#GOHOMEGOTA : අපේක්ෂාවේ සත්‍යක්‍රියාවට : ආණ්ඩුවෙන් බාල්දියක් !

#GOHOMEGOTA : අපේක්ෂාවේ සත්‍යක්‍රියාවට : ආණ්ඩුවෙන් බාල්දියක් !

නිර්දේශපාලනික ජන අරගලයට සහය පලකිරීමේ අරමුණින් යුතුව, අප්‍රේල් 21දා සංවිධානය කෙරෙන, 'අපේක්ෂාවේ සත්‍යක්‍රියාව'ට ආණ්ඩුව පාර්ශ්වයෙන්, දිගින් දිගටම බාධාකිරීම් සිදුවෙමින් තිබෙන බව, 'රැඩිකල් මැද සාමූහිකය' පවසයි.

මෙම සත්‍යක්‍රියාව, කොළඹ නිදහස් චතුරශ්‍රය අභියස පැවැත්වීමට සැලසුම්කර, ඒ පිළිබඳව අවසර ලබාගැනීමට කටයුතු කර තිබුණත්, අවසන් මොහොතේ එම ස්ථානය ලබාදිය නොහැකිබව, සංස්කෘතික අමාත්‍යංශ බලධාරීන් දැනුම් දී ඇති බවත් රැඩිකල් මැද සාමූහිකය පවසයි.

ඒ අනුව 'අපේක්ෂාවේ සත්‍යක්‍රියාව', අප්‍රේල් 21දා පස්වරු 5.00 සිට 7.00 දක්වා, විහාර මහා දේවි උද්‍යානයේ, නෙලුම් පොකුණ ඉදිරිපිට පැවැත්වීමටයි, 'රැඩිකල් මැද සාමූහිකය', තීන්දු කර ඇත.

වීදි බැස ඇති සුවහසක් පුරවැසියන්ගේ, සාධාරණ ඉල්ලීම් අනුව, රාජපක්ෂ ක්‍රමය අවසන් කිරීමත්, පුරවැසියාට වග කියන ගෞරවනීය රජයක් ඇති කරගැනීමත් , අභිලාෂය කරගත් දේශපාලන සහ සිවිල් සංවිධාන නියෝජිතයන් අතර සම්මුතියක් ගොඩනගා ගැනීමත්, මෙහි මුලික අරමුණ වන බව රැඩිකල් මැද සාමූහිකය සඳහන් කරයි.

රැඩිකල් සෙන්ටර් සාමූහිකය' මේ වෙනුවෙන් ඉදිරිපත් කරන සම්මුතියේ යෝජනා පෙළක් ද මේ වන විට ප්‍රසිද්ධ කර තිබේ.

සම්මුතියේ යෝජනා පෙළ මෙන්න !

1- රාජපක්ෂවාදය අවසන් කිරීම.

2- 20 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර සුදුසු සංශෝධන සහිතව 19වන සංශෝධනය යළි පැනවීම.

3- රාජපක්ෂ විරෝධී පක්ෂ එකමුතුවෙන් නිශ්චිත කාලයක් සඳහා අන්තර්වාර පාලනයක් ඇති කිරීම.

4- සියලු ජාතීන්ට, ආගම්වලට සහ ලිංගිකත්වයන්ට සම අයිතිය ලැබෙන ශ්‍රී ලාංකේය සමාජයක් පිලිගැනීම.

5- ආර්ථික අර්බුදයට සාමූහික එකඟතාවයෙන් කඩිනම් විසඳුම් සෙවීම

6- ඖෂධ, අත්‍යාවශ්‍ය ආහාර, විදුලිය, ගෑස් පොහොර සහ අනෙකුත් කෘෂිකාර්මික යෙදවුම් සහ කාර්මික යෙදවුම් ප්‍රමාණවත් ලෙස අඛණ්ඩව සැපයීම සහතික කිරීම.

7- අර්බුදය හමුවේ දිළිඳු ජනතාවගේ සමාජ සුරක්ෂිතභාවය සහතික කිරීම.

8- පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ සහ පක්ෂවල වත්කම් බැරකම් ජනතාවට දැනගැනීමේ අයිතිය ලබාදීම.

9- රාජ්‍ය ආයතනවල සියලු ගනුදෙනු විගණනයට යටත් කිරීම

10- මානව අයිතීන් සහ ප්‍රජාතන්ත්‍රවාදය ගරු කිරීම.

11-නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම.

12-වංචා දූෂන සහ පාස්කු අපරාධ සම්බන්ධ චෝදනා නීත්‍යානුකූලව විමර්ශනය කොට දඬුවම් ලබාදීම.

13- දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම

14- ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කිරීම

15- පුරවැසියන්ගේ මතය ඉදිරිපත් කිරීමට සහ පුරවැසි සහභාගීත්වය තහවුරු කිරීම සඳහා පුරවැසි වේදිකාවක් පිහිටුවීම, එම යෝජනා පෙළයි.

සුදු වතින් සැරසී එන්න !

ඒ වෙනුවෙන් සුදු වතින් සැරසී, අප්‍රේල් 21දා පස්වරු 5.00 සිට 7.00 දක්වා, විහාර මහා දේවි උද්‍යානයේ, නෙලුම් පොකුණ ඉදිරිපිටට පැමිණෙන ලෙස රැඩිකල් සෙන්ටර් සාමුහිකය ඔබ සැමගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටියි.

'රැඩිකල් මැද සාමූහිකය' යනු, 'සැබෑ දේශප්‍රේමී' අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා, මංගල සමරවීරයන් විසින් ආරම්භකළ දේශපාලන මෙහෙයුමකි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න