චීනයේ පිහිටි මිය යන කාමර

චීනයේ පිහිටි මිය යන කාමර

1990 දශකයේ මැද භාගයේ දී, විදේශීය චිත්‍රපට නිෂ්පාදකයන් කණ්ඩායමක් ස්වේච්ඡා සේවකයන් ලෙස වෙස්වළාගෙන චීනයට ඇතුළු විය. රාජ්‍ය ළමා නිවාසවල ස්වේච්ඡාවෙන් සේවය කරන බව මවාපාමින්, ඔවුන් ළදරු කිරි ටින් තුළ සඟවා ගෙන කැමරා පවා රැගෙන ගියේ ය. ඔවුන් අනාවරණය කළ දේ ඉතා ඉක්මනින් ලෝකය ම කම්පනයට පත් කළේ ය.


නිශ්ශබ්දතාවයෙන් පිරුණු කාමර

බ්‍රිතාන්‍ය චිත්‍රපට නිෂ්පාදකයන් වන කේට් බ්ලෙවිට් (Kate Blewett) සහ බ්‍රයන් වුඩ්ස් (Brian Woods) විසින් මෙහෙයවන ලද මෙම කණ්ඩායම චීනය පුරා ළමා නිවාස කිහිපයක සංචාරය කළේ ය. ඒ වන විට, චීනයේ “එක් දරු ප්‍රතිපත්තිය” දැඩිව ක්‍රියාත්මක වූ අතර, විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල බොහෝ පවුල් බිලිඳු ගැහැණු දරුවන් හෝ ආබාධිත ළදරුවන් අතහැර දැමූහ. සම්ප්‍රදායිකව පුතුන්ට වැඩි සැලකිල්ලක් දැක්වූ අතර, දැඩි ජනගහන නීති මගින් එක් දරුවෙකුට වඩා සිටින පවුල්වලට දඬුවම් කරන ලදි.

 

onechild

එහි ප්‍රතිඵලය හද කම්පා කරවනසුලු විය: සෑම වසරකම දහස් ගණනක් අනවශ්‍ය ළදරුවන් රාජ්‍ය ළමා නිවාසවල ගේට්ටු අසල අතහැර දැමිණ. බ්ලෙවිට් සහ ඇගේ කණ්ඩායම එම ළමා නිවාසවලට ඇතුළු වූ විට, රජය විස්තර කළ පහසුකම් සහිත සත්කාරක මධ්‍යස්ථාන ඔවුන්ට හමු නොවී ය. ඒ වෙනුවට, ඔවුන්ට හමුවූයේ නිශ්ශබ්දතාවයෙන් පිරුණු කාමර ය. ළදරුවන් ලෝහ තොටිලි පේළිවල චලනය නොවී වැතිර සිටියහ. ඔවුන්ගේ මුහුණු සුදුමැලි වී තිබූ අතර, ඇස් අවධානයක් (eye contact )නොමැතිව විය. බොහෝ දෙනෙක් අඬන්නට පවා ශක්තියක් නොමැති තරමට දුර්වල වී සිටියහ. බොහෝ විට වැඩ අධික සහ සීමිත කාර්ය මණ්ඩලයකින් යුත් සේවිකාවන් යන්තම් කතා කළහ. සමහර ළදරුවන් නිසලව තබා ගැනීම සඳහා රෙදි කඩකින් ඔවුන්ගේ ඇඳන්වලට බැඳ තිබූ අතර, තවත් සමහර ළදරුවන් තමන්ගේම අපද්‍රව්‍ය මත වැතිර සිටීමට ඉඩ දී තිබුණි.


මරණය එනතුරු බලා සිටීම

චිත්‍රපට නිෂ්පාදකයන් මෙම ස්ථාන හැඳින්වූයේ “මියයන කාමර” (The Dying Rooms) ලෙසිනි. ඊට හේතුව කිසිවකු එම දරුවන් ක්ෂණිකව මරා දැමීම නොව, නොසලකා හැරීම තුළින් ඔවුන්ට සෙමින්, නිශ්ශබ්දව මිය යාමට ඉඩ හැර තිබීමයි. ආහාර නැත, උණුසුමක් නැත, ස්පර්ශයක් නැත. වාර්තා චිත්‍රපටයේ වඩාත් භයානකම අවස්ථාවක් වූයේ “නමක් නැත” යන අර්ථය දෙන මී මින් (Mei Ming) නම් කුඩා දැරියක් හමුවීමයි. අඳුරු කාමරයක තනි කර තිබූ ඇගේ කුඩා ශරීරය චලනය කිරීමට පවා දුර්වල විය. කාර්ය මණ්ඩලය පිළිගත්තේ ඇයව කිසිවෙකු හදා නොගන්නා බවයි. ඔවුන්ට අනුව, ඇය සිටියේ අවසානය එනතුරු බලා සිටිමින්ය.

1995 දී බ්‍රිතාන්‍ය රූපවාහිනියේ 'The Dying Rooms' වාර්තා චිත්‍රපටය විකාශය වූ විට, ලෝකයම භීතියට පත් විය. ප්‍රේක්ෂකයෝ හඬා වැටුණහ. රජයන් පිළිතුරු ඉල්ලා සිටියහ. කෙසේ වෙතත්, චීන බලධාරීන් සියල්ල ප්‍රතික්ෂේප කළහ. චීනයේ ප්‍රතිරූපයට හානි කිරීම සඳහා චිත්‍රපටය ව්‍යාජ ලෙස නිර්මාණය කරන ලද්දක් බව ඔවුන් පැවසීය. නමුත් ස්වාධීන මානව හිමිකම් කණ්ඩායම් මේ පිළිබඳව විමර්ශනය කිරීමට පටන් ගත්හ.

 


the dying rooms

නිහඬ මරණ ස්ථාන

1996 දී හියුමන් රයිට්ස් වොච් (Human Rights Watch) විසින් “Death by Default: The Policy of Fatal Neglect in China’s State Orphanages” නමින් සවිස්තරාත්මක වාර්තාවක් ප්‍රකාශයට පත් කරන ලදි. එය චිත්‍රපට නිෂ්පාදකයන් දුටු දේ සනාථ කළේ ය. විමර්ශකයන් සොයා ගත් ඇතැම් ළමා නිවාසවල මරණ අනුපාතය 50% ඉක්මවා තිබිණි. විශේෂයෙන් ආබාධිත හෝ ගැහැනු ළදරුවන් අතර මෙම තත්ත්වය බහුල විය. දරුවන් ඇඳන්වලට බැඳ දමා, උත්තේජනයකින් හෝ වෛද්‍ය ප්‍රතිකාරයකින් තොරව තබා ඇති අතර, බොහෝ දෙනෙක් පැමිණ මාස කිහිපයක් ඇතුළත මිය ගියහ. සමහර පහසුකම් හොඳ වුව ද, අනෙක්වා නිහඬ මරණ ස්ථාන බවත්, ඒවා නිලධාරීන් විසින් නොසලකා හැර ලෝකයෙන් සඟවා තිබූ බවත් වාර්තාවෙන් හෙළි විය.



අරමුදල් නොලැබෙන ප්‍රදේශවල නොසලකා හැරීම්

ගෝලීය පීඩනය යටතේ, චීනය අවසානයේ සීමිත ප්‍රතිසංස්කරණවලට ඉඩ දුන්නේය. විදේශයන්ගෙන් ලැබෙන පරිත්‍යාග වැඩි විය. සමහර ළමා නිවාස ඔවුන්ගේ තත්ත්වය වැඩි දියුණු කළ අතර, වැඩි සේවිකාවන් බඳවා ගත් අතර, හදා වඩා ගැනීමේ වැඩසටහන් ආරම්භ කළේ ය. එහෙත්, වසර ගණනාවකට පසුව පවා, විශේෂයෙන් අරමුදල් නොලැබෙන ප්‍රදේශවල නොසලකා හැරීම් පිළිබඳ කථා තවමත් මතු විය.


එම නිහඬ කාමරවල මිය ගිය දරුවන් කී දෙනෙක් දැයි කිසිවෙකු දන්නේ නැත. ඔවුන්ගේ නම් කලාතුරකින් වාර්තා වූ අතර, ඔවුන්ගේ සොහොන් කලාතුරකින් සලකුණු විය. එහෙත් ඔවුන්ගේ පැවැත්ම සහ ඔවුන්ගේ දුක් වේදනා 1990 දශකයේ වඩාත්ම වැදගත් මානව හිමිකම් පිබිදීමක් ඇති කළේ ය.

 

අද, "මියයන කාමර" යන වාක්‍ය ඛණ්ඩය, සමාජයක් කරුණාවට වඩා නීති රීති, ප්‍රතිරූපය හෝ සම්ප්‍රදාය අගය කරන විට කුමක් සිදුවිය හැකිද යන්න පිළිබඳව සීතල මතක් කිරීමක් ලෙස පවතී. මී මින් බඳු සෑම දරුවකුගේ ම කතාව පවසන්නේ, සෑම ජීවිතයක් ම, කොතරම් කුඩා හෝ අපහසු වුවත්, රැකවරණය, ආහාර සහ ආදරය ලැබිය යුතු බව ලෝකයට මතක් කර දීමට ය.


chn
(උපුටා ගත්තේ Malith Achintha Kodikara ගේ Face book පිටුවෙනි).

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න