ලෝකෙම සුරපුරයක්.”

එම චින්තනයට අනුව සුද්දා ගියාට පසුව මේ රටේ ඔය කියන සමෘද්ධිය නැති කළේ, වරෙක බටහිර දැනුමය, තවත් වරෙක ක‍්‍රිස්තියානියය. තවත් වරෙක රෙද්ද බැනියම වෙනුවට ටොප් හැට් පැලඳි පාලකයන්ය. පසුව එම ලැයිස්තුවට විජේවීර සහ ප‍්‍රභාකරන් ඇතුළත් විය. අද මෛත‍්‍රී - රනිල් හවුල් ආණ්ඩුවය. මේ නැතිව ගිය සියල්ල යළි ලබන්නට නම් දමිළයා - මුසල්මානුවා රටේ දෙවන ගනයේ පුරවැසියන් කළ යුතු අතර ඔවුන්ට දෙවන ගනයේ පුරවැසි අයිතීන් දිය යුතුය. ඒ වෙනුවෙන් කටයුතු කරන රජෙක් වගේ පාලකයෙක් සිටිය යුතුය.

ඒ අනුව මේ ජාතිවාදී ආගම්වාදී මානසික රෝගීන් මානසික රෝහලකට ඇතුළත් නොකරන තුරු මේ ලැයිස්තුවට අලූ‍ත් නම් එකතු වෙනවා මිස රට ප‍්‍රගතිය කරා ගමන් කරන ස්වභාවයක් දක්නට නැත. නැතිනම් අපේ ආත්මීය තුවාලයට ඔවුන් සකස් කර දෙන ප‍්‍රතිකාරවලින්. අප එදිනෙදා මුහුණ දෙන සැබෑ ආර්ථික සමාජ ගැටලූවලට ඔවුන් සතුව පිළිතුරු නැත.

සැබැවින්ම 80 දශකයෙන් අනතුරුව මේ ජාතිකවාදී රෝගීන් එක් වරක් පමණක් සුරාන්තයට පත්වූ අතර ඒ මහින්දගේ දේශපාලන නායකත්වයෙනි. ඒ උතුරේ ජන ඝාතන යුද්ධය දකුණේ ජයක් ලෙස ප‍්‍රදර්ශනය වූ අවස්ථාවය.

මොවුන් එදා කීවේ උතුරේ ජන ඝාතනයෙන් අනතුරුව ඒකීය රටක් බිහිවූ විට අපි පතන ලොව ඉබේ පහළ වන බවය. ජනාධිපතිවරයා රජෙක් වූ විට කීවේ රජෙක් නිසා අතීතයේ බඳු සමෘද්ධිමත් දේශය ඉදිවනු ඇති බවය. එහෙත් එය සිදුවූවාද? අවම වශයෙන් බුදුදහම වෙනුවෙන් ජීවිත පුදන්න යන මේ අය රාජ කුමාරයන් දළදා මාලිගය වටේ නයිට් රේස් පදින විට නැට්ට දෙපරන්දේ ගසා ගෙන සිටියා පමණක් නොව රජ කුමරුවන්ට වැඳ තාන්න මාන්න ද ලබා ගත්තේය.

එහෙයින් ඔවුන් කියන මේ ඒකීය රාජ්‍යය අපට අනුව නම් පැරණි ආසියානු නිෂ්පාදන ක‍්‍රමය මිස අනෙකක් නොවේය. ඒ තුළ අප දන්නේ එක සම්බන්ධතාවයක්ය. එනම් නිෂ්පාදන සම්බන්ධතාවයය. එහි දී නම් නිශ්චිතව සිදු වූයේ රදලයන් නිර්දය ලෙස ජනතාව සුරා කෑම පමණය. අපේ රටේ රදලයන් එය කොතරම් නිර්දය ලෙස සිදුකරා ද කියනවා නම් අපේ රාජ්‍ය භාණ්ඩාගාර හිස් වූයේ වැඩියෙන් පිං රැස්කර ගන්නට ලොකු දාගැබ් හැදීමෙන් මිස ජනතාව වෙනුවෙන් යමක් සිදු කර නොවේය. මහින්ද රජ කිරීමෙන් අනතුරුව මෙරට සිවිල් සමාජය ලැබුවේ ද එවැනිම වූ අත්දැකීමක්ය. මහින්දව ගෙදර යවන්නට හේතු වූයේ ද ශිෂ්ට සමාජයේ පැවැත්මට ඔය කියන ගෝත‍්‍රික හැසිරීම් අහිතකර නිසාය.

එහෙයින් ඉහත මානසික රෝගීන් කියන ඒකීය රාජ්‍ය සංකල්පය ජනවාරි 08 පරාජය කර හමාරය. ඒ අනුව නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් වන සංවාද බිමේ තවදුරටත් ඉහත මානසික රෝගීන් කියන ”ඒකීය රාජ්‍ය” අදාළ නැත.

  • සංජය ලියනගේ
  • උපුටා ගැනීම සත්හඩ පුවත්පත