Language Switcher

V2025

21 ගැන සජබ යෝජනා වැඩකට නෑ !

21 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ 2022 මැයි 31 දින, මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ගේ අත්සනින් අගමැති රනිල් වික්‍රමසිංහ වෙත යෝජනා 5 ක් යොමු කර තිබු බවත් එම යෝජනා 5 න් 4 ක් ම ව්‍යවස්ථාවට ඇතුලත් කිරීමට තරම් නොවන ඒවා බවත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි .

නිවේදනයක් නිකුත්කරමින් ඔහු මේ බව සඳහන් කරන අතර අදාළ නිවේදනය පහත දැක්වෙයි .

ජනවරමක් ( People’s Mandate) නොමැතිව ව්‍යවස්ථාවට බරපතල වෙනස්කම් කිරීමට උත්සහ දැරීමත් ප්‍රජාතන්ත්‍රවාදී වන්නේ නැත. නමුත්, සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ සහ ද්‍රවිඩ ජාතික සන්ධානයට තමන්ගේ අනාගත යහපත් සංශෝධනයකට ඇති කැපවීම පෙන්වීමට 21 වන ව්‍යවස්ථා සංශෝධනය මාවතක් කර ගත යුතුය.

සමගි ජනබලවේගයේ 2022 මැයි 31 දින, මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ අත්සනින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යෝජනා 5 ක් යොමු කර තිබුණි. එම යෝජනා 5 න් 4 ක් ම ව්‍යවස්ථාවට ඇතුලත් කිරීමට තරම් නොවන ඒවා වේ.

සජබ විසින් ඉදිරිපත් කර ඇති යෝජනා 5 පිළිබඳ තාක්ෂණික කරුණු මෙසේය.

යෝජනාව 1. ‘ජනාධිපතිවරයාට අමාත්‍යාංශ තබාගත නොහැකි බවට 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ පැවති ප්‍රතිපාදන ඒ ආකාරයෙන්ම ඇතුළත් කිරීම’

මෙය ඉතා යහපත් යෝජනවකි. 44 (2) ව්‍යවස්ථාව පරණ තැනට ගෙන ගොස් ජනාධිපතිවරයා අමාත්‍යාංශය දැරීම නැවැත්විය යුතුය යන්න ව්‍යවස්ථාව ඇතුළත් විය යුතුය. එය දිනාගැනීමට සියළු පක්ෂ එක් විය යුතුය.

නමුත්, 19 සම්මත වූ පසුවත් ව්‍යතිරේකයක් ලෙස මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා යහපාලන රජයේ පරිසර, රාජ්‍ය ආරක්ෂක, මහවැලි අමාත්‍යාංශ දරා ඇති බව ද අමතක නොකළ යුතුය. ඒබැවින් 21 සංශෝධනය ඉවත දැමීමට මෙය කොන්දේසියක් නොකර ගැනීම රටේ අභිවෘද්ධියට හේතු වනු ඇත.

යෝජනාව 2. මහබැංකුවේ අධිපතිවරයාට අමතරව මූල්‍ය මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයින්ද ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශය මත පත් කිරීම.

ලිපියේ දැක්වෙන පරිදි 'ව්‍යවස්ථාදායක සභාව' කියා එකක් 21 න් යෝජනා කර නොමැති අතර එය 'ව්‍යවස්ථා සභාව' බව නිවැරදි විය යුතුය.

තවද, අර්ජුන මහේන්ද්‍රන්ට මහ බැංකු අධිපති ලෙස දෙවන වාරය ලබාදීමට විරුද්ධව කීර්ති තෙන්නකෝන් විසින් පවරනු ලැබූ නඩුවෙන් පසුව, මුලින්ම මහ බැංකුවේ අධිපති ධූරය ව්‍යවස්ථා සභාවෙන් පත් කළ යුතුය යන්න සමාජගත විය. නමුත්, මුල්‍ය මණ්ඩලය යනු රජයේ දෙපාර්තමේන්තුවකට අනුරූප (සමාන්තර) ආයතන ව්‍යුහයකි. ව්‍යවස්ථා සභාවකින් දෙපාර්තමේන්තු සාමාජිකයින් පත් කරන්නේ ‌නැත. එසේ නම් එය මුල්‍ය මණ්ඩලය නොව යෝජිත ‘මුදල් කොමිසක්’ විය යුතුයි. එවැනි යෝජනා ඇතත්, එය තවම ලංකා නීතිය නොවේ. අනාගතය පදනම් කර ගෙන ව්‍යවස්ථාව ලියන්නට බැරිය. එබැවින් අංක 2 යෝජනාව අතිශයින් අගතිගාමී, සමාන්තර රාජ්‍ය ව්‍යුහයට ද බලපෑම් කරන්නකි.

