Language Switcher

V2025

රාජපක්ෂ මර්දනය ඇරඹේ : පාර්ලිමේන්තුව ඉදිරිපිට පැහැරගැනීමක් !

අද (04) පාර්ලිමේන්තුව ඉදිරිපිට පිවිසුම් මාර්ගය අසල සාමකාමීව උද්ඝෝෂණයේ යෙදුණු සිවිල් පුරවැසියන් පිරිසක් පොලිස් බලහත්කාරය යොදවා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි .

මේ විරෝධතාව පවත්වා ඇත්තේ ඉතාම සීමිත පිරිසක් වන බවත් එහිදී පොලිස් බස් රථයක පැමිණි කැරලි මර්දන භට පිරිසක් අමානුෂික ආකාරයට මේ සාමකාමී උද්ඝෝෂණයේ යෙදුණු පුරවැසියන් පැහැරගෙන ගිය බවත් එහි සිටි අප වාර්තාකරුවන් පවසයි .

එහිදී උද්ඝෝෂකයින් පැමිණ ඇත්තේ කතානායකට ලිපියක් බාරදීමට බවත් වාර්තා වන අතර එය පහත දැක්වෙයි .

එහිදී පොලිස් පැහැරගැනීමට ලක්වූ සාමකාමී උද්ඝෝෂකයන්ට පොලිස් පහරදීමක් සිදුව ඇති බවත් සඳහන් ය.

සාමකාමී විරෝධතා දැක්වීම පුරවැසි අයිතියක් බව පවසමින් අත්අඩංගුවට ගැනීමට එරෙහි වූවන්ට , එහි සිටි පොලිස් නිලධාරියෙකු තර්ජනය කර ඇත්තේ , මේ හරහා මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝනය වන බවයි.

සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර කතානායක දැනුවත් කර ඇති බවත් වාර්තා වෙයි .

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට මෙසේ පොලිස් පැහැරගැනීමට ලක්වූ උද්ඝෝෂකයන් මහරගම පොලිසියේ රඳවාගෙන සිටින අතර ඔවුන් කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් වාර්තා වෙයි .

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ , මේ වන විට ඉතාම පැහැදිලිව පොදුජන අරගලය මර්දනය කිරීම ආරම්භ වී ඇති බවයි.

සාමකාමී විරෝධතාකරුවන්ව මේ ආකාරයට පොලිස් පැහැරගැනීම් සිදුවනවා නම් එය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යක් නොව මිලිටිරි පොලිස් රාජ්‍යක ලක්ෂණයක් බවත් දේශපාලන විචාරකයන් පවසයි .

මේ අතර නිවේදනයක් නිකුත්කරමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසන්නේ
ජනාධිපතිවරයාට, අගමැතිවරයාට හා වත්මන් ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණවල නිරත ක්‍රියාකාරීන්ට විවිධ චෝදනා නගමින් ඔවුන් අත්අඩංගුවට ගැනීමට හා බියවැද්දීමට පොලිසිය ක්‍රියා කළ අවස්ථා දෙකක් පිළිබඳව තම අවධානය යොමුව ඇති බවයි.

අදාළ නිවේදනය නිකුත්කරමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය , අදහස් පළ කිරීමේ නිදහසට එරෙහි අනීතික ක්‍රියාකාරකම්වලින් වළකින ලෙස පොලිස්පතිවරයාටත් රජයටත් දැඩිව අවධාරණය තිබෙයි.

අදාළ නිවේදනය සඳහන් කරන ආකාරයට ත්‍රිකුණාමලය කන්තලේ ප්‍රදේශයේ ජන විරෝධතාව මෙහෙයවමින් සිටින ජාතික සමාජ සංවර්ධන පදනමේ සභාපති සුරංග රූපසිංහට පොලිසිය දැඩිව තර්ජනය කර තිබේ .

ඊළඟ සිදුවීම ගෝල්ෆේස් විරෝධතා ව්‍යාපාරයට සහභාගී වී ආණ්ඩුවට එරෙහිව ප්‍රසිද්ධියේ අදහස් පළ කළේ යැයි ගම්පහ යක්කල ප්‍රදේශයේ පදිංචිව සිටින තරුණයන් දෙදෙනෙකුට යක්කල පොලිසිය මගින් (02) අත්අඩංගුවට ගෙන පහර දී තිබීමයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ , මේ ආකාරයට අනීතික සහ පුරවැසි අයිතීන් කෙළෙසන පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් කඩිනමින් පෞද්ගලිකව නෛතික ක්‍රියාමාර්ග ගත යුතුව ඇති බවයි.