Image

මතවාදයේ අන්ධ නිද්‍රාවෙන් අවදි වෙමු

මතවාදයේ අන්ධ නිද්‍රාවෙන් අවදි වෙමු

Vidarshana Kannangara සහෝදරයා විසින් තම මුහුණු පොතේ පල කරන ලද,හිතාදර Upul Kumarapperuma,  බියකරු සිහිනයට නොබියව ඇහෙරෙමු !

(Slavoj Zizek ගේ 'THE SUBLIME OBJECT OF IDEOLOGY' වියමනෙහි කොටසක පරිවර්තනය. P. 44,45) යන සුවිශේෂී සිංහල පරිවර්තනය කියවීමෙන් පසුව මෙය ලිවීමට සිත් විය.

 

61QLIL99mhL. AC UF10001000 QL80

ජිජැක් සිය සුප්‍රකට The Sublime Object of Ideology කෘතියේ දී ලැකාන් උපුටා දක්වමින් අපූරු සිහිනයක් විග්‍රහ කරයි. එහි එන්නේ මියගිය දරුවෙකු සිය පියා ගේ සිහිනයට පැමිණ, ඔහුගේ අතින් අල්ලා, "තාත්තේ, මාව පිච්චෙනවා ඔයාට පේන්නේ නැද්ද?" කියා රහසින් අසන කම්පනසහගත දර්ශනයකි. පියා වහාම අවදි වන විට, යාබද කාමරයේ ඉටිපන්දමක් පෙරළී සැබැවින් ම දරුවාගේ දේහය පිළිස්සෙමින් පවතී. ජිජැක් පෙන්වා දෙන්නේ පියා අවදි වූයේ බාහිර ගින්න නිසා නොව, සිහිනය තුළ මතු වූ දරාගත නොහැකි වරදකාරී හැඟීමෙන් බේරී, සාමාන්‍ය ලෝකය නමැති ෆැන්ටසිමය ලෝකය තුළ දිගට ම නිදාගැනීමට බවයි.

 

අතිශය පෞද්ගලික ශෝකය සහ චෙම්මනි සමූහ මිනිවළෙහි කුඩා දරුවන්  

මෙම මනෝවිශ්ලේෂණාත්මක තර්කනය, පුද්ගලික ඛේදවාචකවලින් ඔබ්බට ගොස් අපේ රටේ සාමූහික දේශපාලන ඉතිහාසයට ගළපාගත හැක්කේ කෙසේද?

විශේෂයෙන්ම, නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා සිය දරුවා ගේ අකල් මරණය හමුවේ අත්විඳි අතිශය පෞද්ගලික ශෝකයත්, 1990 දශකයේ අගභාගයේ දී යාපනය චෙම්මානි සමූහ මිනිවළෙන් කුඩා දරුවන් අට දෙනෙකු ඇතුළු මළසිරුරු රාශියක් මතු වූ සාමූහික ඛේදවාචකයත් අතර ඇති දාර්ශනික සබැඳියාව මෙයට කදිම නිදසුනකි.

 

අප අන්ධ ද...?

image 25 1

 

නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතාට තමන්ගේ දරුවා අහිමි වීම යනු වචනවලට පෙරළිය නොහැකි, පියකු ගේ පපුව පැළෙන පෞද්ගලික වේදනාවකි. දරුවා ජීවත්ව සිටිය දී ඔහුව බේරාගැනීමට හෝ ඔහු ගේ ආයුෂ දික් කිරීමට තමන්ට නොහැකි වීම පිළිබඳ වරදකාරී හැඟීම සහ දැවෙන ශෝකය ඕනෑම ආදරණීය පියකු සතු සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවය යි. එය පෞද්ගලික අවකාශයක සිදුවන හුදෙකලා විලාපයකි. නමුත්, චෙම්මනි මිනිවළෙන් කිරි බෝතල්, සෙල්ලම් බඩු සහ පාසල් බෑග් සමඟ කුඩා දරුවන් අට දෙනකු ගේ අස්ථි කොටස් හමුවන විට, සිදුවන්නේ කුමක්ද...? එහි දී උපුල් මහතා ගේ පෞද්ගලික පීතෘත්වයේ ශෝකය, චෙම්මනියේ දරුවන් අහිමි වූ දෙමාපියන්ගේ සාමූහික ශෝකය සමග එකට ප්‍රතිරාවය වෙයි. චෙම්මනියේ වළලා දැමූ දරුවන්ගේ අස්ථි කොටස් දෙස බලන විට එය තවදුරටත් දකුණේ හෝ උතුරේ පියකු ගේ පුද්ගලික ප්‍රශ්නයක් නොවේ; එය මුළු මහත් සමාජයක ම සාමූහික වරදකාරී හැඟීමක් බවට පත් වෙයි. ඒ දරුවන් මියයන විට, ඔවුන්ව පොළොව යට සැඟවෙන විට දේශපාලන ක්‍රමය, හමුදාව හෝ සිවිල් සමාජය ලෙස අප නිහඬව සිටියේ ද, නැතහොත් අපගේ අන්ධභාවය පවත්වාගෙන ගියේ ද යන ප්‍රශ්නය ඉන් මතු කෙරේ.

 

පොදු මිනිස් වේදනාව

ජිජැක් පවසන පරිදි, අප එදිනෙදා ගත කරන සාමාන්‍ය ජීවිතය ලෙස ඉදීම (කොළඹ කේන්ද්‍රීය උත්සව, දේශපාලන කතාබහ, ආර්ථික ප්‍රශ්න) යනු බියකරු සත්‍යයෙන් මනස ආරක්ෂා කර ගැනීමට අප විසින් ම මවාගත් ෆැන්ටසිමය යථාර්ථයකි. චෙම්මනි මිනිවළ මතු වීම යනු එම බොරු යථාර්ථයේ වැස්ම ඉරාගෙන දරාගත නොහැකි, කම්පනසහගත සත්‍යය හෙවත් ලැකානියානු ‘යථාව’ කරළියට පැමිණීමයි. පියාගේ සිහිනයේ දරුවා මෙන්, චෙම්මනියේ දරුවන් ගේ අස්ථි කොටස් ද සමස්ත දේශපාලන අධිකාරියෙන් ම සහ නිහඬව සිටි සමාජයෙන් ම අසන්නේද අර ප්‍රශ්නය ම ය. ''අපිව මෙතන වළලලා තියෙනවා ඔයාලට පේන්නේ නැද්ද?" උපුල් මහතා සිය පුතු වෙනුවෙන් වැගිරූ කඳුළුවලට පිටුපසින් ඇත්තේ, යුද්ධය නිසා උතුරේත් දකුණේත් අහිමි වූ දහස් ගණන් දරුවන්ගේත්, ඔවුන් වෙනුවෙන් වැලපුණු දෙමාපියන්ගේත් පොදු මිනිස් වේදනාවයි.

 

රාජ්‍ය මතවාද විසින් මළවුන් සැමරීම තහනම් කරනු ලබන්නේ ඇයි...?


Mullivaikkal Kanji scaled e1725865990996

රාජ්‍ය යාන්ත්‍රණය සහ රාජ්‍ය මතවාද සැමවිට ම උත්සාහ කරන්නේ මිනිසුන්ව දේශපාලන නිද්‍රාවක තබා ගැනීමටය. යුද්ධයක කෲරත්වය, වැරදීම් සහ සාහසිකත්වයන් අමතක කර දමා සියල්ල දැන් සාමකාමී යැයි සිතීමට මිනිසුන්ට බල කෙරෙයි. මෙවැනි පසුබිමක, මළවුන් සිහිකිරීම යනු හුදු ආගමික වතාවත් මාලාවක් පමණක් නොවේ; එය දේශපාලන අරගලයකි. උපුල් මහතා තමන් ගේ පුතාව පුද්ගලිකව සිහිපත් කරන විට දැනෙන ශෝකය, චෙම්මනියේ දරුවන් පොදුවේ සිහිපත් කරන දේශපාලන අවකාශය දක්වා දිගු විය යුතුය. බලධාරීන් හෝ රාජ්‍ය මතවාද විසින් මළවුන් සැමරීම තහනම් කිරීමට හෝ වළක්වාලීමට උත්සාහ කරන්නේ ඇයි...? මන්ද, මළවුන් සිහිපත් කරන සැම අවස්ථාවක ම, චෙම්මනි බඳු මිනිවල් තුළ සැඟවුණු ‘යථාව’ නැවත වතාවක් සමාජ මතුපිටට පැමිණෙන බැවිනි. එය අප පවත්වාගෙන යන බොරු නිද්‍රාව අවදි කරයි. ලංකාව තුළ කලින් කලට 'ප්‍රතිසන්ධානය' සහ 'සාමය' ගැන දේශපාලන වේදිකාවල කතා බහ ඇති වෙයි. නමුත් සැබෑ ප්‍රතිසන්ධානයක් කිසිදාක 'අමතක කර දැමීම හෝ යටපත් කිරීම මත ගොඩනැගිය නොහැකි ය. රාජ්‍ය යාන්ත්‍රණයේ උත්සාහය විය යුත්තේ වින්දිතයන්ගේ මතකය මකා දමා, කෘතිම සාමකාමී යථාර්ථයක් පෙන්වා මිනිසුන්ව දිගටම නිද්‍රාවක තැබීමයි. නමුත් සැබෑ යුක්තිය ඉටු විය හැක්කේ, අප අපගේ අතීතයේ දරුණුම සහ අමිහිරිම යථාවට සෘජුව මුහුණ දුනහොත් පමණි.

 

මතවාද නමැති සිහිනය තුළ දිගට ම නිද්‍රාශීලී වීම

උපුල් මහතා ගේ පෞද්ගලික ශෝකය වටහා ගන්නා දකුණේ සමාජය, චෙම්මනි මිනි වළෙන් හමුවූ දරුවන් ගේ දෙමාපියන් ගේ සාමූහික ශෝකය ද එකලෙස වැලඳගත යුතු ය. ප්‍රතිසන්ධානය යනු වැරදි වසා දැමීම නොව, ඒ වරදකාරී හැඟීමට සහ වගකීමට සමස්ත සමාජයක් ලෙස මුහුණ දීමයි. මළවුන් සැමරීමට සහ ඔවුන් වෙනුවෙන් හඬා වැලපීමට උතුරට මෙන්ම දකුණට ද ඇති සාධාරණ අයිතිය පිළිගැනීම සැබෑ යුක්තියේ පළමු පියවරයි. යථාර්ථය පවතින්නේ සිහිනය දරාගත නොහැකි අය සඳහාය යන 1960 දශකයේ පැරණි හිපි ආදර්ශ පාඨයක් ජිජැක් වෙනස් කරමින් පවසන්නේ, සැබෑ ලෝකය යනු අපගේ අවිඥානය තුළ ඇති බියකරු සත්‍යය වසං කර ගැනීමට අපට උපකාරී වන ෆැන්ටසියක් බවයි. ලාංකීය සමාජය ලෙස අප තවමත් කරමින් සිටින්නේ, අතීතයේ සිදුවූ දරුණු මිනිස් ඝාතන සහ වැරදීම් දෙස සෘජුව බැලීමට ඇති බිය නිසා, මතවාද නමැති සිහිනය තුළ දිගට ම නිදාගැනීමයි. නමුත් උපුල් මහතා ගේ පෞද්ගලික ශෝකයේ සිට චෙම්මනි දරුවන් ගේ සාමූහික මතකය දක්වා විහිදෙන මළවුන් සිහිකිරීමේ අයිතිය අපට බල කර සිටින්නේ, ඒ බොරු නින්දෙන් අවදි වන ලෙසයි. මන්ද, තමන්ගේ ම අතීතයේ කම්පනසහගත යථාවට මුහුණ දී, උතුරේ-දකුණේ සියලු දරුවන් ගේ මරණවලට සාමූහික වරදකාරීත්වයෙන් යුතුව යුක්තිය ඉටු නොකරන තාක්, සමාජයක් ලෙස අප අවදි වී සිටින්නේ යැයි සිතුව ද, සැබැවින්ම අප පසුවන්නේ මතවාදයේ අන්ධ නිද්‍රාවක ය.

438039643 1490438038219367 3811601817128584883 n 1

 

 

 

 

  සටහන -  Mandis Murrukkuwadura

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න