යෝජනාව 3 ජාතික ප්‍රමුඛතා හා ඇගයීම් කොමිෂන් සභාවක් ස්වාධීන කොමිසමක් ලෙස පත්කිරීම හා ඊට සාමාජිකයින් පත් කිරීම ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශය අනුව සිදුකිරීම.

‘ජාතික ප්‍රමුඛතා හා ඇගයීම් කොමිෂන් සභාවක් පිහිටුවීම’ පිළිබඳ යෝජනාව අවම වශයෙන් අගමැතිවරයා සමඟ පැවති රැස්වීමේ දී හෝ සජබ ඉදිරිපත් කළේ නැත. ගහෙන් ගෙඩි එන්නා සේ ගෙනෙන යෝජනා රටට විනාශයක් මිස අත්කළ සුගතයක් නැත. නිශ්චිත ආයතනික ව්‍යුහයකින් තොරව කොමිසන් පත් කිරීම තුලින් ‘පිස්සු පුසා කොමිසම වැනි යෙදුම් පවා සමාජ ව්‍යවහාරයට එක්වී සමස්ත ක්‍රියාවලියට විහිළුවක් බවට පත්වූ බව අතීත අත්දැකීමකි.

ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව මගින් සිදු කරන කාර්ය ඉක්මවන කාර්යයක් යෝජිත කොමිසම මගින් සිදු කරන්නේ කුමන කේෂ්ත්‍රයන් උදෙසා ද යන්න නිරවුල් විය යුතුය.

යෝජනාව 4. ජනපති, අගමැති, අමාත්‍යවරුන් ,මන්ත්‍රීවරුන් ඇතුළු ජනරජයේ නිලතල හොබවන සියලුදෙනා වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීම හා එය පැහැර හැරියහොත් දැඩි දඬුවම් පැමිණවීමට නීති රාමුවක් සැකසීමට යෝජනා කර ඇත.

වත්කම් බැරකම් නීතිය ගැන මෙරට සිවිල් සංවිධාන වසර 11 ක් යෝජනා සංශෝධන යෝජනා කර ඇත. මැතිවරණ කොමිසම විසින් ලබාදෙන වත්කම් බැරකම් ප්‍රකාශ පිටපත් ප්‍රසිද්ධ කිරීමට අවසරය පවා නැත. වත්කම් බැරකම් පනත මගින් සරළව බලාත්මක කළ හැකි සංශෝධන ව්‍යවස්ථාවට ඇතුලත් කිරීමේ අවශ්‍යතාවයක් නැත. වත්කම් බැරකම් ප්‍රසිද්ධ කිරීමට වත්කම් බැරකම් නීතිය වහා සංශෝධනයට රජය/විපක්ෂය/පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පියවර ගත යුතුය. ස්වෙච්ඡාවෙන් එය සිදු කර තම කැපවීම ප්‍රදර්ශනය කළ යුතුය.

5. සොරාගත් දේපොළ නැවත රජය සතු කරගැනීම සඳහා ශ්‍රී ලංකා රජය පාර්ශ්වයක් වන ජාත්‍යන්තර සම්මුතීන් අනුමත කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ඇතුළත් කිරීම.

සොරාගත් දේපල ගැනීමට ලංකා අධිකරණයකින් නඩු තීන්දුවක් ලබා ගත යුතුය. එය කළ යුත්තේ ව්‍යවස්ථාවෙන් නොව මහෙස්ත්‍රාත්/මහාධිකරණයකිනි. ලංකාවේ සොරාගත් මුදල් නැවත ලබාගැනීමට නම්, නීතිපති නඩු පවරා ලංකා අධිකරණයෙන් උසාවි තීන්දුවක් ලබා ගත යුතුය. මෙය ලංකාවේ බලාත්මක නීති මගින් දුෂිතයින්ට දඩුවම් නොකිරීම පිළිබඳ ප්‍රශ්ණයක් මිස, ව්‍යවස්ථාවට අදාල ගැටළුවක් නොවේ. සොරකම් කළ මුදල් ආපසු ලබා ගැනීම ව්‍යවස්ථාට ඇතුළුත් කළ රාජ්‍යයන් නැති තරම් ය. අවශ්‍ය නම් කාබනික වගාව වගේ මේ සංකල්ප අත්හදා බැලිය හැකිය.

සජබ විසින් ඉදිරිපත් කර ඇති නව යෝජනා හතරක්ම හුදු කාලය කා දැමීමක් වනු ඇත්තේය. ජනාධිපතිවරයාට අමාත්‍යාංශ දැරීමට ඇති අවස්ථාව අහිමි කිරීමට වැදගත් අවශ්‍යථාවයකි. නමුත්, එය පදනම් කොට 21 ව්‍යවස්ථා සංශෝධනය ගෙඩිය පිටින් අතහැරීම කිසි ලෙසකින් හෝ සිදු නොවිය යුතුය.

 

හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන්

විධායක අධ්‍යක්ෂ/ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය