Language Switcher

V2025

රනිල් සිස්ටම් වෙනසක් ඉල්ලයි !

රටේ වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ (7) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී තරුණ වෘත්තිකයන් හමුව ඇති අතර එහිදී ඔහු ආර්ථික ක්‍රියාවලියේ සමස්ථ වෙනසක් අවධාරණය කළ බව වාර්තා වෙයි .

එහිදී අදහස් දැක්වූ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැහැදිලි කර සිටියේ රට තුළ මේ වනවිට ඉතිරිව ඇත්තේ ඩොලර් මිලියන 25කට අඩු සංචිත මුදලක් බවයි. රජය විසින් බදු අඩු කිරීම හේතුවෙන් රටට අහිමි වූ මුදල රු. බිලියන 800 ක් බව ඔහු පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ඒකකය නිකුත්කළ නිවේදනයක මෙසේද සඳහන් වෙයි.

"අපිට දැන් අපේ ණය ආපසු ගෙවීමට නොහැකියි. ඒ නිසා අපි මුලින්ම ණය ආපසු ගෙවීමේ ව්‍යුහයක් ඇති කළ යුතුයි", ඔහු ප්‍රකාශ කළේය. රජය අනවශ්‍ය වියදම් කපා හැර ජනතාවට කළ හැකි සහන සැලසිය යුතු බව පැවසූ වික්‍රමසිංහ මහතා , රජයට ආදායම් වැඩිකර ගැනීමට නම් තවදුරටත් ඉන්ධනවල මිල ඉහළ දැමීමට රජයට සිදුවන බව ඔහු ප්‍රකාශ කළේය.

රජය විසින් ලබාගෙන ඇති ණය ගෙවීමට නොහැකි වීමෙන් අපේ බැංකු පද්ධතිය කඩාවැටීමේ අවදානමකට මුහුණ දී සිටින බවට ඔහු අනතුරු ඇඟවීය. වැඩිම උනොත් වසරක් දෙකක් ඇතුළත මේ ප්‍රශ්න විසඳාගත හැකි බවද ඔහු පැවසීය.

ක්ෂණික ආර්ථික අර්බුදය නිරාකරණය වූ පසු අප අනාගතය දෙස බැලිය යුතු බව ඔහු පැවසීය.

"එහෙම කරන්න නම් දේශපාලන ක්‍රියාවලිය, ආර්ථික ක්‍රියාවලිය ඇතුළු සමස්ත ක්‍රියාවලියම වෙනස් කළ යුතුයි. රටේ දේශපාලන ක්‍රමය පිළිබඳව ජනතාවගේ විශ්වාසය නැති වී ඇති බවත්, සියලු දේශපාලඥයින් ගෙදර යන්න, ගෝටා යන්න, රාජපක්ෂ ගෙදර යන්න, දක්වා විරෝධතා වර්ධනය වී ඇති බව" ඔහු පැහැදිලි කළේය.

ඒ අර්බුදයට විසඳුම් ලබාදීමට පාර්ලිමේන්තුව අපොහොසත් වීම හේතුවෙන් බවද ඔහු අවධාරණය කළේය.

ක්‍රමය වෙනස් කිරීමකට අධ්‍යාපනයට නව ප්‍රවේශයක් අවශ්‍ය වන බව වික්‍රමසිංහ මහතා පැහැදිලි කළේය. මෙම නව අධ්‍යාපනික මාර්ග සඳහා තරුණ තරුණියන් මූල්‍යමය වශයෙන් ආධාර කළ යුතු බව ඔහු පැවසීය.

ක්‍රමය වෙනස් කිරීමට සමගාමීව නව දේශපාලන ක්‍රමයක් ද අනුගමනය කළ යුතු බව ඔහු පැවසීය. විධායක ජනාධිපති ක‍්‍රමය පිළිබඳ ප‍්‍රශ්නය පමණක් නොව සමස්ත නියෝජිත ක‍්‍රමයටම ආමන්ත්‍රණය කළ යුතු බවද ඔහු පැවසීය. දේශපාලන පක්‍ෂ කීයක් තිබිය යුතුද, ඡන්ද ක්‍රමය ක්‍රියාත්මක විය යුත්තේ කෙසේද, මනාප ඡන්ද යාන්ත්‍රණය අනුගමනය කරනවාද නැතහොත් නව පිරිවැය ඵලදායී ඡන්ද ක්‍රමයක් අනුගමනය කරනවාද?

දේශපාලන සංස්ථාපිතයේ පිරිවැය ද විසඳිය යුතු බව හිටපු අගමැතිවරයා පැහැදිලි කළේය.

"අපි කොහොමද වැඩිපුර තරුණ තරුණියන් දේශපාලනයට ඇතුළත් කරන්නේ. ක්‍රමය වෙනස් වීමත් සමඟ ශ්‍රී ලාංකීය සමාජය 21 වැනි සියවසට ඉදිරියට ගෙන යා යුතු බව ඔහු පැවසීය.

අපගේ අධ්‍යාපනය සහ ශ්‍රම බලකාය සියලු වෙනස්කම් වලට අනුගත විය යුතු අතර එමඟින් රටේ මධ්‍යම පන්තියේ නැවත වරක් නැගීමක් දැකිය හැකි බවත් ඔහු පැවසීය .

නිදහස ලබන විට ශ්‍රී ලංකාව ජපානය හා සමව තිබූ අතර දැන් අපි ඇෆ්ගනිස්ථානයටත් පහළට වැටී ඇත. 2048 දී රට නිදහසේ 100 වන වසර සමරනු ඇත, ඒ වන විට අපි අපගේ හැකියාවන් කරා ළඟා වී තිබිය යුතුය.

මෙය සාක්ෂාත් කර ගැනීම සඳහා අපි ජාතික ප්‍රතිපත්තියක් සඳහා නව යකඩ රාමුවක් ගෙන ආ යුතුයි. එමගින් විටින් විට ආණ්ඩු වෙනස් විය හැකි නමුත් රටේ දිශානතිය වෙනස් නොවේ. ඉන්දියාව ජපානය වැනි රටවල් ක්‍රියාත්මක වන්නේ අද මේ ආකාරයටයි.

ආර්ථිකය ස්ථාවර කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට පියවර ගනිමින් සිටින බවද ඔහු පැවසීය. නව පාර්ලිමේන්තු කාරක සභා හඳුන්වාදීම හරහා රාජ්‍ය මූල්‍ය පාලනය නැවත පාර්ලිමේන්තුව යටතට ගෙන ඒම පළමු පියවරයි. එවිට මෙම කමිටුවලට තරුණ තරුණියන් සමඟ සම්බන්ධ වී ඔවුන්ගේ නිර්දේශ ක්‍රියාත්මක වන ආකාරය දැක ගත හැකි බව ඔහු පැවසීය.

මේ තුළින් නව ආර්ථිකය සමඟ රටේ නව නායකයන් බිහිවන බව වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන් මතුව ඇති දේශපාලන අර්බුදය, ව්‍යවස්ථා සංශෝධන, විශ්වාසභංග යෝජනා පිළිබඳ ප්‍රශ්න සියල්ල විසඳිය යුතු බව ද ඔහු පැවසීය.

සියලු දෙනා එක්ව කටයුතු කර මේ සියලු ගැටලු විසඳා ගත යුතු බව ඔහු පැවසීය. ඒවාට පුද්ගලයන්ට ආමන්ත්‍රණය කළ නොහැක, මහජනතාව ද මැදිහත් විය යුතුය.